ඉතාලි විස්සයි විස්ස සංචිතයට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්

ICC ලෝක කුසලාන යුරෝපා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය

1524
Three Sri Lankan Origin Players

2022 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පවත්වනු ලබන ICC යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරග අදියර ඔක්තෝබර් 15 සිට 21 දක්වා ස්පාඤ්ඤයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා තරග වදිනු ලබන ඉතාලි ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා නම් කළ අතර Gareth Bergගේ නායකත්වයෙන් සහ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුත් මේ කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ උපත ලද ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත්. මදූප ප්‍රනාන්දු, දිනිඳු මාරගේ සහ ජෝයි පෙරේරා එම ක්‍රීඩකයින් තිදෙනා වෙනවා.

ඔවුන් තිදෙනාම මින් පෙර ඉතාලිය වෙනුවෙන් විස්සයි විස්ස තරග කිහිපයක්ම ක්‍රීඩා කර තිබෙනවා. කෙසේ නමුත් එම ක්‍රීඩකයින් තිදෙනා අතරින් ඉතාලියට ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් ලැබීමෙන් පසුව ක්‍රීඩා කර තිබෙන්නේ 34 හැවිරිදි ජෝයි පෙරේරා පමණයි.

ඔහු ඉතාලිය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 8ක් ක්‍රීඩා කරමින් ලකුණු 208ක් ලබාගෙන තිබෙන්නේ එක් අර්ධ ශතකයක් ද සමඟිනුයි. 30 හැවිරිදි මදූප සහ 40 හැවිරිදි දිනිඳු යන ක්‍රීඩකයින් දෙදෙනාම විස්සයි විස්ස තරග 6 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

2021 ICC යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ විස්සයි විස්ස තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, ගෝලීය කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරග පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ නිසාවෙන්  2021 අප්‍රේල් 30 වැනි දිනට පැවති ශ්‍රේණිගත කිරීම්වලට අනුව ජර්සි, ඉතාලිය, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන කණ්ඩායම් 4, 2021 ICC යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරග අදියර සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එම කණ්ඩායම් 4 අතර පැවැත්වෙන තරගාවලිය අවසානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක එළඹෙන වසරේ එනම් 2022 වසරේ දී පැවැත්වීමට නියමිත Global Qualifiers වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා වරම් හිමිවෙනවා.

Global Qualifiers තරගාවලිය සඳහා කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 16ක් (එක කාණ්ඩයකට කණ්ඩායම් 8 බැගින්) තරග කරනු ලබන අතර ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4ක් සඳහා 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වෙනවා.

ICC යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරග අදියර සඳහා නම් ක​ළ ඉතාලි සංචිතය – Gareth Berg (නායක සහ ප්‍රධාන පුහුණුකරු), Jade Dernbach, Madupa Fernando, Jamie Grassi, Grant Stewart, Darren Low, Dinidu Marage, Gian-Piero Meade, Joy Perera, Amir Sharif, Baljith Singh, Jaspreet Singh, Manpreet Singh, Nikolai Smit h.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<