ඔලිම්පික් බලධාරීන්ට නන් දෙසින් චෝදනා

75

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි මාසයේ ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිතව පවතී. කෙසේ නමුත් මේ දිනවල ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරස තත්වය මත ද මෙම තරගාවලිය පැවැත්වීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.

ඔලිම්පික් ප්‍රධානියාටත් කොරෝනා වැලඳෙයි

ජපාන ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී කොසෝ ටෂිමා අඟහරුවාදා (17) පවසා සිටියේ තමාට කොරෝනා……….

ජපාන ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානියා හටද කොරෝනා වැලඳී තිබෙන පසුබිමක මෙම තරගාවලිය පැවැත්වීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුව ඇති නමුත් ජපාන බලධාරීන් තවමත් කල් දැමීමක් හෝ අවලංගු කිරීමක් පිළබඳව නිවේදනය කොට නැත. පසුගිය දා ජපාන ඔලිම්පික් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඔවුන් තවමත් සැලසුම් අනුව කටයුතු කරන බවයි.

කෙසේ නමුත් බලධාරීන්ගේ මෙම තීරණය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ අතර එය පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකාවක් වන කැනේඩියානු ක්‍රීඩිකා හෙයිලි විකෙන්ශියර් ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රීඩා උළෙල සූදානම් කර පරිදි පැවැත්වීම අසංවේදී සහ වගකීම් විරහිත ක්‍රියාවක් බවයි.

ඔලිම්පික් කමිටු සාමාජිකා හෙයිලි විකෙන්ශියර්

“මෙම තත්වය ඔලිම්පික් උළෙලට වඩා වැදගත් දෙයක්, අපි දන්නේ නෑ ඉදිරි පැය විසිහතර තුළ කුමක් සිදු වේද කියලා. මෙම තත්වය මත ක්‍රීඩකයන්ට පුහුණුවීම් කළ නොහැකි, සහභාගී වන පුද්ගලයන්ට ගමන් සැලැස්මක් සාදා ගත නොහැකි, මෙම තත්වය මත මෙම උළෙල පෙර සැලසුම් කළ පරිදි පැවැත්වීම ඉතා වගකීම් විරහිත ක්‍රියාවක්” යන්න ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් ජපන් බලධාරීන් තවමත් තම ස්ථාවරයේ සිටින අතර මෙය පිළිබඳව අදහස් දක්වමින් ස්පාඤ්ඤ ඔලිම්පික් බලධාරීන් ප්‍රකාශ කර සිටියේ පවතින තත්වය මත මෙම ක්‍රීඩා උළෙල කල් දැමීමක් සිදු කර තරගකරුවන්ට හොඳින් පුහුණු වීමට කාලයක් ලබා දිය යුතු බවයි.

තවද මෙම පවතින තත්වය අදහස් දක්වමින් ඔලිම්පික් ශූරියක් වන කැත්‍රිනා ස්ටෙෆනිඩි පවසා සිටියේ මෙම තරගාවලිය පැවැත්වීම මගින් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්වය අනතුරේ හෙලන බවයි. එමෙන්ම බ්‍රිතාන්‍ය ඔලිම්පික් පදක්කම්ලාභී මැතිව් පින්සෙන්ට් Twitter සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය අවලංගු කළ යුතු බවයි.

මීට අමතරව ලොව නන්දෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු බොහෝමයක් මෙය විවේචනය කරමින් සිටින අතර ඇතැම් රටවල් මෙම වයිරස තත්වය නිසාවෙන් සම්පූර්ණයෙන් වසා දමා ඇත. එවැනි තත්වයක් මත තම පුහුණුවීම් පවා සිදු කිරීමට ක්‍රීඩකයන්ට නොහැකි වී ඇත. එවැනි තත්වයක් උද්ගතව ඇති අවස්ථාවක පවා මෙම තරගාවලිය පැවැත්වීමට යෑම පිළිබඳව සියල්ලන් කනස්සල්ලෙන් පසු වේ.

ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම කොරෝනා වයිරසය නිසාවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 8900කට අධික පිරිසක් මිය ගොසින් තවත් පුද්ගලයින් 220,00ක ප්‍රමාණයක් අසනීප තත්වයට පත්ව ඇත. මෙවැනි වටපිටාවක් තුල ජපන් ඔලිම්පික් බලධාරීන් කුමන තීරණයක් ගනී දැයි බොහෝ දෙනා දැඩි අවදානයෙන් පසු වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<