ඉරානයේ ආඩබිල් නුවර දී ඇරඹීමට නියමිත ‘දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය’ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම් වල නිරත වෙයි. තරගාවලිය ඇරඹෙන්නේ ලබන මැයි පළමු වැනිදා වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සිකුරාදා (28) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ආසියානු 23න් පහළ තරගාවලියට ශ්‍රී ලංකාව “D”කාණ්ඩයෙන්
දෙවන වරටත් පැවැත්වෙන “ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවලිය” සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම “D” කාණ්ඩයෙන් තරගාවලියට එක්වීමට…
පසුබිම
මෙවර පැවැත්වෙන්නේ ඉතිහාසයේ දෙවන 23න් පහළ තරගාවලියයි. මෙම තරගාවලිය හඳුන්වා දීමට ප්‍රථම පැවතියේ 18න් පහළ සහ 20න් පහළ ආසියානු තරගාවලි ද්විත්වයක් පමණි. 23න් පහළ තරගාවලිය හඳුන්වාදීමත් සමඟ වයස 20 සීමාවේ සහ ඉන් ඉහළ වයස් සීමාවල ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ දී ක්‍රියාකාරී වීමට ඉඩ ලැබී ඇත. එය ශ්‍රී ලංකාවට විශේෂයෙන් බලපාන හේතු කිහිපයක් පවතී.
ඉරානය, ජපානය මෙන් නොව ශ්‍රී ලංකාව තුළ වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ලෙස හැඳින්වුණත් ඊට වෘත්තීයමය පසුබිමක් නැත. එවිට 20න් පහළ දක්ෂ ක්‍රීඩකයන් 20න් පහළ ආසියානු තරගාවලියට සහභාගී වීමෙන් පසු බොහෝ විට ක්‍රීඩාව අත්හැර දමා රැකියාවක් තෝරා ගැනීමට පෙළඹේ. රැකියාවත් ක්‍රීඩාවත් එක ලෙස ප්‍රගුණ කරන ක්‍රීඩකයන් ප්‍රමාණය ගණනින් සුළු ය. 23න් පහළ තරගාවලිය හඳුන්වාදීමෙන් පසු ඔවුන්ට 23න් පහළ ක්‍රීඩකයන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම හිමිවේ.
18න් පහළ සහ 20න් පහළ මට්ටම්වල දී අනෙකුත් ආසියාතික කණ්ඩායම් සමඟ හොඳින් තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන් අනතුරුව පසුපසට යෑමේ අවාසනාවන්ත තත්වය මේ තරගාවලියත් සමඟින් මඟ හරවා ගත හැකිව තිබේ. මෙම කණ්ඩායම, ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කරන “A” කණ්ඩායමක් වශයෙන් ද සැලකිය හැකිය.
1984 වර්ෂයේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම ආසියාවේ කණ්ඩායම් 26ක් අතුරින් 10 වැනි තැනට පත්ව ඇත්තේ වත්මන් පුහුණුකරු චන්න ජයසේකර මහතාගේ නායකත්වය යටතේය. එවකට ඉරානයට හිමිව තිබුණේ ආසියාවේ දසවැනි ස්ථානය වන අතර අද ඔවුන් ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් 3 අතර පසුවේ. 23න් පහළ තරගාවලියේ දී ආසියාවේ ඉහළ මට්ටමේ කණ්ඩායම් වලට අභියෝග කිරීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව ඇත.
මෙවර කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ දී “D” කාණ්ඩයෙන් තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ පෙර වසරේ 4 වැනි සහ 7වැනි ස්ථාන දිනා ගත් ජපානය සහ තායිලන්තය සමඟයි. සෑම කාණ්ඩයකම මුල් ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට පියමැනීමේ අවස්ථාව ලබාගනු ඇත.
මේ, ශ්‍රී ලංකාව මීට සහභාගී වන පළමු අවස්ථාව වන අතර තායිලන්ත කණ්ඩායම පරාජය කිරීමට අනගි අවස්ථාවක් ඔවුන්ට මෙවර උදාවේ.
පුහුණුව සහ පුහුණුකරුවන්
මාස තුනකට ආසන්න කාලයක් 23න් පහළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පුහුණුවීම් වල යෙදී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සපයන ලද පහසුකම් සමඟිනි.
ක්‍රීඩකයන්ගේ පෝෂණය, ඉදුම් හිටුම් සහ ශරීර ශක්තිය වර්ධනය යන අංශවලට අමාත්‍යාංශයේ පහසුකම් හිමිව ඇත. සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමකට මාස 5ක පමණ පුහුණුවීම් කාලයක් ලැබෙන අතර 23න් පහළ කණ්ඩායම මාස 3කට ආසන්න කාලයක දී තරගාවලියට සූදානම් වී ඇත්තේ දිවයිනේ ප්‍රමුඛතම පුහුණුකරුවන් තිදෙනෙකුගේ අනුදැනුම යටතේයි.
ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර, 80 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කොට, එහි නායකත්වය ද දරා, පසුව පුහුණුකරුවෙකු බවට පත්වූයෙකි. ඔහුගේ පුහුණුකාරීත්වය ලැබූ බොහෝ ක්‍රීඩා සමාජ, අනෙකුත් ක්‍රීඩා සමාජ අතුරින් ඉහළට නැඟ ඇති බව අපි දනිමු. දැනට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ වොලිබෝල් පුහුණුකාරීත්වය දරන්නේ ද ඔහුයි.



.
කණ්ඩායමේ දක්ෂයන්
30 දෙනෙකුට අධික දක්ෂ ක්‍රීඩකයන් සමූහයකගෙන් පෙරී ආ අතිදක්ෂයන් 12 දෙනෙකු මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි. ඉන් කිහිප දෙනෙකු මෙසේ හඳුනා ගනිමු.




මේ අතරට පසුගිය දා අවසන් වූ ‘රසදිය වොලිබෝල් තරගාවලියේ’ දක්ෂතම ප්‍රහාරකයා වූ හරිත හෂාන්, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රබල උස පන්දු ප්‍රහාරක නදීප ලක්ෂාන් සහ ‘2016 රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ’ දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා වූ හර්ෂක සිල්වා ද එක්වෙනු ඇත. සංචිතයට ඇතුළත් සෑම ක්‍රීඩකයෙකුම පාහේ කනිෂ්ඨ සහ යොවුන් මට්ටම්වල ජාතික අත්දැකීම් සහිත වන්නන් වන අතර ශක්තිය අතින් කණ්ඩායම හොඳ මට්ටමක පසුවෙයි.
සංචිතය
අයේෂ් පෙරේරා (නායක), ධනුෂ්ක ඩිල්ෂාන් (උප නායක), මහේෂ් වන්නිගම, නදීප ලක්ෂාන්, ඉසුරු මධුෂාන්, ෂෙහාන් ලක්ෂිත, හරිත හෂාන්, ශෂික ලක්ෂාන්, නිශාන් මධුෂංක, හර්ෂක සිල්වා, රෙහාන් මධුෂංක, ධනුෂ්ක සංජීව.
- පුහුණුකරු – චන්න ජයසේකර.
- සහාය පුහුණුකරු – චමින්ද ජයරත්න.
- සහාය පුහුණුකරු – ජගත් සංජය.
- කළමනාකරු – මේජර් සුරියබණ්ඩාර.
අනුග්‍රාහකයන්
ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෙන් පුහුණුවීම්වල යෙදෙන 23න් පහළ ජාතික කණ්ඩායමට නිලජර්සි සැපයීමෙන් ටීජේ ලංකා ආයතනයත්, ඔමේගා ලයින් කණ්ඩායමත් අනුග්‍රාහකත්වය සපයා ඇත. ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටි සිල්වාපුල්ලේ මහතා ද පෞද්ගලිකවම කණ්ඩායම වෙත සිය දායකත්වය සපයා ඇතත් මෙතෙක් කණ්ඩායමට පූර්ණ අනුග්‍රාහකයෙකු නොමැතිවීම කණගාටුවට කරුණක් වන්නේ මේ අපේ ජාතික ක්‍රීඩාව වන නිසා ය.
දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ThePapare.com සමඟින් විශේෂ අදහස් දැක්වීමකට එක්වූ ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර මහතා මෙසේ පැවසීය.
“අපේ ලොකුම උත්සාහය තමයි මේ පාර තායිලන්තය පරාජය කිරීම. පළමු වටය තමයි ටිකක් අමාරු. මොකද, මේ අපේ පළමු 23න් පහළ තරගාවලිය නිසා කාණ්ඩ වෙන්කිරීමේ දී අපට හිමිවුණේ ජපානයයි, තායිලන්තයයි. හැබැයි පිලිපීනය ඉවත්වුණු නිසා පකිස්තානයට නිදහස් අවස්ථාවක් ලැබුණා දෙවැනි වටයට යන්න. ඉතින් අපි තායිලන්තය පරාජය කරලා සුපිරි අට දෙනාගේ වටයට ආවොත් අපට පකිස්තානය මුණගැහීමේ ලොකු අවස්ථාවක් තියෙනවා.”
ක්‍රීඩකයන්ගෙන් සහ සහාය පුහුණුකරුවන්ගෙනුත්, ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් ලැබෙන සහය ගැන ද ඔහු සඳහන් කළේය.
“ක්‍රීඩකයෝ හොඳින් කැපවෙනවා. හැමදෙනාම වගේ මට කලින් හමුවෙලා තියෙන අය. සහාය පුහුණුකරුවන් වුණත් මං කාලයක් තිස්සේ අඳුරන නිසා අපේ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩක් වැඩියි. ක්‍රීඩකයන්ට ආහාර, නවාතැන්, ජිම් (gym) වගේ පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙනවා. ලැබිය යුතු අවම තරමින් හරි ඒවා ලැබීම අපේ ක්‍රීඩාවට රුකුලක්.”
උප නායක ධනුෂ්ක ඩිල්ෂාන් පැවසුවේ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තමන්ගේ බලාපොරොත්තුව බවයි.
“අපට හොඳ කණ්ඩායමක් ඉන්නවා. පළවෙනි අභියෝගය තමයි සුපර් 8 (super 8) වලට එන එක. මහන්සි වෙලා තරග කරලා ලංකාවට කීර්තියක් ගේන්න බලාපොරොත්තු වෙනවා.”
හොඳ පුහුණුවකින් සහ දක්ෂ කණ්ඩායමකින් සන්නද්ධ 23න් පහළ පිරිමි ශ්‍රී ලංකා වොලිබෝල් සංචිතයට ඉරානයේ දී ජයග්‍රාහී ලීලාවෙන් ආසියානු තරගාවලිය අවසන් කරන්නට ශක්තිය, ධෛර්යය පතන ThePapare.com, මැයි පළමු වැනිදා සිට තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත ගෙන එන්නට සූදානම්.






















