ගාල්ල සහ මහනුවර ගැටෙන NSL අවසන් තරගය

SLC National Super League 4 Day Tournament 2024

95
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලියේ ගාල්ල සහ මහනුවර කණ්ඩායම් සහභාගී වන අවසන් මහා තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හෙට (30) ආරම්භ වීමට නියමිතයි. 

කණ්ඩායම් 5ක් අතර පැවැති මෙම තරගයේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව ගාල්ල කණ්ඩායම තරග 8කට සහභාගී වෙමින් ප්‍රසාද ලකුණු 112.215ක් ලබා ගත්තා. ඔවුන් මෙතෙක් මෙවර තරගාවලිය නිමා කරන ලද්දේ අපරාජිතව සිටමිනුයි.

එහි දෙවැනි ස්ථානය ලබා ගත් මහනුවර ක්‍රීඩකයෝ තරග 8කට සහභාගී වෙමින් ජයග්‍රහණ 3ක් සමඟින් ප්‍රසාද ලකුණු 92.585ක් ලබා ගනිමින් අවසන් මහා තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පත් වූවා.

අවසන් මහා තරගයට එක් වෙන ගාල්ල කණ්ඩායම රමේෂ් මෙන්ඩිස් ගේ නායකත්වය යටතේ ද සහ මහනුවර කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල ගේ නායකත්වය යටතේ ද තරගයට එක් වීමට නියමිතයි.

ගාල්ල කණ්ඩායම

ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පැමිණි ගාලු කණ්ඩායමේ ප්‍රධානත ම පිතිකරුවන් බවට පත් ව ඇත්තේ ඔෂද ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර යි. ඔවුන් දෙදෙනා මේ වන විට අවසන් වු පළමු කොටසේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් දෙදෙනා බවට පත් ව සිටිනවා.

ඔෂඳ ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර තම ස්ථාන වෙන් කර ගන්නේ එක් ලකුණක වෙනසක් සහිතව වීම විශේෂත්වයක්. ඔෂද ප්‍රනාන්දු තරග 8ක දී ලකුණු 808ක් ද සහ පසිඳු සූරියබණ්ඩාර තරග 8ක දී ලකුණු 807ක් ලබා ගන්නා ලද අතර ඔවුන් දෙදෙනා ම මෙවර තරගාවලියේ දී ද්විත්ව ශතකලාභීන් වීම ද විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනාට අමතර ව විශාද් රන්දික ද ගාලු කණ්ඩායමේ සුවිශේෂී පිතිකරුවෙක් බවට පත් ව සිටිනවා. ඔහු තරග 6ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 502ක් ලබා සිටින අතර කණ්ඩායමේ කඩුලු රකින්නා බවට ද පත් ව සිටිනවා.

තරග 8ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 454ක් ලබා ඇති සංගීත් කුරේ ද සහ තරග 6ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 350ක් ලබා සිටින ලක්ෂාන් එදිරිසිංහ ද ගාලු කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පිතිකරුවන් බවට පත් ව සිටිනවා.

ගාලු කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ නිශාන් පීරිස්. ඔහු තරග 5ක දී කඩුලු 30ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කියන අතර 2 වැනි ස්ථානය කඩුලු 23ක් ලබා සිටින නිමේෂ් විමුක්ති සතු වෙනවා.

කෙසේ වෙතත් මෙම අවසන් මහා තරගයේ දී ඔවුන් දෙදෙනාගේ ම සේවය ගාලු කණ්ඩායමට ලැබෙන්නේ නැහැ. ඒ ඔවුන් මේ දිනවල සූරියවැව දී පැවැත්වෙන ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය හා එක් ව සිටින බැවිනුයි.

කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය හිමි වෙන්නේ දකුණතින් වේග පන්දු යැවූ උදිත් මධුශාන්. ඔහු එම ස්ථානය හිමි කර ගන්නේ කඩුලු 21ක් ලබා ගනිමිනුයි.

ඊට අමතර ව මිලාන් රත්නායක (14), රමේෂ් මෙන්ඩිස් (11) සහ ධනංජය ලක්ෂාන් (10) ද ගාලු කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.

ගාල්ල කණ්ඩායම් සංචිතය: රමේෂ් මෙන්ඩිස් (නායක), ඔෂද ප්‍රනාන්දු, ලක්ෂාන් එදිරිසිංහ, ධනංජය ලක්ෂාන්, විශාද් රන්දික (කඩුලු රකින්නා), සංගීත් කුරේ, ලහිරු සමරකෝන්, පසිඳු සූරියබණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, මිලාන් රත්නායක, සුමින්ද ලක්ෂාන්, ටිලංග උදේශන, දිනේෂ් චන්දිමාල්, ෂෙහාන් ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), මොහොමඩ් ෂමාස්, කවිශ්ක අංජුල, අසංක මනෝජ්, ෂෙහාන් ප්‍රනාන්දු, උදිත් මධුශාන්, ජනිශ්ක පෙරේරා, ඉම්තියාස් ස්ලාසා.

මහනුවර කණ්ඩායම

මහනුවර කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවා බවට පත් ව සිටි අහන් වික්‍රමසිංහ මෙම තරගයේ දී මහනුවර කණ්ඩායම හා එක් නොවීම ඔවුන්ට පාඩුවක්. ඒ ඔහු ද මේ දිනවල සූරියවැව දී පැවැත්වෙන ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය හා එක් ව සිටින බැවිනුයි.

ඔහු මෙවර තරගාවලියේ දී තරග 8කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 744ක් ලබා සිටියා. එමෙන් ම ඔහුට අමතර ව මහනුවර පිතිකරු ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින කමිල් මිෂාර (339), ලහිරු උදාර (261), සහන් ආරච්චිගේ (228), චාමික කරුණාරත්න (223) සහ පවන්ත වීරසිංහ (138) ද ඇෆ්ගනිස්තාන A කණ්ඩායමේ සංචාරය හේතුවෙන් මෙම අවසන් මහා තරගයේ දී මහනුවර කණ්ඩායම හා එක් වෙන්නේ නැහැ.

ඊට අමතර ව එම සංචාරය හා එක් ව සිටින තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ වනුජ සහන් (ලකුණු 279 සහ කඩුලු 34) ගේ සේවය ද සහ පන්දු යවන්නන් අතර දක්ෂතා දැක් වු චාමික ගුණසේකර (8) ගේ සේවය ද මහනුවර කණ්ඩායමට අහිමි වෙනවා.

එබැවින් මෙම තරගයේ දී ඔවුන්ගේ විශ්වාසය රැදී ඇත්තේ කසුන් විදුර (285) සහ සිතාර ගිම්හාන් (221) වැන්නන් වෙතයි. ඊට අමතර ව නායක නිරෝෂන් දික්වැල්ල (158) වෙත ද මෙම තරගයේ වැඩි වැඩ කොටසක් කිරීමට සිදු වෙනු නියතයි.

පන්දු යවන්නන් අතුරින් අශේන් ඩැනියෙල් (23), නිම්සර අතරගල්ල (18) සහ සිතුම් දිසානයක (14) මහනුවර කණ්ඩායමේ පන්දු යවන්නන් අතර දක්ෂතා දැක් වූවන් ලෙසින් දැක් වෙනවා.

මහනුවර කණ්ඩායම් සංචිතය: නිරෝෂන් දික්වැල්ල (නායක/ කඩුලු රකින්නා), කසුන් විදුර, කවින් බණ්ඩාර, සිතාර ගිම්හාන් (කඩුලු රකින්නා), ලසිත් ඇඹුල්දෙණිය, අශේන් ඩැනියෙල්, නිම්සර අතරගල්ල, පැතුම් නිස්සංක, ලහිරු කුමාර, සිතුම් දිසානායක, සහන් කෝසල, නිපුන් රන්සික, ලසිත් ලක්ෂාන්, රවීන් යසස්, රොෂාන් ජයතිස්ස.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<