සහිරා පන්දු යවන්නෝ ජනාධිපති විද්‍යාලය මට්ටු කරති

228

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග කිහිපයක් අද (11) ක්‍රියාත්මක විය. ඒ අතරින් නිමා වූ එක් තරගයක දී සහිරා විද්‍යාලයේ පන්දු යවන්නන් විසින් ජනාධිපති විද්‍යාලයේ පිතිකරුවන් අසරණ කිරීම නිසා ලකුණු 185ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සහිරා ක්‍රීඩකයෝ සමත් වූහ.

සහිරා – ජනාධිපති ක්‍රිකට් ගැටුම ඇරඹේ

ක්‍රමයෙන් උණුසුම් වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (10) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය. තරගය…

මරදාන සහිරා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

ඉමිතියාස් සල්සාගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් මරදාන සහිරා විද්‍යාල පිටියේ දී ක්‍රියාත්මක වූ මේ B කාණ්ඩයේ තරගයෙන් ලකුණු 185ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සත්කාරක සහිරා විද්‍යාලය සමත් විය.

මෙම තරගය අද (11) දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ජනාධිපති විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටියේ සහිරා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 151ක් පසුපසින් සිටිමිනි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 162කට සීමා කළ සහිරා විද්‍යාලයීය පන්දු යවන්නන් සිය විද්‍යාලයට ලකුණු 43ක පළමු ඉනිමේ වාසියක් ලබා දුන්නේය. ජනාධිපති විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් අකිල රොෂේන් ලකුණු 45ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

පළමු ඉනිමේ වැඩි වාසි දිනා ගෙන පිටියට පැමිණි සහිරා විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 145ක් ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටුවන ලද්දේ ජනාධිපති විද්‍යාලයට ලකුණු 208ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.  

එම ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ ජනාධිපති විද්‍යාල පිතිකරුවන් හට ඔවුන්ගේ පළමු ඉනිම තරම් දුරට හෝ සාර්ථක වීමට අවස්ථාව නොලැබුණේ තණතීරුවේ දඟ කැවීම පිළිබඳව ඔවුන්ගේ පිතිකරුවන් හට නිසි අවබෝධයක් නොමැතිව ගිය නිසයි.

Video – පළමු ශූරතාවය සොයා යන ගුරුකුල විද්‍යාලය – Team Preview 2018/19

ගුරුකුල විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් යනු සැබවින්ම නිහඬ දඩයක්කරුවන් පිරිසකි. පසුගිය වසරට සාපේක්ෂව පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන ගුරුකුල විද්‍යාලයේ වයස අවුරුදු 19න්…

ලකුණු 208ක ඉලක්කය හඹා යාම කෙසේ වුවත් පන්දුවාර 16කුත් පන්දු 4ක් අවසානයේ ජනාධිපති විද්‍යාලයීය දෙවන ඉනිමේ කඩුලු සියල්ලම සිය ග්‍රහණයට ගැනීමට සහිරා විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය. ජනාධිපති විද්‍යාලයේ දෙවන ඉනිම ලකුණු 22ක් වැනි අවම මට්ටමේ ලකුණකට සීමා කිරීමට සහිරා විද්‍යාලයට සහය වූ  මොහොමඩ් කාලිෆ් කඩුලු 5ක් දවාගෙන එම ඉනිමේ (තරගයේ තෙවන ඉනිමේ) වැඩිම කඩුලු ලාභියා විය.

කාසියේ වාසිය දිනා ගත් ජනාධිපති විද්‍යාලයට එරෙහිව ක්‍රියාත්මක වූ සහිරා විද්‍යාලය වෙනුවෙන් යසිත් නිර්මාල් ලකුණු 75ක් ලබාගෙන හා ඉමිතියාස් සල්සා කඩුලු 7ක් දවාගෙන මේ තරගය පුරාවටම දස්කම් දක්වන ලදි.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 205/9 (73): යසිත් නිර්මාල් 40, අරවින්ද 35, චතුර දිල්රුක්ෂණ 33, ටශික නිර්මාල් 4/50, තෙවින් තෙව්මික 3/37.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – 162 (46.1): අකිල රොෂේන් 45, සදසය කල්ප 22, ඉමිතියාස් සල්සා 5/61.

සහිරා විද්‍යාල දෙවන ඉනිම –  145/7d (44): යසිත් නිර්මාල්  35, ඉමිතියාස් සල්සා 33, දිනිත් නෙලුම්දෙණිය 5/51.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – 22 (16.4): මොහොමඩ් කාලිෆ් 5/07, මොහොමඩ් රිෆ්ගා 3/13,  ඉමිතියාස් සල්සා 2/01.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

සුහද තරගයක් ලෙස පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පිටියේ පැවැත්වෙන මේ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක ධර්මපාල විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 89ක් ලබාගෙන සිටියේ ඉතාමත් අසීරු අඩියකට මුහුණ දෙමිනි.

ධර්මාශෝක විද්‍යාලය කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 131ක් පමණි. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන හසිත රාජපක්ෂ ලකුණු 45ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව ලහන් ද සොයිසා හා කවිඳු නදීශාන් පිළිවෙළින් ලකුණු 40ක් හා ලකුණු 26ක් සිය විද්‍යාල ලකුණු සටහනට එකතු කළේය.

පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමිඳු සමරසිංහ ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් ධර්මාශෝක පිතිකරුවන්ව පාලනය කළේය.

තරිඳු සහ රොහාන් සංජයගෙන් සුපිරි පන්දු යැවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (11) නිමා වූ තරගවලින් එස්. එස්. සී. සහ සී. සී. සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය…

ධර්මාශෝක විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 131කට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් තරගයේ පළමු දිනයේ දී වැඩිම ලකුණු ලබාගැනීමට සමත් වූයේ දුලාජ් එගොඩගේ වන අතර ඔහු ලකුණු 26කට දැවී ගියේය. තරගය පළමු දිනයට නවතා දමන විට නොදැවී ක්‍රීඩා කරමින් සටන්කාමී පිතිකරණයක නිරත වන විහඟ ගුණරත්න නොදැවී ලකුණු 24යි.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 131 (59.5): හසිත රාජපක්ෂ 45, ලහන් ද සොයිසා 40, කවිඳු නදීශාන් 26, චමිඳු සමරසිංහ 4/20, දිල්ශාන් ද සිල්වා 4/46.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 89/7 (33): දුලාජ් එගොඩගේ 26, විහඟ ගුණරත්න 24*, ලක්ෂාන් දනංජය 3/23, අභීත් චන්ද්‍රගුප්ත 2/18.

මේ පාසල් ක්‍රිකට් තරග අතරින් පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (12) දෙවන දිනයත් ක්‍රියාත්මක වෙන අතර එහි තොරතුරු ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<