පාපන්දුවේ රජුන් බව සහිරාවන් නැවතත් ඔප්පු කරයි

218

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ගෝල 2-0 ක් ලෙස පරාජය කළ මරදාන සහිරා විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන ThePapare අන්තර් පාසල් පාපන්දු ශුරතාවයේ කිරුළ තමන් සතු කර ගැනීමට අද (26) සමත් වුනා. තරගය පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි.

සාන්ත පීතර සහ සහිරා ThePapare පාපන්දු අවසන් තරගයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අනුග්‍රාහකත්වයෙන්…

සිය ප්‍රබලතම ප්‍රතිවාදීන් වන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් සාන්ත පීතර විද්‍යාලය ThePapare පාපන්දු ශුරතාවලියේ අවසන් මහා තරගයට පිවිසුණු අතර සාන්ත පැට්‍රික් විද්‍යාලය පරාජය කරමින් ප්‍රබල මරදාන සහිරා විද්‍යාලයට අවසන් මහා තරගයට පැමිණියා.

ප්‍රබල සහිරා විද්‍යාලයට නොසිතූ අභියෝග කිහිපයක් එල්ල කරන්නට සාන්ත පීතරයින් සමත් වුනේ තරගයේ මුල් භාගයේ දී දැඩි ආරක්ෂක ක්‍රීඩා විලාසයක නිරත වෙමින්. වේගවත් සහිරා ක්‍රීඩකයින් සාන්ත පීතර අර්ධයට පිවිස ගෝල රැස් කිරීමට ප්‍රබල උත්සහයක් දරුවත් පීතරයින් පිටියේ පසුපසට වෙන්නට රැඳෙමින් සිය අර්ධය ආරක්ෂා කළ නිසා ඔවුන් දිගු ප්‍රහාර කරා යොමුවීම කැපී පෙනුණා.

මිනිත්තු 15ක් ගත වන තුරුම සාන්ත පිතරයින් සහිරා ගෝල රකින්නා අසලටවත් නොපැමිණි අතර පිටියේ වම් පසින් ආක්‍රමණයේ යෙදුණු සහිරා wing ක්‍රීඩක රූමි රාසා කිහිප වතාවක්ම නවත්තන්නට මලිඳු අතුකෝරළ හා ගෝමස් දෙදෙනා සමත් වුනා.

සහිරා කණ්ඩායම පිටියේ මනා පන්දු පාලනයකින් යුතුව ක්‍රීඩා කළත් 25 වැනි මිනිත්තුවේ දී ඔවුන් ගත් උත්සාහයක් ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියා.

කෙසේ වෙතත් 33 වැනි මිනිත්තුවේ සිට සාන්ත පීතර ක්‍රීඩකයින් ප්‍රබල ලෙස සහිරා අර්ධය ආක්‍රමණය කරන්නට සමත් වුණු අතර අවාසනාවන්ත ලෙස හුසේන්ගේ ඉතා ආසන්න උත්සාහයන් තෙවරක්ම අසාර්ථක වීම කැපී පෙනුණා. 41 වැනි මිනිත්තුවේ දී හුසේන්ගේ ඉතා ආසන්න උත්සහයක් සහිරා ගෝල රකින්නා විසින් ආරක්ෂා කළා.

තරගයේ උණුසුම නිසාම සාන්ත පීතර ක්‍රීඩක ඇල්ඩෝ හා සහිරා ක්‍රීඩක රාසා යන දෙදෙනා හටම කහ කාඩ්පත් හිමි වුනේ අනවශ්‍ය වචන හුවමාරුවක් නිසයි.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 00 – 00 සාන්ත පීතර විද්‍යාලය

දෙවන අර්ධය සුපිරි ගෝලයකින් ආරම්භ කරන්නට සහිරා කණ්ඩායම සමත් වුනේ තරගය තවත් උණුසුම් කරමින්. 55 වැනි මිනිත්තුවේ දී රූමි රාසා අලංකාර ලෙස ගුවන්ගත වී පන්දුව දැල් ගත කළේ සාන්ත පීතර ගෝ රකින්නාට කිසිදු අවස්ථාවක් ඉතිරි නොකරමින්. 

සීමාවෙන් පිටතට ගිය පන්දුව සහිරා ක්‍රීඩකයෙකු දීර්ඝ පන්දු විසි කිරීමකින් ගෝල රාමුව අසලටම විසි කළ අතර සාන්ත පීතර ආරක්ෂක ක්‍රීඩකයින් මර්දනය කරමින් රාසා එම ගෝලය රැස් කළා.

එම ගෝලයෙන් මිනිත්තු පහක් ගත වෙද්දී පිටියේ සියලු දෙනාගේ හුස්ම මදකට නරත කරන්නට සහිරා ක්‍රීඩක රිෆාකතුල්ලා සමත් වුනා. සහිරා ගෝල රකින්නා ඉදිරියට පැමිණ සිටි අවස්ථාවක සාන්ත පීතර ක්‍රීඩකයෙක් ඔහුගේ හිස ඉහලින් පන්දුව දැල වෙත පා කළ අතර සියලු දෙනා බලා සිටිද්දී පන්දුව හඹා ගිය මොහොමඩ් රිෆාකතුල්ලා ගෝල රාමුවෙන් පන්දුව ඇතුළු වන්නට පෙර නූලෙන් පන්දුව ඉවතට යොමු කළා.

2019 ThePapare පාපන්දු ශූරතාව දිනා ගන්නේ කවුද?

2019 ThePapare පාපන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කණ්ඩායම්…

දැඩි උෂ්ණත්වය හා ක්‍රීඩකයින් අධික ලෙස වෙහෙස වීම නිසාම ක්‍රීඩකයින්ට සුළු ආබාධයන් ඇතිවුණු අතර ඒ නිසාම තරගයේ වේගයත් තරමක් අඩු වුනා. 

75 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩක මොහොමඩ් සයිඩ් හට ගෝල රාමුව ඉදිරියේම අනගි අවස්ථාවක් ලැබුනත් ඔහු ගෝලය රාමුව වෙත හිසෙන් පන්දුව යොමු කරනවා වෙනුවට පිටියෙන් ඉවතට පන්දුව යොමු කළේ ඔහු ඉදිරියේ ගෝල රකින්නා පමණක් සිටි අවස්ථාවකයි.

සාන්ත පීතර බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින් මොහොමඩ් සාජිඩ් 89 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර ගෝල රකින ක්‍රීඩක රවිචන්ද්‍රන් පසු කරමින් අලංකාර ලෙස පන්දුව දැල වෙත යොමු කළේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත සහිරා ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් ප්‍රමෝදයට ලක් කරමින්.

ඒ අනුව 2020 ThePapare පාපන්දු  ශුරතාවලියේ ශූරතාව දිනා ගන්නට මරදාන සහිරා විද්‍යාලය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 00 – 02 සහිරා විද්‍යාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • සහිරා විද්‍යාලය – රාසා 56′, සාජිඩ් 89′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<