කවීන්, හිරුණ සහ ධනුජ මහින්දය දිනවයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

405

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් සහ තවත් සම්ප්‍රදායික දෙදින තරගයක් අද (8) ක්‍රියාත්මක වුනා.

දෙවැනි දිනයට පැවති ආනන්ද – මහින්ද තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගන්නට මහින්ද විද්‍යාලය සමත් වුනා. ඒ අනුව සත්කාරක ආනන්ද විද්‍යාලය පසුගිය දා ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ලද කඩුලු 7ක තරග පරාජයට පසුව නැවතත් අවාසනාවන්ත ලෙස පූර්ණ තරග පරාජයකට උරුමකම් කියන්නට සිදු වුනා.

දිනය ආරම්භ වන විට මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 142ක් ලබාගෙන සිටියා.

හිරුණ ගාල්ලගේ (ලකුණු 104) ශතකයක් ලබාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ඔවුන් දිනය තුල සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 142ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූවා. ඒ වන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 288ක් ලබාගෙන සිටියා. තරුෂ ඩිල්ශාන් ලකුණු 46යි.

පන්දු යැවීමේ දී අශිංස නයිනායක කඩුලු 4ක දස්කමක් දක්වන විට, අයේෂ් ශශීමාල් කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 107ක පළමු ඉනිමේ අවාසියක් සහිතව දෙවැනි ඉනිම දියත් කළ ආනන්ද විද්‍යාලයේ කඩුලු 7ක් ලකුණු 51ක් තුල බිඳ වැටීම නිසා ඔවුන් ඉනිමක පරාජයකට ඇදී ගියත්, එම අවමානයෙන් සිය විද්‍යාලය ගලවා ගන්නට ඉරුත් ගිම්ශාන් සහ මිහින්මුණසිංහ සමත් වුනා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කළා. දකුණතින් පිට දඟපන්දු යවන කවීන් රුක්ෂාන්ගේ (7/45) සුපිරි පන්දු යැවීම හමුවේ ආනන්ද දෙවැනි ඉනිම ලකුණු 153කට සීමා වුනා.

ලකුණු 47ක ඉලක්කයක් හඹා ගිය මහින්ද විද්‍යාලය පන්දුවාර 9කුත් පන්දු 4ක් තුල එම ඉලක්කය හඹා යමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත්තා.

Tier A කොටසේ තරගයක් ලෙස පළමු දිනයට ක්‍රියාත්මක වුනු වෙස්ලි – ත්‍රිත්ව තරගයේ පළමු දිනය තුල අර්ධ ශතක දෙකක් වාර්තා වුනා. එහි දී ත්‍රිත්ව විද්‍යාලයේ රහල් අමරසිංහ ලබා ගත් ලකුණු 56 සවියක් කරගනිමින් සිය පළමු ඉනිමට ලකුණු 193ක් ලබා ගන්නට ත්‍රිත්ව විද්‍යාලයට හැකියාව ලැබුණා.

එම ඉනිම එවැනි මට්ටමකට සීමා කිරීම වෙනුවෙන් උවින් පෙරේරා කඩුලු 4ක දස්කමක් දැක්වූවා. දිනයේ අවසානය සනිටුහන් වන විට වෙස්ලි විද්‍යාලය තවත් ලකුණු 98ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 5ක් අතැතිවයි. වෙස්ලි නායක ලිනාල් සුබසිංහ නොදැවී අර්ධ ශතකයක් (ලකුණු 52*) ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

ආනන්ද විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය

  • ආනන්ද විද්‍යාලය – 159 (53.1): අයේෂ් ශශීමාල් 42, ධනුජ ඉඳුවර 5/33, අරෝෂ උදයංග 2/18, තරුෂ ඩිල්ශාන් 2/37 & 153 (53.1): ඉරුත් ගිම්ශාන් 48, කවීන් රුක්ෂාන් 7/45
  • මහින්ද විද්‍යාලය – 266/8d (71): හිරුණ ගාල්ලගේ 104, තරුෂ ඩිල්ශාන් 46, හරීන් අචින්ත 36, අශිංස නයිනායක 4/89, අයේෂ් ශෂීමාල් 3/61 & 48/3 (9.4):

ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය (Tier A තරගය)

  • ත්‍රිත්ව විද්‍යාලය – 193 (67.5): රහල් අමරසිංහ 56, මනුල කුලරත්න 38, උවින් පෙරේරා 4/29, ශෙනොල් වයමන් 3/53
  • වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 95/5 (32): ලිනාල් සුබසිංහ 52*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<