හොර පාරෙන් SAG දිනූ පාකිස්තානුවන් තවත් අසරණ වෙයි

208

පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රහණ දිනා ගැනීමෙන් අනතුරුව තහනම් උත්තේජක ලබා ගත් බවට අනාවරණය වූ පාකිස්තාන ක්‍රීඩකයන් තිදෙනාගේ B සාම්පල පරීක්ෂාවෙන් ද ඔවුන් තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වී ඇති බව නේපාල සහ කටාර් ඔලිම්පික් කමිටු විසින් දැනුම් දී ඇත.

SAG දිනූ පාකිස්තානුවන් තිදෙනෙකුට වැඩ වැරදී

එම B සාම්පල වාර්තාවන්ට අනුව ඔවුන් විසින් දැන හෝ නොදැන තම දස්කම් ඉහළ නංවා ගැනීමට හැකි වන තහනම් උත්තේජකයන් භාවිතා කර ඇති බවට නැවත වරක් තහවුරු වන අතර මේ නිසාවෙන් බොහෝ විට ඔවුන්ට දිගු කාලීන තරග තහනමකට යටත් වීමට සි දුවනු ඇත.

නිමා වූ තරගාවලියේ දී 400m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මෙහෙබූබ් අලී, 110m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොහොමඩ් නයීම් සහ 100m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් සමී උල්ලාහ් යන ක්‍රීඩකයන් මෙලෙස තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වූ බවට පසුගිය මැයි මාසයේ දී නේපාල ඔලිම්පික් කමිටුව විසින් දැනුම් දී තිබුණි.

පාකිස්තාන ක්‍රීඩකයන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් B සාම්පල පරීක්ෂාවක් ඉල්ලා සිටි නිසාවෙන් පාකිස්තාන මලල ක්‍රීඩා සම්මේලනය විසින් ඇමරිකානු ඩොලර් 1,800ක මුදලකට යටත්ව “World Anti-Doping Agency” හී අනුමත කටාර් හී පිහිට රසායනාගාරයක එම පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කළ අතර සති තුනක පරීක්ෂාවකින් අනතුරුව ඔවුන්ගේ එම වාර්තාව ද පෙර වාර්තාවට සමාන බව ඊයේ (19) දින දැනුම් දෙන ලදි.

යොවුන් ඔලිම්පික් උළෙලත් කල් යයි

ඒ අනුව පාකිස්තාන මලල ක්‍රීඩා කණ්ඩායම නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දිනා ගත් පදක්කම් 6ක් (රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක්) ඔවුන්ට අහිමි වන අතර පදක්කම් සටහනේ මුළු පදක්කම් හතක් පමණක් දිනා ගනිමින් එම සටහනේ නේපාලයට පහළින් එනම් හතරවැනි ස්ථානය දක්වා පසුබැසීමට ද සිදු වේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම පිළිබඳව “World Anti-Doping Agency” විසින් තවත් දින කිහිපයක් තුළ දී නිවේදනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

“ඔව්, 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා කමිටුවෙන් අප වෙත දන්වා තිබෙනවා B සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුව ද පාකිස්තාන ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම් උත්තේජක පරීක්ෂණ වාර්තා ධනාත්මක බව. World Anti-Doping Agency මගින් මෙය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ දී නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.

කෙසේ නමුත් අප සංගමය විසින් මේ පිළිබඳව නේපාල ඔලිම්පික් කමිටුවට අභියාචනාවක් ඉදිරිපත් කරනවා ද, එසේත් නොමැති නම් විමර්ශන කමිටුවක් පත්කොට එම ක්‍රීඩකයන් හට දඬුවම් ලබා දීමට කටයුතු කරනවා ද යන තීරණයකට පැමිණ නැහැ. අප සංගමය ඉදිරි සතිය තුල දී රැස්වීමක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි” යනුවෙන් එහි වැඩි දුරටත් සඳහන් වී තිබුණි.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 110m කඩුලු පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රොෂාන් ධම්මිකට හිමි වූ අතර 400m කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ අසංක ඉන්ද්‍රජිත් එම ඉසව්වේ සිව්වැන්නා ලෙස ද තරගය අවසන් කරන ලදි.

ඒ අනුව පකිස්තාන ක්‍රීඩකයන් තිදෙනාගෙ වාර්තා මගින් ඔවුන් තහනම් උත්තේජක ලබා ගත් බවට නැවත වරක් තහවුරු වීම නිසාවෙන් රොෂාන් ධම්මික හට 110m කඩුලු පැනීම රිදී පදක්කමත්, අසංක ඉන්ද්‍රජිත් හට 400m කඩුලු පැනීමේ ලෝකඩ පදක්කමත් හිමි වීමට ඉඩකඩක් පවතී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<