නොම්බ්‍රේ ඌනෝ, බෲනෝ

414

අපට නිතර ඇසෙන, “අප විසින් සිංහල යැයි සිතා සිටින” වචන බොහොමයක අයිතිය පෘතුගීසීන් සතු ය. “නොම්බරය” අප විසින් බහුලව භාවිතා කරන්නකි. එය ද පෘතුගීසීන්ගෙන් උරුම වූවකි.

අද අප කතා කරන්නට යන්නේ අංක එකේ, නැතහොත් “නොම්බ්‍රේ ඌනෝ” මට්ටමේ බෲනෝ ෆර්නැන්ඩස් ගැනයි. ඔහු උපන්නේ පෘතුගාලයේ දී ය. එය පෘතුගීසීන්ගේ නිජබිමයි.

ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ රටවල් වලින් ශ්‍රී ලංකා සංස්කෘතියට සහ සමාජයට වැඩිම බලපෑම සිදුව ඇත්තේ පෘතුගීසීන්ගෙන් බව කිව හැකිය. අප සාද පැවැත්වීමේ දක්ෂයන් ය. යුද්ධයෙහි දක්ෂ ය. “නැව ගිලුනත් බෑන්ඩ් චූන්” ය. විනෝදයට බර ය.

ඒ, 2500ක ශිෂ්ට සංස්කෘතියකට උරුමකම් කියන සිංහල සමාජයට සිදු වූ පෘතුගීසීන්ගේ දැඩි බලපෑම පැහැදිලි කරන සාධක ය. බෲනෝ උපන්නේ එවැනිම සංස්කෘතියක් තිබූ පෝර්ටෝ හිදී යි.

පෝර්ටෝ හි වීදියේ ක්‍රීඩා කිරීම ඔහුගේ ආරම්භය යි. සොයුරු රිකාඩෝ සමඟින් වීදිය පුරා දුව පැන ක්‍රීඩා කළ ඔහුගේ දස්කම් එක රැයකින් දියුණු වූවක් නොවේ. ඔහු ඉදිරියට පැමිණියේ පියවරෙන් පියවර යි.

ඉතාලියේ Serie B කාණ්ඩයේ පාපන්දු කණ්ඩායමක් වන නොවාරා වලින් වෘත්තීය පාපන්දු බිමට පිවිස, ඉන්පසුව Serie A, එනම් A කාණ්ඩයේ කණ්ඩායම් වෙත පැමිණ පිළිවෙළින් Udinese (යුඩිනීස්), Sampdoria (සම්ප්ඩෝරියා) පසුකොට නැවත පෘතුගාලයේ Sporting CP (ස්පෝටින් CP) වෙත පැමිණ එහි නායකත්වයට පත්විය.

2018 සහ 2019 වසරවල දී පිට පිටම පෘතුගීසි ලීග් ශූරතාවය (Tacas da liga) සහ පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවය (Tacas de Portugal) ජයගත් ඔහු පෘතුගාල ප්‍රීමියර් ලීගයේ (Primeira Liga) වසරේ ක්‍රීඩකයා යන සම්මානය ද දිනා ගත්තේය.

2020 ජනවාරියේ දී ඔහුට එංගලන්ත ප්‍රිමියර් ලීගයේ Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) කණ්ඩායම විසින් පවුම් මිලියන 50කට අධික මුදලක් සමඟ ආරාධනයක් ලැබිණි.

මාස දෙකක් ඉක්ම යත්ම, “මාර්තු මාසයේ ප්‍රිමියර් ලීග් පාපන්දු ක්‍රීඩකයා” වූ ඔහු එතැන් සිට වැඩි වශයෙන් කතාබහට ලක්විය. දෙසැම්බර් මාසය වන විට එම සම්මානය සිව්වරක් දිනා ගනිමින් එකම වසරක දී වැඩිම වරක් “මාසයේ ක්‍රීඩකයා” ලෙස සම්මාන දිනූ ක්‍රීඩකයා බවට පත්විය. 2019 මැන්චෙස්ටර් යුනයිටඩ් හි දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන ශ්‍රීමත් මැට් බස්බි සම්මානය ද ඔහු සතු විය.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම කෙමෙන් කෙමෙන් ඔහු වටා ගොඩනැගෙද්දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නැවත මැන්චෙස්ටර් යුනයිටඩ් කරා පැමිණියේය. එතැන් සිට සියලු පුවත් ලියවුනේ රොනාල්ඩෝගේ නමට ය.

ජාත්‍යන්තර සහ ක්‍රීඩා සමාජ පාපන්දු යන වේදිකා දෙකෙ හිදී ම පෘතුගාලය හා බැඳී ඇති ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ දැවැන්ත නාමයේ සෙවණැල්ලෙහි සැඟවෙන බෲනෝ, දස්කම් අතින් ලෝක මට්ටමේ වුවත්, පෘතුගාලය 2022 ලෝක කුසලාන පිටියට පිවිසෙන්නේත් රොනාල්ඩෝ වටා බලාපොරොත්තු ගොඩනැගෙද්දී යි. ඒ මෙම ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ නිසයි.

එහෙත් ලෝක කුසලාන කාණ්ඩ වටයේ පෘතුගාලය සහභාගී වූ පළමු සහ දෙවැනි තරග දෙකෙ හිදී ම පෘතුගාලයේ කැපී පෙනුණු ක්‍රීඩකයා සහ පන්දුව බෙදාහරින්නා වූයේ බෲනෝ ය.

උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී බෲනෝ විසින් ගෝල දෙකක් වාර්තා කෙරුණේ දඬුවම් පහරක් ද සමඟිනි. රොනාල්ඩෝ සහ බෲනෝ දෙදෙනාගේ දායකත්වය පෘතුගාල කණ්ඩායම සම්බන්ධව ජයග්‍රහණයේ ප්‍රබල සාධකයකි. දෙදෙනා එක්ව සාර්ථකව ක්‍රීඩා කරන සෑම විටකම කණ්ඩායම ජයග්‍රහණය කරා ගියේය.

දෙදෙනාගේ ක්‍රීඩා ශෛලීන් සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් ය. රොනාල්ඩෝ වේගවත්, ශක්තිමත් පන්දුව රැගෙන යන්නෙකි. ගෝල රැස්කිරීමේ පුරාවෘත්තයකි. එහෙත් බෲනෝ මැදපෙළ පාලනය කරන්නා යි, ඉලක්කයට පන්දුව ලබා දෙන්නායි, ගෝල අවස්ථා නිර්මාණය කරන්නායි, හරස් පහරවල් ලබා දීමේ ප්‍රමුඛයෙකි.

උරුගුවේ කණ්ඩායමට එරෙහිව වාර්තා වූ පළමු ගෝලය ද එවැනි අලංකාර හරස් පහරක ප්‍රතිඵලයකි. එය රොනාල්ඩෝගේ හිසෙහි වැදී ගිය පන්දුවක් බව රොනාල්ඩෝ පැවසුවත්, පසුව ගෝලය බෲනෝ හට ලබාදුන්නේ ය. කෙසේවෙතත් රොනාල්ඩෝ එතැන නොසිටියේ නම් ගෝල රකින්නාට පන්දුව රැකගැනීම අපහසු නොවන්නට තිබුණු බව ද දක්නට ලැබුණි. සියල්ල අවසානයේ එම ගෝලයත්, බෲනෝගේ දෙවැනි ගෝලයත් නිසා 2-0ක් ලෙස පෘතුගාලය ජයගත්තේ ය.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන ඕනෑම පිටියක වැඩිම ප්‍රීතිඝෝෂා හිමිවන්නේ ඔහුට බව නිසැක ය. එහෙත් මේ වන විට පෘතුගාල කණ්ඩායමේ වීරයන් දෙදෙනෙකු සිටියි. බෲනෝ හට එය ගැටලුවක් නොවේ. ඔහු ක්‍රීඩා කරන්නේ වෙනස් ශෛලියකට ය. රොනාල්ඩෝ තවදුරටත් තනිව කණ්ඩායම ඇදගෙන යා හැකි මට්ටමක නැත. එබැවින් බෲනෝගේ සහාය ඔහුට ද අස්වැසිල්ලක් බවට සැකයක් නැත.

බෲනෝගේ සතුට එය විය යුතුය. යුරෝපයේ සිටින දක්ෂතම මැදපෙළ හසුරුවන්නන් අතර ඔහුගේ නමින් ඉඩක් වෙන්වී ඇත. ඒ ගෝල රැස්කළ හැකි මැදපෙළ ක්‍රීඩකයෙකු වශයෙනි. ඒ ඉඩ ඔහුගේම පමණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<