මහානාමය ඉදිරියේ වේල්ස් කුමරුවන් තම විද්‍යාලය තුල දී ම අසරණ වෙයි!

187

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද (28) ක්‍රියාත්මක වූ තරග අතරින් කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවති තරගය ජය පැරදුමකින් තොරව නිමා විය. ඒ ධර්මරාජ පිළට මුල් ඉනිමේ ජය හිමිකර දෙමිනි. අද පැවති අනෙක් තරග 4ම ක්‍රියාත්මක වූයේ  ප්‍රථම දිනය වෙනුවෙනුයි.

දිලුම් සුදීර රිච්මන්ඩ් විද්‍යාලයට පෙරළිකාර ජයක් ගෙනෙයි!

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් පිටියට අද (26) අතිශයින්ම කාර්යබහුල….

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

මලියදේව විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගය අද නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. කාසියේ වාසිය දිනා ගත් මලියදේව ක්‍රීඩකයින් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 153ක් රැස්කළහ. ඒ වෙනුවෙන් බ්‍රයන් කරුණානායක ලකුණු 84ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය. ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සුපුන් සුමනරත්න ලකුණු 26ක් පමණක් රැස් කිරීමෙන්ම බ්‍රයන්ගේ ඉනිම මලියදේවයන්ට කොතරම් වැදගත් වූවා දැයි සිතාගත හැකිය.

කෙසේ වෙතත් මලියදේව විද්‍යාලයේ අනෙක් පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණි නිසා ඔවුන්ට ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට හැකි නොවිය. උණුසුම් සටනක් අවසානයේ මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 176ක් ලබා ගත් ධර්මරාජ විද්‍යාලය ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම තරගයේ මුල් ඉනිමේ ජයග්‍රාහකයින් වූහ. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ මලියදේවය එහි දී ලකුණු 138ක් රැස්කර ගෙන  ප්‍රතිවාදීන්ට ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන් අතර ධර්මරාජ කණ්ඩායම ද උත්සාහ කළේ කෙසේ හෝ පූර්ණ තරග ජයක් ලබා ගැනීමටයි.

එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ මුල්පෙළ කඩුලු ඉක්මනින් දැවී ගිය අතර අවසානයේ තරගය බේරා ගැනීමට ඔවුන්ට දැඩි සටනක් ලබා දෙන්නට සිදු විය. කෙසේ හෝ අවසානයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 92ක් රැස් කරගෙන ගැලවෙන්නට ධර්මරාජයට හැකි විය. මලියදේවයට ජය ලබා දීමට දැඩි සේ වෙහෙස මහන්සි වූ මධුරංග නවීන් කඩුලු 5ක් බිඳ හෙලද්දී නිකිල් ධර්මදාස කඩුලු 4කට වග කියූවේය. ඒ අනුව මෙම උණුසුම් තරගය ජය පැරදුමකින් තොරව නිමා වෙද්දී ධර්මරාජය සිටියේ ජයග්‍රහණයට ලකුණු 24ක් පමණක් පිටුපසිනි.

මලියදේව විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 43)

බ්‍රයන් කරුණානායක 84, සුපුන් සුමනරත්න 26, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 5/32, තුශාන් බණ්ඩාර 2/33.

ධර්මරාජ විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 176 (පන්දුවාර 55.3)

යසිත සමරරත්න 36, ධනුක මාරසිංහ 24, සචින්ත සේනානායක 22, මධුරංග නවීන් 5/59, ගයන්ත වික්‍රමාරච්චි 2/18.

මලියදේව විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 48.4)

බ්‍රයන් කරුණානායක 36, සුපුන් සුමනරත්න 21, මුදිත ප්‍රේමදාස 21, සහන් සිරිවර්ධන 4/39, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/60.

ධර්මරාජ විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 92 (පන්දුවාර 33)

සචින්ත සේනානායක 22, මධුරංග නවීන් 5/18, නිකිල් ධර්මදාස 4/43.

ජය සොයන සාන්තුවරයෝ 85 වැනි වරටත් ගැටෙන්නට පෙර

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය…….


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

අද දිනයේ පැවති සුවිශේෂීම තරගයක් වූ මෙහි විශේෂත්වය වන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය තම විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ම ප්‍රතිවාදීන් ඉදිරියේ අසරණ වීමයි. කාසියේ වාසිය දිනා ගත් මහානාම විදුහලේ ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් වේල්ස් කුමර විද්‍යාලයේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 77ක් තුල දී ම දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දේවක පීරිස් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තේය. සුපිරි පන්දු යැවීමක නිරත වූ වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අචින්ත සුපුන් ලකුණු 9කට කඩුලු 3ක් ද, රොෂේන් පෙරේරා ලකුණු 13කට කඩුලු 3ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහානාම විද්‍යාලය මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 211ක් ලබා ගත්තේ හෙට දිනයේ පූර්ණ තරග ජයග්‍රහණයක පහස විඳීමේ බලාපොරොත්තුවෙනි. මහානාම විද්‍යාලය වෙනුවෙන් වමත් පිතිකරුවන් වන පවන්ත වීරසිංහ සහ විනුක රූපසිංහ අර්ධ ශතක රැස්කර ගනිද්දී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් කෞමාල් නානායක්කාර කඩුලු 5ක් දවා ගත්තේය. මේ වන විට වේල්ස් කුමර විද්‍යාලය ප්‍රතිවාදී මහානාම විද්‍යාලයට වඩා ලකුණු 134ක් පිටුපසින් සිටින නිසා දෙවැනි ඉනිමේ දී ඉතාමත් ප්‍රවේසමෙන් පිත්ත හැසිරවීමට ඔවුන්ට සිදු වනු ඇත.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 77 (පන්දුවාර 33.5) : දේවක පීරිස් 34*, අචින්ත සුපුන් 3/09, රොෂේන් පෙරේරා 3/13 පවන්ත වීරසිංහ 2/11.

මහානාම විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 56.4) : පවන්ත වීරසිංහ 62, විනුක රූපසිංහ 60, පවන් රත්නායක 26, සොනාල් ගමගේ 22, කෞමාල් නානායක්කාර 5/70, ලක්ෂාන් පෙරේරා 2/27, සුවත් මෙන්ඩිස් 2/49.


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

අද ආරම්භ වූ මෙම තරගයේ මුල් දිනය නිමා වෙද්දී සත්කාරක තර්ස්ටන් විද්‍යාලය වැඩි වාසි ලබාගෙන සිටින බව පැවසිය හැකිය. ඒ තර්ස්ටන් විදුහල මුල් ඉනිම වෙනුවෙන් රැස්කර ගත් ලකුණු 283ට පිළිතුරු ලෙස පන්දුවට පහර දෙන සර්වේසස් විද්‍යාලයේ කඩුලු 3ක් ලකුණු 18ක් තුල බිඳ වැටී ඇති බැවිනි. කාසියේ වාසිය දිනා ගත් සර්වේසස් කණ්ඩායමේ ඇරයුම අනුව පන්දුවට පහර දුන් තර්ස්ටන් පිළ වෙනුවෙන් අයේශ් හර්ෂණ ලකුණු 71ක් රැස්කර ගනිද්දී රනේෂ් සිල්වා අර්ධ ශතකයක් වාර්තා කළේය.

තර්ස්ටන් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 283 (පන්දුවාර 79.4) : අයේශ් හර්ෂණ 71, රනේෂ් සිල්වා 51, බවන්ත ජයසිංහ 35, යොහාන් ලියනගේ 26, නිමේෂ් පෙරේරා 26, චේතක දෙනුවන් 2/31, මතීශ මධුශාන් 2/33, ශශික දුල්ශාන් 2/70, කේශර නුවන්ත 2/74.

සාන්ත සර්වේසස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 18 (පන්දුවාර 14) : බවන්ත ජයසිංහ 2/05.

NCCට මතක හිටින පාඩමක් කියා දී මුවර්ස් ශූරතාව රැගෙන යයි

ක්‍රිකට් ක්‍රීඩාව අසිරිමත් ක්‍රීඩාවක් බැව් නැවත වතාවක් සනාථ කරමින් ශ්‍රී ලංකා….


යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

යාපනය සාන්ත ජෝන් විද්‍යාලයේ දී පැවැත්වෙන මෙම තරගයේ මුල් දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි ලබාගෙන සිටින්නේ සත්කාරක පාසලයි. කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීම තෝරාගත් ඔවුන් මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 163ක් රැස් කරගත් අතර තේවෙන්තිර දිනූෂන් නොදැවී ලකුණු 74ක් රැස්කර ගත්තේය. දිනය නිමා වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලබාගෙන සිටින්නේ ලකුණු 94ක් පමණි. ඒ අනුව ඔවුන් හෙට දිනයේ ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට නම් ඉතිරි කඩුලු 3 භාවිතා කරමින් තවත් ලකුණු 70ක් ලබා ගත යුතුය.

සාන්ත ජෝන් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 49.2) : තේවෙන්තිර දිනූෂන් 74*, ක්‍රිස්ටි ප්‍රසන්න 31, අවීශ දුලාංජන 4/33, පැතුම් විහඟ 3/51.

සාන්ත අන්තෝනි විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 94 (පන්දුවාර 41.5) : විශාල් සිල්වා 22, ජොයෙල් පින්ටෝ 20, මුෆින් අභිනාශ් 3/24.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ දේවානන්ද විද්‍යාලයයි. ඔවුන් මුලින් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළ අතර එය පිළිගත් දේවපතිරාජ ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස් කළහ. ඒ වෙනුවෙන් ජීවක ශශීන් අර්ධ ශතකයක් වාර්තා කර ගත් අතර දවසේ කැපී පෙනෙන සිදුවීම වූයේ දේවානන්ද විද්‍යාලය නියෝජනය කරන සුමුදු ප්‍රමෝද් ඉනිමේ කඩුලු 7ක්ම බිඳ හෙලීමයි. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී දේවානන්ද පිළ කඩුලු 3ක් දැවී ලකුණු 45ක් ලබා සිටියි.

 

දේවපතිරාජ විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 71.2) : ජීවක ශශීන් 56, පවන් සංජය 24, සුදීර වීරරත්න 21, සුමුදු ප්‍රමෝද් 7/48 චමිඳු අනුෂ්ක 2/40.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 45 (පන්දුවාර 21) : පවන් සන්දේශ් 2/05.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<