පවිත්ගේ කඩුලු ගැනිමත් සමඟින් ජය තෝමසුවන්ට

380
UPLOAD - U19 Schools cricket 24th December roundup

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (24) තවත් තරඟ දෙකක් අවසන් විය. එහිදී සාන්ත තෝමස් විද්‍යාලය ඉණිමක හා ලකුණු 94ක ජයග්‍රහණයක් ලබා ගන්නා විට, ආනන්ද විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: නාලන්ද විද්‍යාලයට ඉණිමක ජයග්‍රහණයක්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරඟය

U19 Schools cricketC කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඊයේ (23) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කල අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙහිදී සාන්ත තෝමස් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 94ක ජයග්‍රහණයක් හිමිවිය.

ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන අනුරාධපුර මධ්‍ය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබා සිටිහ. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදි සිටි ඩිල්ෂාන් ලක්ෂිත සහ මදුරංග චන්ද්‍රරත්න අද දැවී ගියේ පිලිවෙලින් ලකුණු 27කට සහ 31කටයි. අවසානයේ ඔවුන්ගේ විද්‍යාලයේ ඉණිම ලකුණු 106කට සීමාවිය.

නැවතත් තම දෙවන ඉණිම ආරම්භ කල අනුරාධපුර මැදි විදුහල් කණ්ඩායම වෙනුවෙන් සවිදු සත්සර ලකුණු 21ක් ලබාගත් අතර, සාන්ත තෝමස් ජය විජයග්‍රහණයක් කරමින් පවිත් රත්නායක ලකුණු 23කට කඩුලු 5ක් දවාගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 261 (පන්දුවාර 65.5): දුලිත් ගුණරත්න 82, රොමේෂ් නල්ලප්‍පෙරුම 69, රවිදු කොඩිතුවක්කු 28, රවිනාත් ප්‍රභාෂ්වර 7/76, ධනංජය තමවිට 2/28

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 106 (පන්දුවාර 29.1): මදුරංග චන්ද්‍රරත්න 31, ඩිල්ශාන් ලක්ෂිත 27, කලන පෙරේරා 4/16

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ‍දෙවන ඉණිම (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 61 (පන්දුවාර 33.1): සවිදු සත්සර 21, පවිත් රත්නායක 5/23, ඩෙලෝන් පීරිස් 4/19


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයද C කාණ්ඩයේ තරගයක් ලෙස ආනන්ද විද්‍යාලීය ක්‍රිකට් පිටියේදී ඊයේ (23) ආරම්භ විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ආනන්ද විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණය හිමිවිය.

පළමු දිනය අවසන් වන විට පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 219ක් ලබා ගන්නට සමත් විය. සුපුන් වරාගොඩගේ දක්ෂ ඉණිම ලකුණු 100ක් ලබා ගත් සැනින් අවසන් කිරීමට ධර්මාශෝක විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය. ලකුණු 260ක් ලබා සිටියදී තම පළමු ඉණිම අත්හිටුවීමට ආනන්ද විද්‍යාලය තීරණය කරන ලදි.

අනතුරුව තම දෙවන ඉණිම ක්‍රීඩා කල ධර්මාශෝක විද්‍යාලය තරගයේ අවසන් දිනය අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 246ක් ලබා ගන්නා ලදි. එහිදී නිමේෂ් මෙන්ඩිස් ලකුණු 76ක් ලබා ගෙන දස්කම් දක්වද්දි, පිත්තෙන් ද දස්කම් දැක්වූ අසේල සිගේරා කඩුලු 5ක් දවාගන්නා ලදි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 44.2): කවීෂ කුමාර 48, හර්ෂජිත් රැශාන් 31, රවිදු රශාන්ත 20, අසේල සිගේරා 4/12, සම්මු අශාන් 3/64

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 260 dec (පන්දුවාර 69.1): සුපුන් වරාගොඩ 100, අසේල සිගේරා 91, ලසිත් කුමාර 3/44, නිමේෂ් මෙන්ඩිස් 2/68, උෂාන් ඉමන්ත 2/92

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 89.1): නිමේෂ් මෙන්ඩිස් 79, හර්ෂජිත් රුශාන් 67, සුභාශ් ලසංග 62, අසේල සිගේරා 5/32


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළඹ සහිරා විද්‍යාලය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය C කාණ්ඩයේ තරඟයක් ලෙසින් අද (24) සහිරා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ආරම්භ විය. එහිදී කාසියේ වාසිය දිනාගත් ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. දිනය නිමාවන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින සහිරා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 67ක් ලබා සිටියි.

තම පළමු ඉණිම ක්‍රීඩා කල ඇලෝසියස් විද්‍යාලය තම ඉණිමට සියල්ලන්ම දැවී ලකුණු 165ක් වාර්තා කරන ලදි. එහිදී තම ඉණිම වෙනුවෙන් පසිදු නානායක්කාර ලකුණු 64ක් ලබාගෙන දස්කම් දක්වද්දී, සජිත් සමීර කඩුලු 5ක් දවාගනිමින් ඇලෝසියස් පිතිකරණය අසාර්ථක කරවන ලදි.

සහිරා විද්‍යාලය දිනය අවසන් වන විට ලකුණු 67ක් ලබාගෙන සිටි අතර එම ලකුණ ලබා ගැනීමට පිතිකරුවන් කිහිපදෙනක්ම දායකත්වය දක්වන ලදි. නිදුක් මල්සිත් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 68.5): පසිදු නානායක්කාර 64, ගිම්හාන ආශිර්වාද 27, සජිත් සමීර 5/42

සහිරා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 67 (පන්දුවාර 24): නිදුක මල්සිත් 3/24

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට