ජැමෙයිකානු කෙටිදුර ශූරිය ඔලිම්පික් ඉතිහාස පොතට

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

585

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 සහ 200 ඉසව් හි රන් පදක්කම ජයග්‍රහණය කරමින් 2016 Rio ඔලිම්පික් උළෙලේ දී ලබා ගත් ආධිපත්‍ය එලෙසම තවදුරටත් පවත්වා ගන්නට ජැමෙයිකානු ක්‍රීඩිකා Elaine Thompson-Herah සමත් වුනා. මේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (03) සිදු වූ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්. 

මලල ක්‍රීඩා (Athletics) 

කාන්තා මීටර් 200 ධාවන ඉසව්වේ රන් පදක්කම තත්පර 21.53ක කාලයකින් ඉසව්ව නිමා කළ ජැමෙයිකාවේ Elaine Thompson-Herah විසින් දිනා ගත් අතර මෙය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඇය විසින් ජයග්‍රහණය කළ දෙවැනි රන් පදක්කමයි.

මින් පෙර ඇය විසින් මීටර් 100 ඉසව්ව ද ජයග්‍රහණය කර තිබුණු අතර අවසන් වරට පැවති Rio ඔලිම්පික් උළෙලේ දී ඇය විසින් මෙම ඉසව්ව ද්විත්වයම ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ අනුව අඛණ්ඩව ඔලිම්පික් උළෙල දෙකක දී මීටර් 100 සහ 200 ඉසව් හි රන් පදක්කම ජයග්‍රහණය කළ ප්‍රථම සහ එකම ක්‍රීඩිකාව ලෙස ද ඇය ඉතිහාසයට එකතු වුනා. 

(Elaine Thompson-Herah කාන්තා මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව) ඡායාරූපය – olympics.com 

18 හැවිරිදි නැමීබියාවේ Christine Mboma විසින් තත්පර 21.81කින් ඉසව්ව නිමා කරමින් රිදී පදක්කම දිනා ගත් අතර එය වයස අවුරුදු 20න් පහළ ලෝක වාර්තාවක් ලෙස සටහන් වුනා. තත්පර 21.87කින් ඉසව්ව නිමා කළ ඇමරිකා එක්සත් ජනපදයේ Gabrielle Thomas විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

Elaine Thompson විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 ධාවන ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි රිදී පදක්කම හිමි කරගත් නෙදර්ලන්තයේ Dafne Schippers හට මෙවර අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදුවීම විශේෂ සිදුවීමක්. 

පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව තත්පර 45.94කින් නිමා කළ නොර්වේ රාජ්‍යයේ Karsten Warholm තමා විසින්ම මෙම වසරේ දී පිහිටවූ ලෝක වාර්තාව (46.70) මෙන්ම 1992 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ Kevin Young විසින් පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාව (46.78) ද බිඳ හෙළමින් රන් පදක්කම දිනා ගත්තා. 

තත්පර 46.17ක කාලයක් වාර්තා කළ ඇමරිකා එක්සත් ජනපදයේ Rai Benjamin හට රිදී පදක්කම හිමි වූ අතර බ්‍රසීලයේ Alison dos Santos තත්පර 46.72කින් ඉසව්ව නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම හිමි තුර්කියේ Yasmani Copello හට මෙවර හිමි වූයේ හයවැනි ස්ථානය. 

අඛණ්ඩව තෙවැනි වරටත් කාන්තා මිටිය විසි කිරීම ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට පෝලන්තයේ Anita Włodarczyk සමත් වුනේ මීටර් 78.48ක දක්ෂතාවයක් දක්වමින්. වර්තමානයේ මෙම ඉසව්වේ ලෝක වාර්තාව (82.98) මෙන්ම ඔලිම්පික් වාර්තාව (82.29) ද Anita සතුවීම විශේෂත්වයක්. 

මෙම ඉසව්වේ රිදී පදක්කම මීටර් 77.03ක දක්ෂතාවයක් දැක්වූ චීනයේ Wang Zheng විසින් හිමි කර ගත් අතර ලෝකඩ පදක්කම දිනා ගත් පෝලන්තයේ Malwina Kopron දැක්වූ දක්ෂතාවය මීටර් 75.49ක් ලෙස සටහන් වුනා. 

පාපන්දු (Football) 

අද දිනයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී බ්‍රසීලය සමඟ මෙක්සිකෝව තරග වැදුණු අතර එහි දී නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල රැස් කරගැනීමට අපොහොසත් වීම නිසාවෙන් තරගයේ ජයග්‍රහණය දඬුවම් පහර අවස්ථාවෙන් ලබා දීමට තීරණය කෙරුණා. එහි දී දඬුවම් පහර 4-1ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සමත් වුනා. 

දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස සත්කාරක ජපානය සහ ස්පාඤ්ඤය තරග වැදුණු අතර එහි දී ගෝල 1-0ක තියුණු ජයක් හිමි කර ගැනීමට ස්පාඤ්ඤය සමත් වුනා. 

ඒ අනුව එළඹෙන 06 වැනිදා ජපානය සමඟ මෙක්සිකෝව ලෝකඩ පදක්කම සඳහාත්, 07 වැනිදා බ්‍රසීලය සමඟ ස්පාඤ්ඤය රන් පදක්කම සඳහාත් තරග වැදීමට නියමිතය.  

හොකී (Hockey) 

ඉන්දියාව සහ බෙල්ජියම අතර පැවති පළමු අවසන් පූර්ව තරගයේ ගෝල 2-5ක් ලෙස ජයග්‍රහණය කිරීමට බෙල්ජියම සමත් වුනේ ඉන්දියාවේ රන් පදක්කම් බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින්. 

දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය අතර පැවති තරගයෙන් ගෝල 3-1ක ජයක් හිමි කරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. 

එළඹෙන 05 වැනිදා රන් පදක්කම සඳහා ඕස්ට්‍රේලියාව සමඟ බෙල්ජියම තරග වැදීමට නියමිත අතර එදිනම ලෝකඩ පදක්කම සඳහා ඉන්දියාව සහ ජර්මනිය තරග වදිනු ඇත. 

බයිසිකල් ධාවනය (Cycling) 

(අවසන් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජර්මානු කණ්ඩායම සතුට සැමරූ අයුරු) ඡායාරූපය – olympics.com 

කාන්තා කණ්ඩායම් pursuit ඉසව්ව නව ලෝක වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට මිනිත්තු 4:04.249කින් අවසන් තරගය නිමා කළ ජර්මානු කාන්තා කණ්ඩායම (Franziska Brauße, Lisa Brennauer, Lisa Klein සහ Mieke Kröger) සමත් වුනා. අවසන් තරගයේ දී පරාජයට පත්වූ මහා බ්‍රිතාන්‍යය කණ්ඩායම (Katie Archibald, Laura Kenny, Neah Evans සහ Josie Knight) වාර්තා කළ කාලය මිනිත්තු 4:10.607ක්

ජර්මානු කාන්තා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයේ (4:07.307) සිටම ලෝක වාර්තාව බිඳ හෙළීම ආරම්භ කළ අතර ඉන්පසුව පළමු වටයේ (4:06.159) දීත් ඔවුන් විසින්ම එම වාර්තාව බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්. 

කැනඩා කණ්ඩායම (Allison Beveridge, Ariane Bonhomme, Annie Foreman-Mackey සහ Georgia Simmerling) පරාජයට පත් කරමින් ලෝකඩ පදක්කම සඳහා පැවති තරගය ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම (Megan Jastrab, Jennifer Valente, Chloé Dygert සහ Emma White) සමත් වුනා. 

පිරිමි කණ්ඩායම් sprint ඉසව්වේ අවසන් තරගයේ දී මහා බ්‍රිතාන්‍යය කණ්ඩායම (Jack Carlin, Jason Kenny සහ Ryan Owens) පරාජයට පත් කරමින් නව ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම (Jeffrey Hoogland, Harrie Lavreysen සහ Roy van den Berg) සමත් වුනා. 

අවසන් තරගයේ දී නව ඔලිම්පික් වාර්තාව ලෙස නෙදර්ලන්ත කණ්ඩායම තත්පර 41.369ක කාලයක් වාර්තා කළ අතර මහා බ්‍රිතාන්‍යය කණ්ඩායම ඉසව්ව අවසන් කිරීම සඳහා තත්පර 44.589ක කාලයක් වැය කර තිබුණා. 

ලෝකඩ පදක්කම සඳහා වන තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම (Matthew Glaetzer, Nathan Hart සහ Matthew Richardson) පරාජයට පත් කිරීමට ප්‍රංශය (Florian Grengbo, Rayan Helal සහ Sébastien Vigier) සමත් වුනා. 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ අවසන් තරගයේ දී මහා බ්‍රිතාන්‍යය කණ්ඩායම (Philip Hindes, Jason Kenny සහ Callum Skinner) විසින් පිහිටවූ ඔලිම්පික් වාර්තාව (42.440) නෙදර්ලන්ත කණ්ඩායම විසින් සුදුසුකම් ලැබීමේ වටයේ (42.134) දී බිඳ හෙළීමට සමත් වුනා. ඉන්පසුව ඔවුන් විසින් පළමු වටයේ දී තත්පර 41.431ක් වාර්තා කරමින් තමන් සතුව තිබූ ඔලිම්පික් වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර අවසන් තරගයේ දී නැවත එය බිඳ දැමීමට සමත් වුනා. 

බර එසවීම (Weightlifting) 

පිරිමි 109 kg බර පන්තිය යටතේ තරග වැදුණු උස්බෙකිස්තානයේ Akbar Djuraev නව ඔලිම්පික් වාර්තා දෙකක් සමඟින් රන් පදක්කම දිනා ගත්තා. ඔහු විසින් Clean & Jerk ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 237 සහ එසවූ මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 430 නව ඔලිම්පික් වාර්තා ලෙස සටහන් වූ අතර Snatch ක්‍රමයට ඔහු විසින් කිලෝග්‍රෑම් 193ක් ඔසවා තිබුනා. 

(Akbar Djuraev අවසන් තරගවටය අතරතුර) ඡායාරූපය – olympics.com 

රිදී පදක්කම දිනා ගත් ආර්මේනියාවේ Simon Martirosyan විසින් Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 195ක් ඔසවමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ලෝකඩ පදක්කම ලැට්වියාවේ Artūrs Plēsnieks හට හිමි වුනා. 

කිමිදුම් (Diving) 

පිරිමි 3m springboard ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට චීනයේ Xie Siyi සමත් වුනේ අවසන් වටයේ නියමිත පැනීම් හය අවසානයේ මුළු ලකුණු 558.75ක් වාර්තා කරගනිමින්. රිදී පදක්කම මුළු ලකුණු 534.90ක් රැස් කරගැනීමට සමත් වූ චීනයේ Wang Zongyuan හට හිමි වූ අතර මහා බ්‍රිතාන්‍යයේ Jack Laugher මුළු ලකුණු 518.00ක් සමඟින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

(රන් පදක්කම ජයග්‍රහණය කළ චීනයේ Xie Siyi) ඡායාරූපය – olympics.com 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

Canoeing 

පිරිමි C-2 1000m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Serguey Torres සහ Fernando Jorge (කියුබාව) 
  2. රිදී පදක්කම – Liu Hao සහ Zheng Pengfei (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Sebastian Brendel සහ Tim Hecker (ජර්මනිය) 

පිරිමි K-1 1000m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Bálint Kopasz (හංගේරියාව) 
  2. රිදී පදක්කම – Ádám Varga (හංගේරියාව) 
  3. ලෝකඩ පදක්කම – Fernando Pimenta (පෘතුගාලය) 

කාන්තා K-1 200m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Lisa Carrington (නවසීලන්තය) 
  2. රිදී පදක්කම – Teresa Portela (ස්පාඥ්ඥය) 
  3. ලෝකඩ පදක්කම – Emma Jørgensen (ඩෙන්මාර්කය) 

කාන්තා K-2 500m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Lisa Carrington සහ Caitlin Regal (නවසීලන්තය) 
  2. රිදී පදක්කම – Karolina Naja සහ Anna Puławska (පෝලන්තය) 
  3. ලෝකඩ පදක්කම – Danuta Kozák සහ Dóra Bodonyi (හංගේරියාව) 

ඔරු පැදීම (Sailing) 

පිරිමි Finn ඉසව්ව 

  1. රන් පදක්කම – Giles Scott (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Zsombor Berecz (හංගේරියාව) 
  3. ලෝකඩ පදක්කම – Joan Cardona Méndez (ස්පාඥ්ඥය) 

පිරිමි 49er ඉසව්ව 

  1. රන් පදක්කම – Dylan Fletcher සහ Stuart Bithell (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Peter Burling සහ Blair Tuke (නවසීලන්තය) 
  3. ලෝකඩ පදක්කම – Erik Heil සහ Thomas Plößel (ජර්මනිය) 

කාන්තා 49erFX ඉසව්ව 

  1. රන් පදක්කම – Martine Grael සහ Kahena Kunze (බ්‍රසීලය) 
  2. රිදී පදක්කම – Tina Lutz සහ Susann Beucke (ජර්මනිය) 
  3. ලෝකඩ පදක්කම – Annemiek Bekkering සහ Annette Duetz (නෙදර්ලන්තය) 

මිශ්‍ර Nacra 17 ඉසව්ව 

  1. රන් පදක්කම – Ruggero Tita සහ Caterina Banti (ඉතාලිය) 
  2. රිදී පදක්කම – John Gimson සහ Anna Burnet (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Paul Kohlhoff සහ Alica Stuhlemmer (ජර්මනිය) 

මල්ලවපොර (Wrestling) 

පිරිමි Greco-Roman 77 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Tamás Lőrincz (හංගේරියාව) 
  2. රිදී පදක්කම – Akzhol Makhmudov (කිර්ගිස්ථානය) 
  3. ලෝකඩ පදක්කම – Shohei Yabiku (ජපානය) සහ Rafig Huseynov (අසර්බයිජානය) 

පිරිමි Greco-Roman 97 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Musa Evloev (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  2. රිදී පදක්කම – Artur Aleksanyan (ආර්මේනියාව) 
  3. ලෝකඩ පදක්කම – Tadeusz Michalik (පෝලන්තය) සහ Mohammad Hadi Saravi (ඉරානය) 

කාන්තා Freestyle 68 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Tamyra Mensah (ඇමරිකා එක්සත් ජනපදය) 
  2. රිදී පදක්කම – Blessing Oborududu (නයිජීරියාව) 
  3. ලෝකඩ පදක්කම – Alla Cherkasova (යුක්රේනය) සහ Meerim Zhumanazarova (කිර්ගිස්ථානය) 

බොක්සිං (Boxing) 

කාන්තා featherweight (54-57 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Sena Irie (ජපානය) 
  2. රිදී පදක්කම – Nesthy Petecio (පිලිපීනය) 
  3. ලෝකඩ පදක්කම – Irma Testa (ඉතාලිය) සහ Karriss Artingstall (මහා බ්‍රිතාන්‍යය) 

පිරිමි welterweight (63-69 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Roniel Iglesias (කියුබාව) 
  2. රිදී පදක්කම – Pat McCormack (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Aidan Walsh (අයර්ලන්තය) සහ Andrey Zamkovoy (රුසියානු ඔලිම්පික් කමිටුව) 

මෙවර ඔලිම්පික් උළෙලේ සාර්ථක 11 වැනි දිනය (03) අවසන් වන විට තවදුරටත් පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 21ක් සහ ලෝකඩ පදක්කම් 16ක් සමඟ ප්‍රබල චීනය විසින් හිමිකරගෙන තිබෙනවා.  

ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 28ක් සහ ලෝකඩ පදක්කම් 21ක් සමඟින් දෙවන ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ජයග්‍රහණය කරමින් සත්කාරක ජපානය තෙවැනි ස්ථානයේ පසුවෙනවා. 

හෙට (04) දිනයේ දී මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් සඳහා වන තවත් අවසන් තරග 17ක් පැවැත්වීමට නියමිතයි. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<