TPFC අභියෝගය ජය ගත් කොළඹ සාන්තුවරයෝ

ThePapare පාපන්දු ශූරතාවය 2022

284

තෙවැනි වරටත් සංවිධානය කරන ලද ThePapare පාපන්දු ශූරතාවයේ 2022 වසරේ කිරුළ දිනා ගැනීමට කොළඹ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පසුගිය දා (13) සමත් වුනා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී ඔවුන් ගෝල 5-2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

“අපි හැමදෙනාම කණ්ඩායමක් ලෙසින් තරගාවලිය පුරාවටම හිටියා. ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, විද්‍යාලයීය ප්‍රජාව වගේ සෑම කෙනෙක් ම මේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල ලෙස දායකත්වය දැක්වූවා.

ඒ වගේ ම ක්‍රීඩා කළ සෑම තරගයක් ජයග්‍රහණය කරමින් තරගාවලිය පුරා අපරාජිත සිටිමින් අපි මේ ශූරතාව දිනා ගත්තේ. මේ ජයග්‍රහණය විද්‍යාලයට සුවිශේෂී අවස්ථාවක්, සාන්ත ජෝසප් විද්‍යාලයීය පාපන්දු භාර ආචාර්ය රුවන් මංජුල මහතා ThePapare.com සමඟ පැවසුවා.

  • සාන්ත ජෝසප්වරුන් ලැබූ ජයග්‍රහණයේ ගමන් මග
ප්‍රතිවාදීන් ලකුණු තීරණය
1 කිංග්ස්වුඩ් විද්‍යාලය 4-2 සාන්ත ජෝසප් විද්‍යාලයට ජය
2 ද මැසිනෝද් විද්‍යාලය 5-0 සාන්ත ජෝසප් විද්‍යාලයට ජය
3 Hameed Al Husseinie විද්‍යාලය 2-1 සාන්ත ජෝසප් විද්‍යාලය ජය
4 රාජකීය විද්‍යාලය 4-1 සාන්ත ජෝසප් විද්‍යාලයට ජය
අර්ධ අවසන් පූර්ව තරගය
5 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 2-0 සාන්ත ජෝසප් විද්‍යාලයට ජය
අවසන් පූර්ව තරගය
6 සාන්ත පැට්‍රික් විද්‍යාලය 1-0 සාන්ත ජෝසප් විද්‍යාලය ජය
අවසාන මහා තරගය
7 යාපනය මධ්‍ය මහා විද්‍යාලය 5-2 සාන්ත ජෝසප් විද්‍යාලයට ජය

ශ්‍රී ලංකා පාසල් පාපන්දු ක්‍රීඩාවට වැඩි වටිනාකමක් ලබා දෙමින් පාසල් ක්‍රීඩකයන්ගේ දක්ෂතා රටට මුදාහැරීම අරමුණු කරගනිමින් පැවති මෙම තරගාවලිය මෙවර සංවිධානය කෙරුණේ තෙවැනි වතාවටයි.

2018 වසරේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ මංගල ජයග්‍රාහකයන් වූයේ ද සාන්ත ජෝසප් විද්‍යාලයයි. ඊට පසු 2019 වසරේ දී පැවති තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මරදාන සහිරා විද්‍යාලය සමත් වෙද්දී, එම වසරේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ඉන් අනතුරුව ලොව ම වෙලාගත් Covid-19 වසංගතය හේතුවෙන් තරගාවලිය සංවිධානය නොවූ අතර එය මෙවර නැවතත් සුපුරුදු ලෙසින් ම පාසල් පාපන්දු පිටියට දායාද කිරීමට ThePapare.com පවුලට හැකි වුනා.

කෙසේ වෙතත් තරගාවලියේ වැඩිම අවස්ථා ගණනාවක දී ඉහළ දක්ෂතා දක්වන්නන් අතර පෙරමුණ ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙනුණා. ඔවුන් මේ දක්වා පැවැති තරගාවලි 3 දී ශූරතා ද්විත්වයක් සහ තෙවැනි අවස්ථාවකට හිමි කී කුසලාන දිනා සිටිනවා.

මෙවර තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම්

  • A කාණ්ඩය

මරදාන සහිරා විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, මාවනැල්ල බදුරියා මධ්‍ය මහා විද්‍යාලය, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කළුතර මුස්ලිම් විද්‍යාලය.

  • B කාණ්ඩය

කොළඹ සාන්ත පීතර විද්‍යාලය, කින්නියා Al Aqsa විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, බදුල්ල ධර්මදූත විද්‍යාලය.

  • C කාණ්ඩය

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, කඳාන ද මැසිනෝද් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ Hameed Al Husseinie විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය.

  • D කාණ්ඩය

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය, යාපනය සාන්ත හෙන්රි විද්‍යාලය, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල,  ගම්පොළ සහිරා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය.

“සමහර අවස්ථාවල දී ඇතැම් තරග ගිලිහෙන්න ගියා. ඒ වගේ අවස්ථාවල දී අපේ පුහුණුකරුවන්ගේ මග පෙන්වීම මත එය මග හැර ගත්තා. විශේෂයෙන් ම අපේ දරුවන්ගේ එකමුතුකමත් ඊට ගොඩාක් බලපෑවා,” රුවන් මංජුල නැවත පැවැසුවා.

එය අවසන් මහා තරගයේ දී ද සිදු වූ බවයි ඔහු පවසන්නේ. අවසන් මහා තරගයේ දී තරග ආරම්භක අවස්ථාවේ දී ම ප්‍රතිවාදී යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ගෝලයක් වාර්තා කිරීමට සමත් වීම ඊට නිදසුනක්. නමුත් ඒ පසුපස ම ගිය ඔවුන් පළමු අර්ධය අවසන් කරන විට ගෝල 2-1ක් ලෙස ඉදිරියෙන් පසු වුනා.

දෙවැනි අර්ධයේ ද පළමු ගෝලය යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලබා ගත්ත ද, එතැන් සිට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ වග බලා ගත්තා. ඒ අනුව තරගය 5-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලයීය පාපන්දු සංචිතය: ලක්ෂිත නාගේන්ද්‍රන් (නායක) අනාස් හුසේන්, අකිඳු ප්‍රේමරත්න, පැතුම් ගිම්හාන්, ඉනුෂ රුවන්ක, ක්‍රිශේන් පෙරේරා, තනුෂ රශ්මික, දෙශද මොල්ලිගොඩ, ඩේවිඩ් කරුණාරත්න, දුමිඳු ආදිත්‍ය, තාරුක අශාන්ත, සුදීප් රුද්‍රිගෝපුල්ලේ, බ්‍රයිට් ප්‍රනාන්දු, දිලුක්ෂාන් රමේෂ්, උදුල රන්සික, උමේෂ් වීරසිංහ, තේශාන් තුශ්මික, අර්ඩන් පෙරේරා, රනීශ පීරිස්, ඩොනි ඩැනියෙල්, මාක් ඇන්ඩෲ, අබ්නර් ප්‍රනාන්දු, නේතන් අබේසේකර, ක්ලෙවර් ප්‍රනාන්දු, දිනෙත් විශ්මිත, ශෙවාන් ගුණවර්ධන, ටිශාන් ගුණසේකර, ජවීන් හෙට්ටිආරච්චි, කවිශ්ක ත්‍රීමාන්න සහ ලකිත පෙරේරා.

නිලධාරීන්: සමේශ් අන්තනී පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), රුවන් මංජුල (ක්‍රීඩා භාර ආචාර්ය), අරුණ සම්පත් (ප්‍රධාන පුහුණුකරු) ධම්මික අතුකෝරළ (සහාය පුහුණුකරු) සතිශ් කුමාර් (දැල රකින්නා පුහුණුකරු) දුමිඳු පෙරේරා (භෞත චිකිත්සක) සුදර්ශන් (කණ්ඩායම් කළමණාකරු)

ඒ පෑ දක්ෂතාත් සමඟින් අවසන් තරගයේ වීරයා ලෙසින් සාන්ත ජෝසප් විද්‍යාලයේ තේෂාන් තුෂ්මික සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා ලෙසින් එම විද්‍යාලයේ ම පැතුම් ගිම්හාන් විසින් සම්මාන දිනා ගත්තා.

අවසන් මහා තරගයේ දී පැතුම් ගිම්හාන් සහ මාක් ඇන්ඩෲ ගෝල 2 බැගින් වාර්තා කළ අතර අඩින් පෙරේරා එක් ගෝලයක් වාර්තා කළා. මෙම දක්ෂතාත් සමඟින් සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් තරගාවලියේ දී පැතුම් ගිම්හාන් ගෝල 5ක් ද සහ මාක් ඇන්ඩෲ ගෝල 5ක් ද බැගින් ලබා ගනිමින් තරගාලියේ වැඩිම ගෝල ලබා ගත් සාන්ත ජෝසපුවන් බවට පත් වුනා.

“සාමූහිකව ඔවුන් දැක් වූ දක්ෂතා හේතුවෙන් අපිට මේ කුසලානය දිනා ගැනීමට හැකි වුනා. සම්මාන ලැබූ ක්‍රීඩකයන් පමණක් නොවේ අනෙක් සෑම කෙනෙක් ම මේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වුනා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේ ම අපිට මේ තරගාවලිය පුරාවට ම අපේ විදුහල්පති පියතුමන් සහ ක්‍රීඩා භාර පියතුමන් සුවිශේෂී දායකත්වයක් දැක් වූවා. තරගයකට යන සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් ලැබූ ජවසම්පන්න උපදෙස් අපිට ගොඩක් වැදගත් වුනා,” රුවන් මංජුල මහතා නැවතත් ThePapare.com සමඟ පැවැසුවා.

ජයග්‍රාහී සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<