පහසුකම් දෙනවා නම් නිමාලි නියම තැනකට ගන්න පුළුවන් – පුහුණුකරු සුජිත්

150

සූරියවැවෙන් මතුවූ මැදි දුර ධාවන ශූරී නිමාලි ලියනසූරිය චීනයේ වුහාන්හි පැවැති 21 වැනි ආසියානු ශුරතා මලල ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 800 ඉසව්ව වි. 2 තත්පර 03.94කදී අවසන් කොට ලෝකඩ පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකාවේ පදක්කම් නියඟයට වැටුණු සිරිපොද වැස්සක් වෙමිනි.

ලද ජයග්‍රහණයෙන් පසු වෙහෙස අමතක කරමින් අදහස් දැක්වූ නිමාලි පවසා සිටියේ චීන ක්‍රීඩිකා ෂාවෝ ජින්ග් හා ඉන්දීය ක්‍රීඩිකා ටින්ටු ලුක්කා මෙම තරගයට සහභාගි වන නිසා ආරම්භයේ සිටම තමන් තරග වැදුණේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බවය.

ඒ දෙන්නට මම අභියෝග කරන්න ගියේ නැති වුණාට අවසන් මීටර් 100ට එනකොට මගේ ශක්තිය ඉතිරි වෙලා තිබුණු නිසා වේගය වැඩි කරන්න තීරණය කළා. නමුත් ඒ තීරණය ගන්නකොට මම ප්‍රමාද වැඩියි. එලෙස පැවැසූ නිමාලි වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ මෙම තරගාවලියට පෙර හොඳ තරගකාරී තරග කිහිපයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා නම් මීට වඩා යමක් කළ හැකිව තිබුණා යනුවෙනි.

කොළඹ ඇවිත් සියලු පහසුකම් සහිත ක්‍රීඩාංගණයක පුහුණුව ලබන්න නිමාලිට හැකියාවක් නැහැ. එයා තමන්ගේ වැඩ වගේම පවුලේ වැඩත් කරගත්තේ ඇයගේ ගුවන් හමුදා වැටුපෙන්. මේ වන විටත් ඇයගේ ධාවනයට භාවිත කරන පාවහන් ජෝඩුව අබලන් වෙලා. මීළඟට තියෙන ආසියානු ගෝන්පී්‍ර තරගවලටත් ඒක පාවිච්චි කරන්න බැරි වේවි. ඇය ගැන බලවතුන්ගේ අවධානය දැනට වඩා යොමු කරනවා නම් මම ස්ථිර වශයෙන්ම නිමාලිගේ තරග නිමි කාලය විනාඩි දෙකට අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. එසේ ප්‍රකාශ කරන්නේ පුහුණුකරු සුජිත් අබේසේකරය.
මේ ක්‍රීඩිකාවන්ට තියෙන්නේ විදේශීය සංචාරයන්ට සහභාගි වීමේ ආශාවක් නොවන බව පවසන සුජිත් මහතා නිමාලිට යුරෝපීය ක්‍රීඩිකාවන් සහභාගි වන තරගවලට ඉදිරිපත්වීමට මඟ සලසා දිය යුතු බව අවසන් වශයෙන් පැවැසීය.

පාසල් අවධියේ සිට ධාවන ඉසව් රැසකට සහභාගි වී අවසන් වශයෙන් මීටර් 800 තෝරාගත් 25 හැවිරිදි නිමාලි ලියනාරච්චි මීළඟට ආසියානු ගෝන්පී්‍ර තරග අදියර තුනටම සහභාගි වීමට නියමිත අතර එහිදී ඇගේ ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළීිමයි.
මේ අතර මෙම තරගාවලියට ශ්‍රී ලංකා පිලේ කළමනාකාරිනිය ලෙස සහභාගි වූ භද්‍රා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කර සිටියේ නිමාලි ලියනාආරච්චි දිනා දුන් ලෝකඩ පදක්කම හැරුණු විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම තමන්ගේ උපරිම දක්ෂතා දැක්වීමට හා ජාතික වාර්තා පිහිටුවීමට සමත් වීම සතුටට කරුණක් බවය.
“අවසන් දවසේ තද වැස්සක් පැවතුණා. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒකත් බාධාවක් වුණා. එක පදක්කමක් වෙනුවෙන් විශාල මුදලක් වැය වුණා කියලා හිතන්න නරකයි. මොකද මේ තරගාවලියේදී අපේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුගේම ඉහළම දස්කම් මතු වුණා. ඒ නිසා ඉදිරි කාලයේදී ඔවුන් හොඳින් රැකබලා ගත්තොත් අපට පදක්කම් දිනාගන්න එක අපහසු නැහැ” ගුණවර්ධන මහත්මිය එලෙසද පැවැසුවාය.

කෙසේ වුවත් තේරීම් කමිටුව විවේචනය නොකළ ඇය සමහර තෝරා ගැනීම් පිළිබඳවද නොසතුට පළකර තිබිණි.
දැන් බලන්න 4×100 පිරිමි කණ්ඩායම තෝරලා තිබුණේ නැහැ. ඒ වගේම කාන්තා මීටර් 100 තරගයට මුලදී රුමේෂිකාව තෝරලා තිබුණෙත් නැහැ. ඒ අය ඇතුළු කළේ විවිධ බලපෑම් නිසා අවසන් මොහොතේදියි. ඒත් 4×100 කණ්ඩායම ලංකා වාර්තාව අලුත් කළා. රුමේෂිකා ලංකාවේ තුන්වැනි හොඳම මීටර් 100 තරග නිමි කාලය වාර්තා කළා. ඒ වගේම මෙම තරගාවලියේ සංවිධාන කටයුතුවලත් අඩුපාඩු තිබුණා යනුවෙන් ගුණවර්ධන මහත්මිය අවසන් වශයෙන් සඳහන් කළාය.
මෙම තරගාවලියේ රන් පදක්කම් 15ක් දිනා චීනය ජයග්‍රහණය කළ අතර පිළිවෙළින් රන් පදක්කම් 7ක් හා 4ක් බැගින් දිනූ කටාරය හා ඉන්දියාව දෙවැනි හා තෙවැනි ස්ථාන ජයගෙන තිබිණි.