පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයක්

586

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියර අද (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී චීන තායිපේ කණ්ඩායම හමුවේ ලකුණු 33-00ක පහසු ජයක් වාර්තා කර ගනිමින් පළමු වටයේ තරග අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

වෙනස්කම් 4ක් සහිතව ශ්‍රී ලංකා රග්බි සංචිතය එළියට

ලබන 14 සහ 15 දෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා තරග…

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ පළමු තරග දෙකෙන් එක් තරගයක් පරාජයට පත්වෙද්දී අනෙක් තරගය ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර ඒ අනුව කාණ්ඩයේ දෙවන ස්ථානය සහතික කර ගැනීමට නම් චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති තරගය සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය විය. ඒ අනුව එහි දී උත්සාහක දිනුම් 5ක් වාර්තා කර ගනිමින් තරගය පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

එහි දී තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට තරින්ද රත්වත්තේ සමත් විය. අනතුරුව චීන තායිපේ කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට උත්සාහයන් කිහිපයක්ම දියත් කළ ද, ඒවා සාර්ථක කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවස්ථාව ලබා දුන්නේ නැත. මිනිත්තු කිහිපයකට පසුව ධනුෂ්ක රංජන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනිද්දී තවත් සුළු මොහොතකින් ලකුණු පරතරය වැඩි කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූයේ තරින්ද රත්වත්තේ තරගයේ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගැනීමත් සමඟයි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වයම සාර්ථක කර ගන්නට ඔහු සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 21 – 00 චීන තායිපේ

තරගයේ දෙවැනි අර්ධය ආරම්භයේ දී ද චීන තායිපේ ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ආසන්නයට පැමිණියත්, එය සාර්ථක කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත. මිනිත්තු කිහිපයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිව්වන උත්සාහක දිනුම ද වාර්තා කර ගන්නට ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමත් වූ අතර කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට රත්වත්තේ අසමත් විය.

අනතුරුව තරගයේ අවසන් අවස්ථාවන් කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 5 වන උත්සාහක දිනුම වාර්තා කර ගන්නට රිචඩ් ධර්මපාල සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව කෙවින් ඩික්සන් විසින් සාර්ථක කර ගන්නා ලදි.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 33 – 00 චීන තායිපේ

සිංගප්පූරු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට

2017 වසර සඳහා වන ‘Dialog’ රග්බි ලීග් තරගාවලියට පෙර ගියවර එහි ශූරතාවය දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය සමඟ තරග කිරීමට සිංගප්පූරු ජාතික රග්බි කණ්ඩායම…

ශ්‍රී ලංකාව – චීනය

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ දෙවන තරගය චීනය සමඟ පැවති අතර එහි දී ධනුෂ්ක රංජන් පළමු අර්ධයේ දී වාර්තා කර ගත් විශිෂ්ට උත්සාහක දිනුම් දෙකේ ඇවෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 28-07ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සමත් විය.

පළමු තරගය දකුණු කොරියාව හමුවේ පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන අභියෝගය වූයේ මෙම වසරේ සත් සාමාජික තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවමින් දස්කම් දැක්වීමට සමත් වූ චීන කණ්ඩායමයි. තරගය අතරතුර අධික වර්ෂාවෙන් මෙන්ම දැඩි සුළං තත්වයෙන් ද තරගයට බාධා එල්ල වූ අතර ඒ අනුව තරගය පැවැත්වුණේ රග්බි ක්‍රීඩාව සඳහා උචිතම කාලගුණ තත්වයක් යටතේ නොවීය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූයේ ධනුෂ්ක රංජන් මීටර 60ක් දිව යමින් වාර්තා කර ගත් විශිෂ්ට උත්සාහක දිනුමත් සමඟයි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට රත්වත්තේ සමත් විය. අනතුරුව කණ්ඩායම් දෙකම ක්‍රීඩාංගණයේ පැවති තත්වයට අනුවර්තනය වීමට උත්සාහ දැරූව ද එය එතරම් සාර්ථක වූයේ නැත. කෙසේ නමුත් තරගයේ අවසන් මිනිත්තුවේ දී ධනුෂ්ක රංජන් ඔහු වාර්තා කර ගත් පළමු උත්සාහක දිනුම මෙන්ම තවත් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් වූ අතර එහි දී ද ලැබුණු ප්‍රවර්තන අවස්ථාව රත්වත්තේ විසින් සාර්ථක කර ගනු ලැබීය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 00 චීනය  

චීන කණ්ඩායම පළමු අර්ධයට වඩා හොඳින් දෙවැනි අර්ධයේ දී තරගයට අවතීර්ණ වූ අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කරමින් ක්‍රීඩා කරන්නට විය. කෙසේ නමුත් තරගයේ 9 වන මිනිත්තුවේ දී චීන කණ්ඩායමේ චොං මා අතින් සිදු වූ දෝෂයක දී පන්දුව ලබාගත් රත්වත්තේ එය රිචඩ් ධර්මපාල හට බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ද ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට රත්වත්තේ සමත් විය.

අනතුරුව චීන කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට චැන්ග්ෂුන් චෑන් සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔවුන් සාර්ථක කර ගනු ලැබීය. පසුව තරගයේ අවසන් මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායම වෙනුවෙන් පළමු තරගයට සහභාගී වූ රීසා රෆයිඩීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔහු විසින්ම සාර්ථක කර ගනු ලැබීය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 28 – 07 චීනය

ජාතික සත් සාමාජික ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු

ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) මේ වන විට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට ජාතික කොන්ත්‍රාත්තු ලබා දීමේ ක්‍රියා පටිපාටියේ අවසන් අදියරේ පසුවෙයි.

ශ්‍රී ලංකාව – දකුණු කොරියාව

ශ්‍රී ලංකා කණ්ඩායම 3 වන අදියරේ සහභාගී වූ පළමු තරගය දකුණු කොරියාව සමඟ පැවති අතර එහි දී තියුණු තරගයකින් අනතුරුව තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට දකුණු කොරියානු ක්‍රීඩකයින් සමත් විය.

තරගය ආරම්භ වන්නට පෙර ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පවත්වන්නට සිදු වූයේ සත් සාමාජික රග්බි තරග සඳහා එතරම් සුදුසුම තත්වයක් යටතේ නොවීය. කෙසේ නමුත් එම තත්වයට දකුණු කොරියානු ක්‍රීඩකයින් ඉතා ඉක්මණින් හැඩගැසුණු ස්වභාවයක් දිස්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සංවිධාන විරහිත ක්‍රීඩා විලාශයෙන් ප්‍රයෝජන ගත් දකුණු කොරියානු කණ්ඩායමේ හියුං සූ කිම් තරගයේ 3 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය.

අනතුරුව ඊට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට ජේසන් දිසානායක සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද රත්වත්තේ විසින් සාර්ථක කර ගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි. ඊට වහාම පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ආරක්‍ෂක ක්‍රීඩා විලාශයෙන් නැවත වරක් ප්‍රයෝජන ලබාගත් දකුණු කොරියානු කණ්ඩායමේ ජේ බොක් ලී ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන්නට සුළු මොහොතක් ඉතිරිව තිබිය දී දකුණු කොරියානු ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගනිමිනි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 21 දකුණු කොරියාව   

අනතුරුව තරගයේ දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් පමණක් ගතවෙද්දී උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනු ලැබුවේ ලකුණු පරතරය අවම කර ගනිමිනි. නැවතත් වහාම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට ධනුෂ්ක රංජන් සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනු ලැබුවේ නැවතත් ලකුණු තත්වය සම කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන සේයාවක් දිස්වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳදමමින් දකුණු කොරියානු කණ්ඩායමේ ජියොන් මින් කිම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඇතිවූ හිඩැසක් හරහා දිව යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබීය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔහු විසින්ම සාර්ථක කර ගනු ලැබුවේ තරගයේ ජයග්‍රහණය ද තහවුරු කර ගනිමිනි.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 21 – 28 දකුණු කොරියාව   

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට