ඔලිම්පික් ගම්මානයේ කොරෝනා ආසාදිතයන් තවත් ගණන ඉහළට

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

240

ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ කොරෝනා ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළ දමමින් ඔලිම්පික් ගම්මානයේ සිටි තවත් ක්‍රීඩකයෙකු හට කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා.

චෙක් ජනරජය නියෝජනය කරමින් බීච් වොලිබෝල් තරගවලට සහභාගී වීමට පැමිණි Ondřej Perušič හට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර චෙක් ජනරජ ඔලිම්පික් කමිටුව විසින් එම පුවත තහවුරු කර ඇත.

එම නිසාවෙන් ඔහුට 26 (සඳුදා) ආරම්භ වීමට නියමිතව ඇති පළමු තරගය මග හැරී යන අතර මෙම සිදුවීම නිසා සිය කණ්ඩායමේ තරගය මදක් පසුපසට දැමීමට හැකියාවක් ඇති දැයි ඔලිම්පික් සංවිධායකයින්ගෙන් විමසීමට කටයුතු කරන බව ද චෙක් ජනරජ වොලිබෝල් කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කර තිබුණා.

Ondřej Perušič ඔලිම්පික් ගම්මානය තුළින් වාර්තා වූ තෙවැනි කොරෝනා වයිරස ආසාදිතයා වන අතර මීට පෙර දකුණු අප්‍රිකානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරුව තිබුණා.

මීට අමතරව ජපානයේ ඔලිම්පික් පෙර පුහුණු කඳවුරක් සඳහා සහභාගී වී සිටි 18 හැවිරිදි ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් හට ද කොරෝනා වයිරසය ආසාදනය වූ බව ඇමරිකානු ජිම්නාස්ටික් පුහුණුකරු ප්‍රකාශ කර සිටියා.

ඔලිම්පික් උළෙල ආරම්භ වීමට ඉතාමත් කෙටි කාලයක් තිබිය දී මෙලෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා සංවිධායකයන්ට අමතර ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇති අතර ජපාන ජනතාවගේ විරෝධය ද මෙම නිසාවෙන් ඉහළ ගොස් තිබෙනවා.

BBC ඇසුරෙනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<