25 වන වරටත් මයිලෝ ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පැවති “මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ” අවසන් මහා තරගයෙන්, ගියවර ශූරතාවය මෙන්ම මෙම තරගාවලි ඉතිහාසයේ දස වතාවක් ශූරතාවය ජයග්‍රහණය කළ ඉසිපතන විද්‍යාලය පරාජයට පත්කරමින් තම පළමු ජනාධිපති කුසලාන ශූරතාවය ජයග්‍රහණය කිරීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

ලකුණු දෙකකින් අගමැති කුසලානය මලියදේවයට

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අද (23) පැවති මයිලෝ අගමැති කුසලාන

සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයේ දී ලකුණු 34 – 12ක් ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ලකුණු 22 – 20ක් ලෙස පරාජය කරමින් ඉසිපතන විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

මෙම තරගාවලි ඉතිහාසයේ ඉසිපතන විද්‍යාලය අවසන් මහා තරගයකට පැමිණි 22 වන අවස්ථාව මෙය වන අතර, සාන්ත ජෝසප් විද්‍යාලය මෙම තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

කොළඹ තුරඟ තරග පිටියේ දී සවස 7.00ට පමණ විදුලි ආලෝකය මධ්‍යයේ ඉසිපතන විද්‍යාලයීය නායක සී. ආර්. ඕ. සිල්වා විසින් තරගයට ආරම්භය ලබා ගත්තේය. එතැන් පටන් තියුණු හා උද්වේගකර තරගයක ආරම්භය සටහන් වූ අතර තරගයේ තෙවන මිනිත්තුවේ දී ම චතුර සෙනෙවිරත්න පළමු උත්සාහක දිනුම් අවස්ථාව සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් සාර්ථක කර ගන්නා ලදි. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට සචිත් සිල්වා අපොහොසත් විය. (සාන්ත ජෝසප් 05 – 00 ඉසිපතන)

එතැන් පටන් තරගයේ පීඩනය ඉසිපතනය දෙසට නතු කරමින් සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩකයින් ආධිපත්‍යය පතුරු වන ලදි. ඉන්පසුව සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් ආසන්නයට පැමිණිය ද, ඔවුන් අතින් සිදු වූ වරදක් නිසා එම උත්සාහක දිනුමේ ලකුණු අහිමි වී ගියේය.

ඉන්පසුව ඉසිපතන ක්‍රීඩකයින් ගෝලයක පහස සොයා ඉදිරියට ඇදී යමින් ධවල රේඛාව අසලට ළඟා වූ අතර, තරගයේ 16 වැනි මිනිත්තුවේ දී දෙවින් ගුණරත්න උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ඉසිපතනය වෙනුවෙන් ලකුණු රැස්කිරීම ආරම්භ කරන ලදි. නමුත් සී. ඒ. ප්‍රනාන්දු හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (සාන්ත ජෝසප් 05 – 05 ඉසිපතන)

තරගයේ 27 වන මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දු හට විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් ලබා දුන් අතර, සාන්ත ජෝසප් විද්‍යාලයේ කේ. ඩී. කාවින්දව ගෙල ප්‍රදේශයෙන් අල්ලා වැළැක්වීම ඊට හේතුව විය. ඒ අනුව තරගයේ 32 වන මිනිත්තුවේ දී ඉසිපතන විද්‍යාලයට දඬුවම් පහරක් ලැබුණු නමුත්, එය සාර්ථක කර ගැනීමට ඒ. ටී. කුලසේකර අපොහොසත් විය.

තරගයේ 33 වන මිනිත්තුවේ දී භයානක අන්දමේ වැළැක්වීමක් සිදු කළ සාන්ත ජෝසප් ක්‍රීඩක ගිහාන් පෙරේරාට ද කහ කාඩ්පතක් ලබා දෙන ලදි.

තරගයේ පළමු අර්ධය නිමාවට තවත් මිනිත්තුවක පමණ කාලයක් ඉතිරිව තිබිය දී නැවතත් ක්‍රියාත්මක වූ සෙනෙවිරත්න සාන්ත ජෝසප් විද්‍යාලයට ලැබුණු දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගත්තේ තරගයේ පළමු අර්ධයේ වාසිය තම විද්‍යාලයට හිමි කර දෙමිනි. (සාන්ත ජෝසප් 08 – 05 ඉසිපතන)

පළමු අර්ධය: සාන්ත ජෝසප් විදුහල 08 – 05 ඉසිපතන විදුහල

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 3ක් පමණ ගෙවී යනවාත් සමඟින් චමෝද් ප්‍රනාන්දු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගෙන තරගයේ ලකුණු සම මට්ටමකට ගෙන එන ලදි. (සාන්ත ජෝසප් 08 – 08 ඉසිපතන)

තරගයේ උණුසුම ක්‍රමයෙන් වැඩි වන විට සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩක තරිඳු ද අල්විස් 62 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේ නැවත වතාවක් සාන්ත ජෝසප් විද්‍යාලය පෙරමුණේ තබමිනි. සචිත් සිල්වා හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (සාන්ත ජෝසප් 13 – 08 ඉසිපතන)

තරගයේ 66 වන මිනිත්තුවේ දී ඉසිපතන විද්‍යාලය විසින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට වෑයම් කළ ද, එය විනිසුරුතුමා විසින් අවලංගු කළේ, ඉසිපතන විද්‍යාලය විසින් නීත්‍යනුකූල නොවන ලෙස පන්දුව හුවමාරු කිරීම නිසාවෙනි.

අනතුරුව ප්‍රේක්ෂකාගාරයේ දැඩි උණුසුම් ප්‍රතිචාර මැදින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තම උත්සාහක දිනුම් සීමාව අසලටම ළඟා වුවත්, එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. එහි දී විනිසුරුතුමා විසින් සාන්ත ජෝසප් විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් ලබා දුන් අතර, එය සාර්ථක කර ගැනීමට සෙනෙවිරත්න සමත් වූයේ තම විද්‍යාලයේ ආධිපත්‍ය තවදුරටත් තර කර ගනිමිනි. (සාන්ත ජෝසප් 16 – 08 ඉසිපතන)

එයින් නොනැවතුනු සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට තරගයේ 74 වන මිනිත්තුවේ දී නැවත වතාවක් දඬුවම් පහරක් හිමි වූ අතර, එය ද දක්ෂ ලෙස සාර්ථක කර ගැනීමට සෙනෙවිරත්න සමත් විය. (සාන්ත ජෝසප් 19 – 08 ඉසිපතන)

ඉසිපතන ක්‍රීඩකයින් කෙසේ හෝ ජෝසප්වරුන් අභිබවා යෑමට වෙහෙසෙන අතරතුර ජෝසප්වරුන් තවතවත් ලකුණු මල්ල තර කර ගැනීමට වැයම් කළේය. කෙසේ නමුත් තරගයේ වාර්තා වූ අවසන් උත්සාහක දිනුමේ අයිතිය තමන් නමින් සටහන් කර ගන්නට ඉසිපතන ක්‍රීඩක කේශාව් සමත් වූයේ 79 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත ජෝසප් 19 – 13 ඉසිපතන)

ඒ සමඟින් ඉසිපතන ක්‍රීඩකයින් යම් ජීවයක් ලබා ගත් නමුත් තරගයට කාලය හරස් වූයේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය හිමි කර දෙමිනි.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 19 – 13 ඉසිපතන විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: චතුර සෙනෙවිරත්න (සාන්ත ජෝසප් විද්‍යාලය)

තරගයෙන් අනතුරුව දෙපිලේම ප්‍රේක්ෂකයන් අතර උණුසුම් වතාවරණයක් ගොඩනැගුණු අතර පොලිස් කැරලි මර්දන ඒකකයේ මැදිහත් වීමත් සමඟින් එය සමථයකට පත්විය.

ලකුණු ලබා ගැනීම,

සාන්ත ජෝසප් විද්‍යාලය – (19) උත්සාහක දිනුම්  2 , දඬුවම් පහර 3

උත්සාහක දිනුම් – චතුර සෙනෙවිරත්න 1, තරිඳු ද අල්විස් 1
දඬුවම් පහර – චතුර සෙනෙවිරත්න 3

ඉසිපතන විද්‍යාලය – (13) උත්සාහක දිනුම් 2, දඬුවම් පහර 1

උත්සාහක දිනුම් – දෙවින් ගුණරත්න 1, කේශාව් සභානායක 1
දඬුවම් පහර – චමෝද් ප්‍රනාන්දු 1

කහ කාඩ්පත් ,

සාන්ත ජෝසප් විද්‍යාලය – ගිහාන් පෙරේරා
ඉසිපතන විද්‍යාලය – චමෝද් ප්‍රනාන්දු

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<