ජපානයෙන් දෙවැනි දිනයේත් ඉහළ දස්කම්; බ්‍රසීලයට පාපන්දු ජයක්

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

282

2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් ඉසව්වන්හී කාන්තා සහ පිරිමි මූලික වටයේ තවත් තරග කිහිපයක් අද (22) දිනයේ පැවැත්වුනා.

ඊයේ (21) ආරම්භ වූ කාන්තා Softball තරගවල අද පැවති තරගයකින් මෙක්සිකෝව පරදවා 3-2ක් ලෙස මෙවර තරගාවලියේ දෙවැනි ජයත් ලබා ගැනීමට සත්කාරක ජපන් ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

අද පැවති අනෙකුත් කාන්තා Softball තරගවලින් කැනඩාව 1-0ක් ලෙස පරදා දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට ඇමරිකාව සමත් වූ අතර ඉතාලිය 1-0ක් ලෙස පරදවමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පළමු ජයග්‍රහණය වාර්තා කළා.

ඔලිම්පික් උළෙලේ වැඩි අවධානයක් දිනා ගත් කණ්ඩායම් ඉසව්වක් වන පිරිමි පාපන්දු මූලික වටයේ තරග ද අද ආරම්භ වුනා.

එහි A කාණ්ඩයේ තරගවලින් ප්‍රංශය ගෝල 4-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වූ අතර දකුණු අප්‍රිකාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සත්කාරක ජපන් ක්‍රීඩකයන් සමත් වුනා.

පිරිමි පාපන්දු තරගවල B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති රුමේනියාව සහ Honduras අතර තරගයෙන් Honduras ගෝල 1-0ක් ලෙස පරාජය කළ රුමේනියානු ක්‍රීඩකයන් වසර 57කට පසු ඔලිම්පික් උළෙලක පාපන්දු ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුනා.

B කාණ්ඩයේ පැවති අනෙක් තරගයෙන් දකුණු කොරියාව ගෝල 1-0ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනේ නවසීලන්තයයි.

පාපන්දු පිටියේ C කාණ්ඩයේ පැවති ස්පාඤ්ඤය සහ ඊජිප්තුව අතර තරගය සමව අවසන් වුනා. එම කාණ්ඩයේ පැවති අනෙක් තරගයෙන් ආජන්ටිනාව ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වීම කැපී පෙනුණා.

D කාණ්ඩයේ තරගයක් ලෙස සවුදි අරාබිය සමඟ පැවති තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජය හිමි වුනේ Côte d’Ivoire කණ්ඩායමටයි.

දිනයේ උණුසුම්ම තරගය වූ 2016 ඔලිම්පික් උළෙලේ ශූරයන් සහ අනුශූරයන් අතර පැවති තරගයෙන් ජර්මනිය පරදවා ගෝල 4-2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්‍රසීල ක්‍රීඩකයන් සමත් වුනා.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ නිල සමාරම්භක උළෙල හෙට (23) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් වරුවේ දී පැවැත්වීමට නියමිතයි. එහි තොරතුරු ඇතුළු මෙවර ඔලිම්පික් උළෙලේ සියලූම තොරුතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<