අවසන් දිනයේ දී ලෝක බලවතාගෙන් සාර්ථක පිළිතුරක්

32 වැනි ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල

911

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් දිනය වන අද දිනයේ (08) දිනයේ දී කාන්තා ඉසව් 3ක රන් පදක්කම් 3ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙමින් ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. ඒ ඊයේ (07) දිනය අවසානයේ දී රන් පදක්කම් 2කින් ඉදිරියෙන් සිටි චීනය දෙවැනි ස්ථානයට පත්කරමින්. 

අද දිනයේ දී කාන්තා වොලිබෝල්, කාන්තා පැසිපන්දු සහ කාන්තා බයිසිකල් ධාවනය (Omnium ඉසව්ව) යන ඉසව්වලින් ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් ජයග්‍රහණය කළ අතර චීනයට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් රිදී පදක්කමක් පමණයි. 

ඒ අනුව රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟ ඇමරිකා එක්සත් ජනපදය ජයග්‍රහණය කිරීමට සමත් වූ මුළු පදක්කම් ප්‍රමාණය 113ක්. ඇමරිකා එක්සත් ජනපදය 2012 වසරේ සිට මේ දක්වා පැවති සෑම ඔලිම්පික් උළෙලකම (උළෙල 3ක්) ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. 

>> සමාප්ති උළෙලේ ඡායාරූප ඇල්බමය << 

චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් සමඟ මුළු පදක්කම් 88ක් ජයග්‍රහණය කරමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සමඟ මුළු පදක්කම් 58ක් දිනා ගත් සත්කාරක ජපානයට පදක්කම් ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිව තිබෙනවා. 

(2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් පදක්කම් සටහන) ඡායාරූපය – olympics.com

මේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් දිනයේ (08) සිදු වූ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්. 

මලල ක්‍රීඩා (Athletics) 

පිරිමි මැරතන් ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට කෙන්යාවේ Eliud Kipchoge සමත් වුනා. මෙම ඉසව්වේ වර්තමාන ලෝක වාර්තාවට (2:01:39) ද හිමිකම් කියනා Eliud හට තරගය නිමා කිරීමට ගත වූ කාලය පැය 2:08:38ක්. 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද පිරිමි මැරතන් ධාවන ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ද Eliud Kipchoge සමත්ව තිබීම විශේෂත්වයක්. 

(Eliud Kipchoge පිරිමි මැරතන් තරගය අවසන් කරමින්) ඡායාරූපය – olympics.com

2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී 11 වැනි ස්ථානය හිමි වූ නෙදර්ලන්තයේ Abdi Nageeye මෙවර රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ පැය 2:09:58කින් ඉසව්ව නිමා කරමින්. ලෝකඩ පදක්කම පැය 2:10:00කින් ඉසව්ව නිමා කළ බෙල්ජියමේ Bashir Abdi විසින් දිනා ගත්තා. 

වොලිබෝල් (Volleyball) 

කාන්තා අංශයේ රන් පදක්කම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමඟ බ්‍රසීලය තරග වැදුණු අතර එහි දී තරග වට 3-0ක (25-21, 25-20, 25-14) විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගැනීමට ප්‍රබල ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වුනා. ඇමරිකා එක්සත් ජනපදය විසින් කාන්තා ගෘහස්ථ වොලිබෝල් ඉසව්වක ජයග්‍රහණය කළ ප්‍රථම රන් පදක්කම මෙය වීම විශේෂත්වයක්. 

(ඇමරිකා එක්සත් ජනපදය අවසන් තරගයේ ජයග්‍රහණය සමරමින්) ඡායාරූපය – olympics.com

දකුණු කොරියාව සමඟ පැවති තරගයෙන් තරග වට 3-0ක (25-18, 25-15, 25-15) ජයග්‍රහණයක් වාර්තා කළ සර්බියාව ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

පැසිපන්දු (Basketball) 

කාන්තා අංශයේ රන් පදක්කම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ සත්කාරක ජපානය අතර පැවති තරගයේ දී ලකුණු 90-75ක් ලෙස ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වුනා. 

(රන් පදක්කම හිමි ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා පැසිපන්දු කණ්ඩායම) ඡායාරූපය – olympics.com

‍ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේ දී ලකුණු 76-91ක් ලෙස සර්බියාව පරාජයට පත්කරමින් ප්‍රංශය ජය ගත්තා. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

බයිසිකල් ධාවනය (Cycling) 

කාන්තා Omnium ඉසව්ව 

  1. රන් පදක්කම – Jennifer Valente (ඇමරිකා එක්සත් ජනපදය) 
  2. රිදී පදක්කම – Yumi Kajihara (ජපානය) 
  3. ලෝකඩ පදක්කම – Kirsten Wild (නෙදර්ලන්තය 
(Jennifer Valente තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව) ඡායාරූපය – olympics.com

පිරිමි Keirin ඉසව්ව 

  1. රන් පදක්කම – Jason Kenny (මහා බ්‍රිතාන්‍යය)  
  2. රිදී පදක්කම – Azizulhasni Awang (මැලේසියාව)  
  3. ලෝකඩ පදක්කම – Harrie Lavreysen (නෙදර්ලන්තය) 

කාන්තා sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Kelsey Mitchell (කැනඩාව)  
  2. රිදී පදක්කම – Olena Starikova (යුක්රේනය)  
  3. ලෝකඩ පදක්කම – Lee Wai-sze (හොං කොං රාජ්‍යය) 

බොක්සිං (Boxing) 

පිරිමි lightweight (57-63 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Andy Cruz (කියුබාව) 
  2. රිදී පදක්කම – Keyshawn Davis (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Hovhannes Bachkov (ආර්මේනියාව) සහ Harry Garside (ඕස්ට්‍රේලියාව) 

කාන්තා lightweight (57-60 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Kellie Harrington (අයර්ලන්තය) 
  2. රිදී පදක්කම – Beatriz Ferreira (බ්‍රසීලය) 
  3. ලෝකඩ පදක්කම – Sudaporn Seesondee (තායිලන්තය) සහ Mira Potkonen (ෆින්ලන්තය) 

පිරිමි super heavyweight (+91 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Bakhodir Jalolov (උස්බෙකිස්ථානය) 
  2. රිදී පදක්කම – Richard Torrez (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Frazer Clarke (මහා බ්‍රිතාන්‍යය) සහ Kamshybek Kunkabayev (කසකස්ථානය) 

කාන්තා middleweight (69-75 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Lauren Price (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Li Qian (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Nouchka Fontijn (නෙදර්ලන්තය) සහ Zemfira Magomedalieva (රුසියානු ඔලිම්පික් කමිටුව) 

Gymnastics 

කාන්තා rhythmic group all-around ඉසව්ව 

  1. රන් පදක්කම – Simona Dyankova, Stefani Kiryakova, Madlen Radukanova, Laura Traets සහ Erika Zafirova (බල්ගේරියාව) 
  2. රිදී පදක්කම – Anastasiia Bliznyuk, Anastasiia Maksimova, Angelina Shkatova, Anastasiia Tatareva සහ Alisa Tishchenko (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Martina Centofanti, Agnese Duranti, Alessia Maurelli, Daniela Mogurean සහ Martina Santandrea (ඉතාලිය) 

අත්පන්දු (Handball) 

පිරිමි අංශය 

  1. රන් පදක්කම – ප්‍රංශය 
  2. රිදී පදක්කම – රුසියානු ඔලිම්පික් කමිටුව 
  3. ලෝකඩ පදක්කම – නෝර්වේ රාජ්‍යය 

Water polo 

පිරිමි අංශය 

  1. රන් පදක්කම – සර්බියාව 
  2. රිදී පදක්කම – ග්‍රීසිය 
  3. ලෝකඩ පදක්කම – හංගේරියාව 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කර ගත් ඇමරිකා එක්සත් ජනපදය (රන් – 46, රිදී – 37, ලෝකඩ – 38, මුළු – 121) මෙවර ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන රන් පදක්කම් ප්‍රමාණයේ සැලකිය යුතු ප්‍රමාණයක අඩු වීමක් දක්නට ලැබීම විශේෂත්වයක්. 

රියෝ ඔලිම්පික් උළෙලේ අවසන් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය හිමි වූ චීනය (රන් – 26, රිදී – 18, ලෝකඩ – 26, මුළු – 70) සහ 6 වැනි ස්ථානයේ පසු වූ ජපානය (රන් – 12, රිදී – 08, ලෝකඩ – 21, මුළු – 41) මෙවර ඔලිම්පික් උළෙලේ දී යම් සාර්ථකත්වයක් පෙන්වමින් ඉදිරියට පැමිණ තිබේ. 

රියෝ ඔලිම්පික් උළෙල අවසානයේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි වූ මහා බ්‍රිතාන්‍යයට (රන් – 27, රිදී – 23, ලෝකඩ – 17, මුළු – 67) මෙවර ඔලිම්පික් උළෙලේ දී හිමි වූයේ සිව්වැනි ස්ථානය. 

ජපානයේ කිරුළ හිමි කුමරු වන Fumihito සහ ප්‍රංශයේ අගමැති ධුරය හොබවන Jean Castex මෙවර ඔලිම්පික් සමාප්ති උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4:30ට පමණ ආරම්භ වුනා. සම්ප්‍රදායික ජපන් අංගවලින් සහ ඔලිම්පික් උළෙලට ආවේණික අංගවලින් සමන්විත වූ අතර ඒ සෑම අංගයක්ම covid-19 වසංගතය මර්දනය සඳහා වන නීති රීති වලට අනුකූලව සිදු කිරීම විශේෂත්වයක්.

මෙහි දී එක් එක් රට නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක විසින් සිය රටේ ධජය ඔසවා ගෙන ගමන් කරන අතර සම්ප්‍රදායික ලෙස ග්‍රීසිය පළමුවත් ඉන්පසුව අනෙක් රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ගමන් කරනු ලැබුවා. දකුණු ආසියානු කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් මෙවර ශ්‍රී ලංකාවේ ධජය ඔසවා ගෙන රැගෙන ගියා.

Yupun Abeykoon Olympic Closing Ceramony1920 වසරේ සිට අඛණ්ඩව සිදු කෙරෙන Antwerp උත්සවය එනම් ‘ඔලිම්පික් උළෙල පැවති නගරයේ නගරාධිපති විසින් විශේෂ ඔලිම්පික් ධජයක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති වෙත පිරිනමන අතර ඉන්පසු එය මීළඟට ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත නගරයේ නගරාධිපති වෙත භාරදීම’ සිදු කෙරුණා.

ඒ අනුව ජපානයේ ටෝකියෝ අගනුවර නගරාධිපති Yuriko Koike විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපති Thomas Bach හට පිරිනැමූ අතර ඉන්පසුව එය ප්‍රංශයේ පැරිස් නුවර නගරාධිපතිනිය වන Anne Hidalgo වෙත භාර දෙනු ලැබුවා.

ක්‍රීඩා 33ක ඉසව් 339ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,090ක් තරග වැදුණු, විශිෂ්ටයින් අතුරින් ශ්‍රේෂ්ඨයන් බිහි කරන ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි දිගහැරුම එසේ නිමාව දුටු අතර මීළඟ ඔලිම්පික් උළෙල 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිතය. 

පුරා දින 16ක් මුළුල්ලේ අපත් සමඟ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ආශ්වාදය විඳි ක්‍රීඩාලෝලී ඔබ සැමට අපගේ ස්තූතිය පුද කරන අතර ක්‍රීඩා ලොවේ තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි සූදානමින් සිටින්නෙමු. රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<