කාලගණන තරගාවලිය මෙම සතිඅන්තයේ දී

99
Time Counting Athletic Meet

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිතයේ සහ සුපිරි ක්‍රීඩක සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන කාලගණන පුහුණු මලල ක්‍රීඩා තරගාවලිය මෙම මස 24 (සෙනසුරාදා) සහ 25 (ඉරිදා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මීට පෙර මෙම මස 23 වැනිදා සිට 25 වැනිදා තෙක් මලල ක්‍රීඩා සංචිත තේරීම් තරග පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මෙරට තුළ නැවත වරක් ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලියක්  කල් දැමීමට තීරණය කරන ලදි. පසුව සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා මෙම කාලගණන තරගාවලිය පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කරන ලදි.

නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව මේ දක්වා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවෙකුට තරගාවලියක් සඳහා සහභාගි වීමට අවස්ථාව නොලැබීම නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන ගැනීමට හෝ අවස්ථාවක් ලබා දෙන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සිදු කළ ඉල්ලීම් නිසාවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සියලූම සෞඛ්‍යාරක්ෂිත නිරෝධායන නීති රීතීන් අනුගමනය කරමින් මෙම තරගාවලිය පැවැත්වීමට සූදානමින් පසුවන අතර එම තරගාවලිය තුළින් එම සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික දක්ෂතා පමණක් මැන ගැනීමට කටයුතු කරනු ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

මෙම තරගාවලිය පිළිබඳව ලංකාදීප පුවත්පතේ “කෙළිමඬල” වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටු සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය හුදෙක්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික ඉල්ලීම් නිසාවෙන් සංවිධානය කළ බවත්, මෙහි කිසිදු දත්තයක් වාර්තා ගත නොකරන බවයි.

“කොටින්ම මෙම තරගාවලියේ කිසිදු දත්තයක් වාර්තා ගත කරන්නේ නැහැ, දැනට තිබෙන ජාතික වාර්තාවක් අභිබවා යන කාලයක් සටහන් වූවත් එය නව වාර්තාවක් ලෙස සලකන්නේ නෑ. මෙයින් සිදු කරන්නේ එම සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික දක්ෂතා මැනබැලීමක් පමණි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම කාලගණන තරගාවලිය උදෑසන 7ට ආරම්භ වීමට නියමිතව ඇති අතර මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800 ඇතුළු තෝරාගත් ඉසව් සඳහා මෙම කාලගණන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

මීට අමතරව දැනට නම් කර ඇති මලල ක්‍රීඩා සංචිතයන්හී වෙනස්කම් මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දස්කම් සලකා බලා සිදු කිරීමට නියමිතව ඇති අතර එහි දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික සංචිතයට තේරීපත්වීමට අවස්ථාවක් හිමිවනු ඇත.

ලංකාදීප පුවත්පතේ කෙළිමඬල වෙබ් අඩවිය ඇසුරෙනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<