දිනක් තුල කඩුලු 31ක් බිඳ වැටුණු තියුණු තරගය

705

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග 6ක් දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී අද (28) පළමු දිනයට ක්‍රියාත්මක විය. ඒ තරග අතරින් මාතර දී පැවැත්වුණු තරගය බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේය.

අවසන් කඩුල්ල බේරා ගැනීමේ වාසිය සාන්ත පීතර විද්‍යාලයට

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ…

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ තර්ස්ටන් විද්‍යාල සත්කාරක සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 60කට සීමා කළේය. එහි දී දකුණතින් මද වේගපන්දු යවන ක්‍රීඩක බවන්ත ජයසිංහ ලකුණු 10ක් තුල කඩුලු 4ක් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ තර්ස්ටන් විද්‍යාලයට ද මාතර සාන්ත තෝමස් විද්‍යාලය අභිබවා ලබාගැනීමට හැකි වූයේ එක් ලකුණක් වන අතර ජයවිහාන් ප්‍රදීප්ත ලකුණු 24ක් ලබාගෙන තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේ දී සෙනෙත් සිතාර කඩුලු 5ක් දවා ගත් අතර සචිර රශ්මික කඩුලු 3යි. වමතින් පා දඟපන්දු යවන අයේෂ් හර්ෂණ කඩුලු 8ක් දවා ගනිමින් සාන්ත තෝමස් විද්‍යාලයේ දෙවන ඉනිමත් අවම ලකුණු මට්ටමකට සීමා කරන ලද්දේ කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හට වැඩි පීඩනයක් එල්ල කරමිනි.

තරගයේ පළමු දිනය අවසන් වන විට ලකුණු 70ක ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයක් හඹා යන තර්ස්ටන් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබාගෙන සිටියේය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 60 (25): බවන්ත ජයසිංහ 4/10, අයේෂ් හර්ෂණ 3/10, සඳරු ඩයස් 2/11.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 61 (25.2): ජයවිහාන් ප්‍රදීප්ත 24, සෙනෙත් සිතාර 5/13, සචිර රශ්මික 3/08.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 70 (35.3): මිහිසල් අමෝද 35, අයේෂ් හර්ෂණ 8/19

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 16/1 (4):

සනත් කෑගහන්නේ මොකද? – තෙවැනි ඇසින්

සනත් ජයසූරිය ගැන අප කොතෙකුත් කතා අසා ඇතත්, දැක ඇතත්, මේ දිනවල සමාජ ජාලා ආක්‍රමණය කර තිබෙන්නේ ඔහු විසින් ඔහුගේ පුත් රනුක ජයසූරිය සහ ඔහුගේ කණ්ඩායමට…

මොරටු මහා විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ සාන්ත මරියා විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ මොරටු මහා විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 226ක් රැස්කර ගත්තේය.

මොරටු මහා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පිත්ත හසුරුවන නිශාන් මදුෂ්ක ලබාගත් වටිනා ශතකය නිසාවෙන් මොරටු මහා විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවස්ථාව උදා විය.

පන්දු යැවීමේ දී ඉශාන් වීරසූරිය කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත මරියා විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 101ක් ලබාගෙන තිබුණි. ඩිල්ශාන් කරුණාරත්න ලකුණු 31යි.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම –  226 (51): නිශාන් මදුෂ්ක 114, ඉශාන් වීරසූරිය 3/65.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 101/8 (42): ඩිල්ශාන් කරුණාරත්න 31, නදිත් මිශේන්ද්‍ර 4/33, එරන් හංසමාල් 2/24.

Video – වසර 12ක් තිස්සේ පළමු කාණ්ඩයේ සිටින – මොරටු මහා විද්‍යාලය 2018/19 Preview

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී 32වන ස්ථානය දිනාගත් මොරටු මහා විද්‍යාලය..

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම C කාණ්ඩයේ  තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 178ක් ලබාගන්නා ලදි.

ධර්මරාජ විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන දුලාජ් බණ්ඩාර මේ තරග වාරය තුල ලබාගත් 4 වැනි අර්ධ ශතකය සපුරා ගනිමින් ලකුණු 79ක් රැස්කර ගත්තේ ධර්මරාජ විද්‍යාල ඉනිමේ  වැඩිම ලකුණු ලාභියා වෙමිනි. ඊට අමතරව පසුපෙළ ක්‍රීඩක මිතිල ගයාශාන් ලබාගත් ලකුණු 42 නිසා ධර්මරාජ විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකි විය. පන්දු යැවීමේ දී කලන සංදීප, විනුජ රණසිංහ හා නදීර ප්‍රනාන්දු කඩුලු 2ක බැගින් තමා සතුකර ගත්තේය.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබා සිටින ලදි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 178 (88.3): දුලාජ් බණ්ඩාර 79, මිතිල ගයාශාන් 42, කලන සංදීප 2/21, විනුජ රණසිංහ 2/26, නදීර ප්‍රනාන්දු 2/29.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 31/3 (13):

එංගලන්තයට කොදෙව් දේශයේ දී දැවැන්ත පරාජයක්

රොස්ටන් චේස් ඉදිරියේ සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ පෑ අදක්ෂතා හේතුවෙන් බාබඩෝස් හිදී අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට්…

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ආරාධනා කළ අතර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ දුර්වල පිතිකරණය නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 97කට සීමා විය.

එහි දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිමේ දී සාර්ථක වූ එකම පිතිකරුවා වූ  අවිඳු හේරත් 4 පහර 3ක් සමඟ ලකුණු 29ක් ලබා ගත්තේය. ඉනිමේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ මලින්ද පෙරේරා තමා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර ප්‍රමාණය තුල කඩුලු 5ක් දවා ගත්තේය. ඉමේෂ් ප්‍රනාන්දු කඩුලු 2යි.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 160ක් ලබාගෙන සිටියේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ඉතාමත් ප්‍රබල තැනක පසුවෙමිනි. මනෝහරන් පවිත්‍රන් සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 5ක් දවාගත්තේ ලකුණු 33ක් තුලයි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 97 (40.1): අවිඳු හේරත් 29, මලින්ද පෙරේරා 5/13, ඉමේෂ් ප්‍රනාන්දු 2/22.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 160/9 (56.3): බ්‍රයන් ඔශ්වින් 41, කවිරු පෙරේරා 30, හසිඳු කවිරත්න 27, මනෝහරන් පවිත්‍රන් 5/33.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාල  පන්දු යවන්නන් හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 170ක් රැස්කර ගත්තේය.

සාන්ත අන්තෝනි විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක තරිඳු ලබාගත් වටිනා අර්ධ ශතකය නිසාවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකි විය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක කවිෂ්ක සේනාධීර ලකුණු 46ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් ත්‍රිත්ව විද්‍යාල පන්දු යවන්නන්ගේ වගකීම් තරමක් අවම කළේය.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 114ක් ලබාගෙන තිබුණි. පළමු කඩුල්ල රැකගනිමින් නොදැවී ක්‍රීඩා කරන ශේන් ගුණතිලක හා නායක පුබුදු බණ්ඩාර පිළිවෙළින් ලකුණු 66*ක් හා ලකුණු 31*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටී.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 170 (71.5): අවිශ්ක තරිඳු 85, ජොයෙල් පින්ටෝ 26, කවිෂ්ක සේනාධීර 6/46.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 114/0 (26): ශේන් ගුණතිලක 66*, පුබුදු බණ්ඩාර 31*.

>>Photos: Thurstan College v Prince Of Wales College – Singer U19 Cricket Tournament 2018/19<<

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට  සිය ප්‍රතිවාදීන් වූ රිච්මන්ඩ් විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 120ක් වැනි ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට ගුරුකුල විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මැදපෙළ පිතිකරුවෙක් වන සඳුන් මෙන්ඩිස් ලකුණු 42ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී විහඟ විරංජන හා දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලික්ශාන්  සසංග අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 168ක් ලබාගෙන සිටියේ රිච්මන්ඩ්  විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 48ක් ඉදිරියෙන් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින තුන් ඉරියව් ක්‍රීඩක කෙමිර නයනතරු ලකුණු 60*යි.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 120 (42): සඳුන් මෙන්ඩිස් 42, විහඟ විරංජන 2/00, ලික්ශාන්  සසංග 2/14.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 168/3 (53): කෙමිර නයනතරු 60*, නුවන් චානක 43*.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (29) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<