කටාන එක්සත් සහ දෙබෑගම රන්තරු රන් කුසලානය අභියස

1086
කටාන එක්සත් ක්‍රීඩා සමාජයේ සමූහ ඡායාරූපයක්දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයේ සමූහ ඡායාරූපයක්.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලිය මේ වනවිට සියළු වොලිබෝල් ප්‍රේක්ෂකයන් උද්යෝගිමත් කරමින් සාර්ථක අවසානයක් කෙරේ ලඟාවෙමින් පවතියි. එහි 22න් පහල සහ විවෘත යන කාණ්ඩ දෙකේම පිරිමි සහ කාන්තා අවසන් මහා තරඟ එළඹෙන 7 වන දා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

පසුගිය ලිපි: කටාන එක්සත්, දෙබෑගම රන්තරු, කැෂුවල් ලයින් සහ කොස්වාඩිය විජය අවසන් මහා සටනට

පිරිමි විවෘත අංශය

පිරිමි විවෘත අංශයෙන් අවසන් මහා තරඟයට අසුන් වෙන්කරවා ගත්තේ කටාන ඒකාබද්ධ කණ්ඩායමත්, දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයත් ය. උක්ත කණ්ඩායම් ද්විත්වය විසින් අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් තරුණ සේවා සභා කණ්ඩායම තරගවට 3:1ක් (23-25 , 24-26, 25-20, 17-20)  ලෙසත් නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය තරගවට 3:2ක්  (33-31 , 23-25 , 23-25 , 31-29 , 11-15) ලෙසත් පරාජය කරන්නට ඔවුන් සමත් විය.

කටාන එක්සත් කණ්ඩායම

මේ වන විට සිව්වරක් ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවසන් තරඟය නියෝජනය කර ඇති ඔවුන් තෙවරක් කුසලානය දිනාගන්නටද සමත්ව ඇත. අඛණ්ඩව 2006 සිට 2009 දක්වා අවසන් මහා තරගය දක්වා පැමිනි මොවුන් 2008දී පමණක් ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය හමුවේ පරාජය වූ අතර නැවතත් 2009දී ශූරතාවය දිනා ගත්තේ සියනෑ තරු ක්‍රීඩා සමාජයම පරාජය කරමිනි.

වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ද සමන්විත ඔවුන් කනිෂ්ඨ ජාතික ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන්ද සමන්විතය. දැනට දේශීය වොලිබෝල් පිටියේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙපලක් වන ජගත් සංජය සහ මිලාන් ජයවර්ධන යන දෙදෙනාම කටාන ඒකාබද්ධ කණ්ඩායමේ සාමාජිකයන්ය.

ප්‍රබල ක්‍රීඩකයන්

ජනිත සුරත් වත්මන් ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායකයා ය. මීට සති දෙකකට පෙර අවසන් වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය දිනාගත් වරාය අධිකාරිය කණ්ඩායමටත් නායකත්වය ලබා දුන්නේ ඔහුයි.

දීප්ති රොමේෂ්, දැනට මෙරට සිටින වේගවත්ම උස පන්දු ප්‍රහාරකයා වන ඔහු මෙම කණ්ඩායමට සම්බන්ධ වූයේ මේ වසරේදීයි. ඔහුත් නිමාවූ මන්චි ජාතික තරගාවලියේදී විදුලිබල මණ්ඩල කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.

2006/ 2007/ 2009 වර්ෂ වලදී පිට පිටම හොඳම පන්දු සකසන්නා වූ ජගත් සංජයත් ප්‍රතිවාදීන්ට අභියෝග කරන්නට කිසිසේත්ම පසුබට නොවනු ඇත.

මෙලාන් ජයවර්ධන කණ්ඩායමේ සිටිනා අත්දැකීම් බහුල වයසින් මුහුකුරු ගිය ක්‍රීඩකයෙකු වේ. තවද ජාතික කණ්ඩායමේ අත්දැකීම් අතින් සන්නද්ධ වූ තවත් ක්‍රීඩකයෙකු ලෙස මොරිස් චාමින්ද හැඳින්විය හැකිය.

සංචිතය

නිලංක රුක්ෂාන් (නායක) , ජගත් සංජය, මෙලාන් ජයවර්ධන, ජනිත සුරත්, දීප්ති රොමේෂ්, සජිත් ලහිරු, ජයමිණි, මොරිස් චමින්ද, නුවන් චාමික, කසුන් ලහිරු, ගයාන් සිල්වා, ලහිරු සිල්වා.

  • පුහුණුකරු – නලීන් සම්පත්
  • සහය පුහුණුකරු – ජගත් සංජය
  • ශාරීරික අභ්‍යාසක – ගීත් හර්ෂණ

“පුහුණුවෙන්න අපට ලැබුණෙ ටික කාලයයි. ඒත් අත්දැකීම් බහුල අය කිහිපදෙනෙක්ම ඉන්න නිසා අපට පහසුයි. ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. දැනට මීගමුව ප්‍රදේශයේ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. අපි සුදානම්.” යැයි කණ්ඩායම් නායක නිලංක රුක්ෂාන් ThePapare.com හා පැවසුවේය.

දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය

යෞවන සමාජ ජාතික මහා ශූරතාවය තෙවරක් දිනා ඇති රන්තරු ක්‍රීඩා සමාජය, ඩයලොග් ජනාධිපති රන් කුසලානයට මෙවර සහභාගීත්වයත් සමඟ ඔවුන් තෙවරක් අවසන් මහා සටනේ තරග වැදී අතර එහිදි දෙවරක්ම අනුශූරතාවයෙන් සෑහෙන්නට ඔවුන්ට සිදුවිය. ඔවුන් ගිය වසරේදී පරාජය වූයේ බොලරැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජයටයි.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟබිමට පිවිසි මොවුන්ගේ සංචිතයෙන් ක්‍රීඩකයින් 10 දෙනෙකුම වොලිබෝල් ක්‍රීඩාවට ප්‍රසිද්ධ පාසලක් වන රුවන්වැල්ල රාජසිංහ විදුහලේ ආදි සිසුන් වීම තවත් සුවිශේෂී කරුණකි.

ගයාන් මධුශංක වැනි ජාතික ක්‍රීඩකයන්ගෙන්ද, සඳුන් විමලසේන වැනි කනිෂ්ඨ ජාතික ක්‍රීඩකයන්ගෙන්ද කණ්ඩායම සමන්විත වේ. කෙසේවෙතත් කණ්ඩායම් වටයේ තරඟයකදී කටාන කණ්ඩායම හමුවේ වට 3/1ක් ලෙස පරාජය ලබා තිබුණද තරුණ ජවය සමඟින් තරඟාවලියට පිවිසෙන ඔවුන් ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් විය හැකි කණ්ඩායමකි.

ප්‍රබල ක්‍රීඩකයන්

කණ්ඩායම් නායක කෝසල සෙනරත් ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කල අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු සහ යුධ හමුදා කණ්ඩායමද නියෝජනය කරනා ක්‍රීඩකයෙකුද වේ.

ගයාන් මදුශංක, ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන සහ නිමාවූ මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේදී විදුලි බල මණ්ඩල කණ්ඩායමේ නායකත්වය ද දැරූ ප්‍රබල ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන සඳුන් විමලසේන ශ්‍රී ලංකා කොළඹ විශ්ව විද්‍යාලීය වොලිබෝල් සංචිතය නියෝජනය කරනා ක්‍රීඩකයෙකු සේම විදුලි බල මණ්ඩල කණ්ඩායමේද දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වේ.

ගයාන් ප්‍රේමරත්නද ජාතික තලයේ ක්‍රීඩකයෙකු සේම විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය කල කැපිපෙනෙන ක්‍රීඩකයෙකුද වේ.

ලසන්ත පතිරණද මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනාගත් විදුලි බල  මණ්ඩලය නියෝජනය කළ කෙටි පන්දු ප්‍රහාරකයෙකි. තවද කණිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරනා ක්‍රීඩකයෙකුද වේ.

සමස්තයක් ලෙස කණ්ඩායමේ විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය නියෝජනය කරනා ක්‍රීඩකයින් පස් දෙනෙකු සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනා ක්‍රීඩකයින් 6ක් දෙනෙක්ද දෙබෑම සංචිතයේ 12 දෙනා අතර වේ.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ චමින්ද කුමාර වන අතර අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු ලෙස ඔහු සැලකිය හැකි අතර මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේදී විදුලි බල මණ්ඩල කණ්ඩායමට පුහුණු උපදෙස් ලබා දුන් පුහුණුකරුවන්නේද මොහුයි.

සංචිතය

කෝසල සේනාරත්න (නායක), ගයාන් ප්‍රේමරත්න, සඳුන් විමලසේන, ලසන්ත පතිරණ, රූකාන්ත පතිරණ, මහේෂ් චන්ද්‍රකුමාර, සුජීව ජයතුංග, පුබුදු මධුෂංක, ප්‍රියන්ත සංජීව, මනෝජ් සුරංග, කපිල සම්පත්, අරුන සංජීව

  • පුහුණුකරු – චමින්ද කුමාර
  • සහය පුහුණුකරු – තුෂාර නිලන්ත

“කටාන ඒකාබද්ධ කණ්ඩායම කණ්ඩායම වට 3/0ක් හැටියට පරාජය කරන්නයි බලාපොරොත්තුව. ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට අවුරුදු 100ක් පිරෙන වසරේදී ඒ ජයග්‍රහණය ලබාගැනීම විශේෂ වේවි.” යැයි කණ්ඩායමේ සහය පුහුණුකරු තුෂාර නිලන්ත ThePapare.com හා එසේ පැවසීය.

“අපි දිගටම පුහුණුවීම් කරලා හොඳ සූදානමකින් ඉන්නේ. හොඳ තරඟයක් දීලා ජයගන්න බලාපොරොත්තු වෙනවා.” කණ්ඩායම් නායක කෝසල සේනාරත්නගේ අදහස වූයේ එයයි.

කණ්ඩායම් දෙකම මනාව සුදානම් ව සිටින බැවින් එළඹෙන 7වනදා මහරගමදී සාර්ථක තරඟයක් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවනු ඇත.