උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාතේ තේරීමේ කටයුතු අවසන්

334

2018 වසරේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ පළමු අදියරේ කටයුතු පසුගිය 13 වන දා සිටි පාපන්දු සංකීර්ණයේ දී අවසන් විය.

අවුරුදු 19න් පහළ තේරීම් තරග ඉදිරි සතිවල දී

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන

ඒ අනුව එදින පළමු අදියර යටතේ සිටි පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වුණේ උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත් වල තේරීමේ කටයුතු ය. ඒ අනුව අදාළ පළාත් වලින් තේරීමේ කටයුතු සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 93 කි. ඒ අතරින් වැඩිම පිරිසක් යාපනය, මන්නාරම, පුත්තලම, බදුල්ල, මහනුවර සහ වෙන්නප්පුව යන ප්‍රදේශවලින් පැමිණි ක්‍රීඩකයින් බව විශ්ලේෂණවල දී අනාවරණය විය.

සමස්ත ලංකා අන්තර් පාඨශාලීය පාපන්දු තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් මෙන්ම අන්තර් සමාජ පාපන්දු දිවිය ආරම්භ කරනු ලැබූ ක්‍රීඩකයින් ද මේ සඳහා සහභාගී වූයේ ඔවුන් තුළ තිබූ අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා ය.  

ශ්‍රී ලංකා පාසල් පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ නමක් රඳවා ගෙන සිටින යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායමේ ‘Forward’ ස්ථානයේ ක්‍රීඩා කරන රජිකුමාර් ශාන්තන් ද තේරීමේ කටයුතු සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් අතර විය. මේ වන විට පාසලේ වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම නියෝජනය කරන ඔහු 2016 වසරේ දී පැවති වයස අවුරුදු 19න් පහළ කොත්මලේ පාපන්දු තරගාවලියේ දී ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ අතර සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ද සමත් විය.

එමෙන්ම ඔහු මේ වන විට සිඟින් ෆිෂ් SC කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් බවට පත්ව ඇති අතර ඔවුන් 2017 වසරේ FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටය දක්වා සුදුසුකම් ලබන්නට සමත් විය. ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී තරගාවලියෙන් ඉවත් වූයේ තරගාවලියෙන් ඉවත් වූ අවසන් උතුරු පළාතේ කණ්ඩායම ලෙසිනි. තේරීමේ කටයුතු සඳහා ඔහුගේ පාසලෙන් සහභාගී වූ සම්පූර්ණ ක්‍රීඩකයින් ගණන 05කි.

උතුරු පළාතේ තිබෙන ප්‍රබලම කණ්ඩායම් අතරින් එකක් වන සාන්ත හෙන්රි විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ බෙනඩික්ට් කනිස්තාන්, ඥානේශ්වරම් ඇන්තනිරාජ් සහ ප්‍රේමකුමාර් සින්තුජන් යන ක්‍රීඩකයින් ද මෙම තේරීමේ කටයුතු සඳහා සහභාගී විය. ඇන්තනිරාජ් ඉතා දක්ෂ ආක්‍රමණශීලී ක්‍රීඩකයෙක් බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක්ම පවසා ඇත. විවිධ වයස් කාණ්ඩවල යොවුන් ජාතික කණ්ඩායම්වලට වසර ගණනාවක් ඔහු සිය දායකත්වය ලබා දී ඇති අතර වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී ජපානයේ දී ක්‍රීඩා කිරීමට ද ඔහුට අවස්ථාව ලැබී ඇත. එමෙන්ම අලියාන්ස් රක්ෂණ සමාගම මඟින් ගෙන ගිය වැඩසටහනක් ඔස්සේ ජර්මනියේ දී පාපන්දු පුහුණු වැඩසටහනකට සහභාගී වීමට ද ඔහුට අවස්ථාව සැලසී ඇත.

සාන්ත හෙන්රි කණ්ඩායමේ ‘Defender’ ක්‍රීඩකයෙක් වන සින්තුජන් ද දස්කම් අතරට පැමිණීමට සමත්ව ඇති අතර ඔවුන් දිවයිනේ පැවැත්වෙන ප්‍රධාන තරගාවලිවල අවසන් අදියර දක්වා සුදුසුකම් ලබන්නට සමත් වී ඇත. ඔහු අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට තේරීපත් වුවහොත් එම කණ්ඩායම කලින් නියෝජනය කළ ක්‍රීඩකයින් වන ජූඩ් සුමන්, ඇන්තනි රමේෂ් සහ මදුෂාන් වැනි ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරමින් ඔහු ලබාගෙන ඇති අත්දැකීම් ඔහුට ඉතා වැදගත් වනු ඇත.

සාන්ත හෙන්රි කණ්ඩායමේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වූ තවත් ක්‍රීඩකයෙක් ලෙස බෙනඩික්ට් කනිස්තාන් හඳුන්වා දිය හැක. ඔහු සාමාන්‍යයෙන් මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළත් ඕනෑම ස්ථානයකට අනුවර්තනය වීමට ඔහු දක්වන හැකියාව නිසා ඔහුව අවශ්‍යතාවයක් ඇති වුවහොත් ‘Forward’ හෝ ‘Right Wing’ ස්ථානයේ ද ක්‍රීඩා කිරීමට යොදා ගත හැකිය.

ඒ අනුව මෙම තේරීමේ කටයුතු සඳහා යාපනය ප්‍රදේශයෙන් ක්‍රීඩකයින් 20 දෙනෙක් පමණ සහභාගී වී ඇත. මෙය දිවයිනේ උතුරු ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව ළඟා කර ගෙන තිබෙන වර්ධනය හොඳින් පෙන්නුම් කරණ අවස්ථාවකි.

ඉෂාර සඳරුවන් අවධානය යොමු කළ යුතු තවත් නැඟී එන ක්‍රීඩකයෙකි. Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දී ඔහු නිව් යන්ග්ස් FC කණ්ඩායම නියෝජනය කළ අතර වයස අවුරුදු 19න් පහළ කොත්මලේ පාපන්දු තරගාවලියේ දී අර්ධ අවසන් වටය දක්වා සුදුසුකම් ලැබූ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙස ද ඔහු ක්‍රීඩා කළේය.

මෙම යොවුන් ජාතික සංචිතයේ පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ පාපන්දු පුහුණුකරුවෙක් වන සුමිත් වල්පොළ මහතා ය. ඔහු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර මේ වන විට ඔහු සෝන්ඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි. ඔහු දක්‍ෂ තරුණ ක්‍රීඩකයින් රාශියකට ගුරු හරුකම් ලබා දී ඇති අතර ක්ෂේත්‍රය තුළ ඔහු ලබා තිබෙන අත්දැකීම් මෙම කණ්ඩායම තරගාවලිය සඳහා සූදානම් කිරීමේ දී අතිශය වැදගත් වනු ඇත.

මොරගස්මුල්ල SC කණ්ඩායමේ පුහුණුකාර ධූරය දරන රොහාන් වික්‍රමරත්න මහතා කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස තෝරා පත්කරගෙන ඇත. කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයින් පුහුණු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ගෝල රකින ක්‍රීඩකයෙක් වන ලලිත් වීරසිංහ හටයි.

තේරීමේ කටයුතුවල දෙවන අදියර දකුණු හා බස්නාහිර පළාත්වල ක්‍රීඩකයින් සඳහා මෙම මස (ජුනි) 20 වන දින සිටි පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වෙනු ඇත.

 >> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට ​<<