Hagibis නිසා තරග දෙකක් අවලංගුයි

106

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙ තරග දෙකක් Hagibis සුළි කුණාටුව නිසා අවලංගු කිරීමට ජපාන රග්බි බලධාරීන් තීරණය කර තිබේ. ඒ නවසීලන්ත ඕල් බ්ලැක්ස් – ඉතාලිය අතර තරගය හා එංගලන්ත – ප්‍රංශ තරගයයි. 

Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!

ජපානය කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන ……

නවසීලන්ත කණ්ඩායම හා ඉතාලිය අතර තරගය එළඹෙන සෙනසුරාදා දින ටොයෝටා නගරයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. Hagibis සුළි කුණාටුව මේ වන විට පැසිෆික් සමුද්‍රය ඔස්සේ වර්ධනය වී පැයට කිලෝමීටර් 270ක වේගයක් ලබාගෙන ඇති අතර එය ටෝකියෝ නගරය ආසන්නයේ ඇති යොකොහමා නගරයට ළඟා වී ඇත. ඒ අනුව ජපානයේ කයූශි, ශිකෝකු හා හොන්ශු යන දූපත් වලට මෙම සති අන්තයේ දී සුළි කුණාටුව බලපෑම් කරනු ඇත. 

රග්බි ඉතිහාසයේ මින් පෙර ඉතාලිය විසින් නවසීලන්තය පරාජය කර නොමැති අතර මෙම තරග අවලංගු කිරීම නිසා කණ්ඩායම් දෙකටම ලකුණු දෙක බැගින් ලබා දීමට තීරණය කර ඇත. එම තරග ලකුණු වාර්තා නොවූ ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ලෙස සැලකේ. 

එංගලන්තය හා ප්‍රංශය අතර තරගය ද මෙම සුළි කුණාටුව නිසා අවලංගු කර ඇති අතර එම කණ්ඩායම් දෙකට ද ලකුණු දෙක බැගින් හිමිව ඇත. 

වසර 32ක ඉතිහාසයක් ඇති රග්බි ලෝක කුසලානයේ තරගයක් අවලංගු වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ. 

කෙසේ වෙතත් මෙම අවලංගු කිරීමෙන් අනතුරුව නවසීලන්තය හා එංගලන්තය B හා C කාණ්ඩවල පෙරමුණ ගැනීමට සමත්ව ඇත. එම කාණ්ඩ වල දෙවන ස්ථානයන් දකුණු අප්‍රිකාවට හා ප්‍රංශයට හිමිව ඇත. 

නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ මුල් සතිඅන්තයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 23-13ක් ලෙස පරාජය කළ අතර ඔවුන් මුළු ලකුණු 15ක් ලබාගෙන B කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත. දෙවන ස්ථානය ලබාගෙන ඇති දකුණු අප්‍රිකාව ලකුණු 14ක් ලබාගෙන ඇත. 

රග්බි ලෝක කුසලානයට මෙලෙස සුළි කුණාටු අවදානමක් එල්ල විය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පලකර තිබූ අතර ක්‍රීඩාලෝලීන් ද ඒ පිළිබඳව අවධානය යොමු කර තිබුණි. කෙසේ වෙතත් මේ වන විට Hagibis සුළි කුණාටුව 5 වැනි මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇත. 

2019 රග්බි ලෝක කුසලානය උඩු යටිකුරු කළ හොඳම 7

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ අදියරේ …….

නවසීලන්ත කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී A කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගන්නා කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතය. A කාණ්ඩයේ මුල් ස්ථාන දෙක සඳහා ජපානය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය අතර තියුණු සටනක් නිර්මාණය වී ඇත. 

ජපාන බලධාරීන් මෙම තරග අවලංගු කිරීම පිළිබඳව මාධ්‍ය වෙත ඊ මේල් පණිවිඩයක් එවමින් පවසා ඇත්තේ සුළි කුණාටුව ටෝකියෝ නගරය වෙත එල්ල වීමට නියමිත බවත් එමගින් යොකොහමා හා ඒ අවට නගර සඳහා බලපෑම් එල්ල කිරීමට ද නියමිත බවත්ය. 

තවද මෙම තරග අවලංගු කිරීම නිසා කිසිදු කණ්ඩායමකට බලපෑමක් නොවන බවත් ඔවුන් පවසා සිටියා. අවලංගු වූ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නවසීලන්තය, එංගලන්තය හා ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබාගෙන ඇති අතර දකුණු අප්‍රිකාව B කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගෙන ඇති නිසා ඉතාලියට අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය අහිමි වී ඇත. 

කෙසේ වෙතත් A කාණ්ඩයේ තීරණාත්මක තරගයක් වන ජපානය හා ස්කොට්ලන්තය අතර තරගය මෙතෙක් අවලංගු කර නොමැති අතර එය යොකොහමා නගරයේ දී පැය 24කට පසුව පැවැත්වීමට නියමිත බව සිඩ්නි මෝර්නින් හැරල්ඩ් පුවත්පත වාර්තා කළේය. 

ජපාන ස්කොට්ලන්ත තරගය ජපානය ජයග්‍රහණය කළහොත් ඔවුන් A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වනු ඇත. එසේ වුවහොත් අයර්ලන්තය එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. 

ජපානයට එල්ල වී ඇති මෙම Hagibis සුළි කුණාටුව 2019 වසරේ දරුණුතම සුළි කුණාටුව වන අතර එය ටෝකියෝ, යොකොහමා හා ටොයෝටා නගරවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු වේ. එම නගරවල පොදු ප්‍රවාහන සේවා සියල්ල නවතා දැමීමට ද බලධාරීන් තීරණය කර ඇත. 

මෙම හේතුව නිසා මෙම තරග අවලංගු කිරීමට තීරණය කළ බව ලෝක රග්බි සංගමය පවසා සිටියේය. 

“මේක විශේෂ අවස්ථාවක්. ඒ වගේම සංකීර්ණ අවස්ථාවක්. කණ්ඩායම්වල හා ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව තමයි ප්‍රධානම දේ. මෙම තීරණය ගත්තේ සංවිධායකයන්, කාලගුණ විශේෂඥයන්, එම නගරවල නිලධාරීන් වගේම කණ්ඩායම් සමඟින් සාකච්ඡා කරලා අවසානයේ දී. අපි උපරිම උත්සාහය ගන්නවා ජපාන ස්කොට්ලන්ත තරගය ඒ ආකාරයටම ක්‍රීඩා කරන්න. එම තරග පිළිබඳව අවසන් තීරණය ඉරිදා උදේ ගැනීමට තීරණය කර තිබෙනවා. ” 

දකුණු අප්‍රිකානු යෝධයින් කැනඩාව විනාශ කරයි!

2019 රග්බි ලෝක කුසලානයේ B කාණ්ඩයේ …….

මෙම සුළි කුණාටුව බලපෑම් කරන ප්‍රදේශවල ජනතාවට ආරක්ෂක ස්ථානවල රැඳී සිටින මෙන් එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ. 

මෙම තත්වයන් පිළිබඳව ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඇලන් ගිල්පින් අදහස් දක්වා සිටියා. 

“මේ වගේ දරුණු සුළි කුණාටුවක් ඇති අවස්ථාවක ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන් වගේම තරග නිලධාරීන් අවදානමකට ලක් කර නොහැකී. මෙම සුළි කුණාටුව දරුණු වන බවට මත පල කර තිබෙනවා. අපි දන්නවා නවසීලන්ත, ප්‍රංශ, එංගලන්ත හා ඉතාලි ප්‍රේක්ෂකයන් මේ තීරණය නිසා යම් කනස්සල්ලකින් සිටිනවා. නමුත් අපි විශ්වාස කරනවා ඔවුන් තේරුම් ගනීවි කියලා ආරක්ෂාව තමයි ප්‍රධානම දේ කියලා. ඔවුන්ගේ තරග ප්‍රවේශපත් වලට සම්පූර්ණ මුදලම අපි නැවත ගෙවනවා.” 

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (10) කිසිදු තරගයක් නොපැවැත්වෙන අතර ඕස්ට්‍රේලියාව හා ජෝර්ජියාව අතර තරගය හෙට (11) පැවැත්වීමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<