මංගල LPL සටනේ ThePapare.com හොඳම 11

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

5652

පළමු වරට පැවැත්වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) කුළුඳුල් ශූරතාව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions සමත් විය. එම තරගාවලිය තුල දී ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් අනුව ThePapare.com විසින් තෝරා ගනු ලැබූ 2020 LPL කණ්ඩායම පිළිබඳව තබන සටහනයි මේ.

මුල් පෙළ

දනුෂ්ක ගුණතිලක (Galle Gladiators)

තරග – 10, ලකුණු – 476, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 59.50, ප්‍රහාරාත්මක වේගය – SR: 144.68

2020 LPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවා වෙමින් තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත්වූ දනුෂ්ක ගුණතිලක නිසැක වශයෙන්ම මේ කණ්ඩායම තුල සිටිය යුතුම ක්‍රීඩකයෙකි. ඔහුට පසුව සිටි තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා සහ පළමුවැන්නා අතර තිබූ ලකුණු පරතරය ලකුණු 200කට ආසන්න වීම මඟින් දනුෂ්ක ගුණතිලකගේ පිතිකරණය කෙතරම් ඉහළ මට්ටමක තිබුණේ ද යන්න වටහා ගැනීමට හොඳින්ම ප්‍රමාණවත්.

ඔහු මේ තරගාවලියේ දැක්වූ දස්කම් අතරින් හොඳම දස්කම වන්නේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ වෙනුවෙන් පැවති තීරණාත්මක තරගයේ දී Kandy Tuskers කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 94 ඉනිමයි.

Laurie Evans (Colombo Kings)

තරග – 8, ලකුණු – 289, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 57.80, ප්‍රහාරාත්මක වේගය – 170.00

Colombo Kings කණ්ඩායමට අවසන් පූර්ව වටය දක්වා පැමිණීම සඳහා මුල්පෙළ සවිමත් කළ Laurie Evansගේ දස්කම් ඉතාමත් වැදගත් විය. එංගලන්ත ක්‍රීඩකයෙක් වන ඔහු තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය නිමා කළේය. LPL තරග ඉතිහාසයේ පළමු ශතකයේ හිමිකරු වන ඔහු අවසන් පූර්ව තරගයේ දී ආබාධ නොවන්නට එම තරගයේ දී ඔහුට තවත් යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට යම් ඉඩක් තිබුණි.

 

නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) (Dambulla Viiking)

තරග – 9, ලකුණු – 270, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 33.75, ප්‍රහාරාත්මක වේගය – 148.35

තරගාවලිය ආරම්භයේ දී නිරෝෂන් දික්වැල්ල හට සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට නොහැකි වුනු නමුත් ඉනිම් 4කට පසුව ඔහු අර්ධ ශතක දෙකක් ලබා ගනිමින් සිය සුපුරුදු රිද්මයට නැවතත් පැමිණෙන ලදි. එම ඉනිම් කිහිපය වගේම කඩුලු රකිමින් සිය කණ්ඩායම දිරි ගැන්වීම Dambulla Viiking කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 දක්වා පැමිණීමට සවියක් විය. ඊට අමතරව කඩුලු රකින්නෙක් ලෙස ඔහු ස්ටම්ප්ස් තුනක් සහ උඩ පන්දු 7ක් රැකගනිමින් දස්කම් දක්වන ලදි.

 

ඇන්ජලෝ පෙරේරා (Dambulla Viiking)

තරග – 7, ලකුණු  227, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 45.40, ප්‍රහාරාත්මක වේගය – 141.88

2020 LPL තරගාවලිය තුල ලකුණු අතරට පිවිසුණු නමුත් එතරම් කැපී නොපෙනුණු ක්‍රීඩකයෙක් ලෙස ඇන්ජලෝ පෙරේරා හඳුන්වා දීමට පුළුවන්. ඔහු අංක 4 පිතිකරු ලෙස Dambulla Viiking අවසන් කණ්ඩායම් 4 දක්වා රැගෙන ඒම සඳහා වැඩි දායකත්වයක් දක්වන ලදි. එසේම ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 140+ ඉක්මවා තිබීම නිසාවෙන් මැද පන්දුවාර තුල අනෙක් කණ්ඩායම් වලට සාපේක්ෂව යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට Dambulla Viiking කණ්ඩායමට හැකියාව ලැබුණි.

ඇන්ජලෝ පෙරේරා Dambulla Viiking කණ්ඩායමේ පළමු තේරීම නොවූ නමුත් ඕෂද ප්‍රනාන්දු හට සිදු වූ ආබාධය නිසාවෙන් සහ  Paul Stirling හට සාර්ථක වීමට අවස්ථාව නොලැබුණු නිසාවෙන් පෙරේරා හට කණ්ඩායම තුලට පැමිණීමට හැකියාව ලැබුණු අතර පසුව ඔහු ලකුණු ලබා ගනිමින් දැක්වූ දස්කම් අනුව ඔහු කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් විය.

මුල් පෙළට පැමිණීමට හැකි තවත් ක්‍රීඩකයින්  – දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්

තවත් විශේෂාංග ලිපි:

තුන් ඉරියව් ක්‍රීඩකයින්

දසුන් ශානක (Dambulla Viiking)

තරග – 9, ලකුණු – 278, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 39.71, ප්‍රහාරාත්මක වේගය – 161.63 | කඩුලු – 4

Dambulla Viiking නායක දසුන් ශානක සෑම විටම වාගේ ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අවසානයක් සනිටුහන් කිරීමට සමත් විය.

ශානක දියත් කළ ඉනිම අතරින් Kandy Tuskers සමඟ පැවති තරගයක දී ලකුණු 64/3ක් ලෙස සටහන්ව තිබූ Dambulla Viiking ලකුණු සටහන ලකුණු 195 දක්වා රැගෙන යාමට සමත් වූ අතර එහි දී පන්දු 37ක් තුල ලකුණු 73ක් ලබා ගැනීමට ශානක සමත් විය. එසේම Colombo Kings සමඟ පැවති තරගයක දී Dambulla Viiking මුල්පෙළ කඩුලු 4ක් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දැවී ගොස් තිබිය දී තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් දක්වා සිය කණ්ඩායම ඔසවා තැබීමට ශානක සමත් විය. අවසානයේ දී ඔවුන් එම තරගය ජයග්‍රහණය කරන ලදි.

එසේම ශානකගේ නායකත්වය යටතේ Dambulla Viiking මූලික වටය අවසානයේ දී දෙවන තැන දිනා ගැනීමට සමත් විය. එහි දී ඔහු සිය පන්දු යවන්නන් භාවිතා කළ ආකාරය සහ පන්දු රකින්නන් ස්ථාන ගත කරමින් සිය තරුණ කණ්ඩායම හැසිර වූ ආකාරය ගැන බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

 

තිසර පෙරේරා (නායක) (Jaffna Stallions)

තරග 10, ලකුණු 261, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 43.50, ප්‍රහාරාත්මක වේගය – 223.08 | කඩුලු – 5

LPL තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගත් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ද නිසැක වශයෙන් මේ කණ්ඩායම තුල සිටිය යුතුම ක්‍රීඩකයෙකි. ඔහු සිය කණ්ඩායම සඳහා ඉතාමත් සාර්ථක නායකත්වයක් ලබා දෙමින් කණ්ඩායමක් ලෙස තරගාවලිය සාර්ථක ලෙස නිමා කළේය. Dambulla VIiking සමඟ පැවති එක් තරගයක දී සිය කණ්ඩායමේ ලකුණු සටහන 64/5ක් ලෙස සටහන්ව තිබූ මොහොතක ලකුණු 218/7ක් දක්වා රැගෙන යාමට ඔහුගේ පිතිකරණයට හැකි විය.

එම තරගයේ දී ලබා ගත් ලකුණු 97ට අමතරව ඊට පසුදින Kandy Tuskers සමඟ පැවති තරගයේ දී ද අර්ධ ශතකයක් ලබා ගනිමින් පිට පිට නොකඩවා තරගයේ වීරයා සම්මාන දෙකක් දිනා ගැනීමට පෙරේරා සමත් විය. එසේම අවසන් මහා තරගයේ දී Galle Gladiators කණ්ඩායමට එරෙහිව පන්දු 14ක දී ලකුණු 39ක් ලබා ගත්තේ අවසන් මහා තරගය තුල ද සිය දස්කම් හැකි උපරිමයෙන් ප්‍රදර්ශනය කරමිනි. එසේම වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරේ තිසර පෙරේරා රඳවා ගත් ප්‍රහාරාත්මක වේගය 2020 LPL තරගාවලියේ හොඳම ප්‍රහාරාත්මක වේගයයි.

වනිඳු හසරංග (Jaffna Stallions)

තරග – 10, කඩුලු 17, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය – 11.29, පන්දුවාරයකට ලබා දුන් ලකුණුවල සාමාන්‍යය – 5.18 | පන්දු යවන්නෙක් ලෙස ලබාදු න් ලකුණු – 127

පළමු LPL තරගාවලියේ මෙන්ම LPL තරගාවලි ඉතිහාසයේ පළමු තරගාවලියේ වීරයා වූ වනිඳු හසරංග නිසැක වශයෙන් මේ කණ්ඩායම තුල සිටිය යුතුම ක්‍රීඩකයෙකි. පන්දු යැවීමෙන් මෙන්ම පිතිකරුවෙක් සහ පන්දු රකින්නෙක් ලෙස මෙන්ම හොඳ තරග අවසන් කරන්නෙක් ලෙස වනිඳු තමන්ට තිබෙන හැකියාව පිළිබඳව මේ තරගාවලිය තුලදී ඉතාමත් හොඳින් ලෝකයාට පෙන්නුම් කළේය.

Jaffna Stallions නායක තිසර පෙරේරා තමන් හට කඩුල්ලක් අවශ්‍ය වූ සැනින් පන්දුව ලබා දෙන්නේ හසරංග හටයි. ඔහු එම අවස්ථාවලින් වැඩි ප්‍රමාණයක දී සාර්ථක විය. එසේම විස්සයි විස්ස වැනි වේගවත් තරග රටාවක් තුල එක් පන්දුවාරයකට ලබා දෙන ලකුණු ප්‍රමාණය ලකුණු 6කට අඩුවෙන් තියා ගැනීම සඳහා ඔහු සතුව තිබෙන දක්ෂතාවය තවත් ඉහළින් පෙන්නුම් කරන ලදි.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස මේ ලැයිස්තුවට පැමිණිය හැකි තවත් ක්‍රීඩකයින් – අසේල ගුණරත්න, Samit Patel, Andre Russell

පන්දු යවන්නන්

ධනංජය ලක්ෂාන් (Galle Gladiators)

තරග – 8, කඩුලු – 13, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය – 17.30, පන්දුවාරයකට ලබා දුන් ලකුණුවල සාමාන්‍යය –  8.65 | ලකුණු – 77

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වරම් දිනානොගත් (uncapped) ක්‍රීඩකයින් අතරේ හොඳම දස්කම් දක්වමින් තරගාවලිය තුල වැඩි ලෙස කැපී පෙනුණ ක්‍රීඩකයින් කිහිපදෙනා අතරේ ඉදිරියෙන්ම සිටියේ ධනංජය ලක්ෂාන් වේ. ඔහු පන්දු යැවීමෙන්, පන්දු රැකීමෙන් මෙන්ම පන්දුවට පහර දීමෙන් ඔවුන්ගේ කණ්ඩායම ඔහුගෙන් ඒ මොහොතේ දී අවශ්‍ය කරන දේ සඳහා උපරිම සාධාරණය ඉටු කිරීමට ධනංජය ලක්ෂාන් සමත් විය.

තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ ඔහු තරග 8ක් තුල කඩුලු 13ක් දවා ගත්තේ ඔහු සතුව තිබෙන පන්දුව දෝලනය කිරීමේ හැකියාව සහ පන්දු යැවීමේ තිබෙන සංකලනයන් උපරිම ලෙස භාවිතා කරමිනි. එම දවා ගත් කඩුලු 13 අතර අවසන් පූර්ව තරගයේ දී දිනේෂ් චන්දිමාල්ට යොමු කළ පන්දුව ඒ අතර තිබෙන එක් හොඳම පන්දුවකි.

වයස අවුරුදු 22ක් වන ඔහු අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය එම අවසන් පූර්ව තරගයේ දී එක් අන්තයක් රැකගනිමින් නොදැවී ලකුණු 32*ක් ලබා ගනිමින් Galle Gladiators කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා පැමිණීමට අවශ්‍ය මඟ සකස් කරදුනි.

Mohammad Amir (Galle Gladiators)

තරග – 10, කඩුලු – 11, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය – 26.72, පන්දුවාරයකට ලබා දුන් ලකුණුවල සාමාන්‍යය – 7.73

Galle Gladiators ඔවුන් මුහුණ දුන් පළමු තරග 5ම පරාජයට පත්වූ අතර පරාජයන් හමුවේ තව තවත් සවිමත් වූ Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා වූයේ Mohammad Amir ය. ඔහු පළමු පන්දුවාර කිහිපය තුල සිය ප්‍රතිවාදී කණ්ඩායම් හට එල්ල කළ පීඩනය නිසාවෙන් ඔවුන් දැඩි අසීරුතාවයකට මුහුණ දුන් අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන්ගේ කණ්ඩායමට එම තරග ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණි. තරගාවලියේ තරගයක වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා කළ Amir Colo කණ්ඩායමට එරෙහිව Colombo Kings ලකුණු 26කට කඩුලු 5ක් දවාගත්තේය.

ලක්ෂාන් සඳකැන් (Galle Gladiators)

තරග – 8, කඩුලු – 12, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය – 22.66, පන්දුවාරයකට ලබා දුන් ලකුණුවල සාමාන්‍යය – 9.37

ලක්ෂාන් සඳකැන් මෙවර තරගාවලිය තුල එතරම්ම කැපී නොපෙනුණු නමුත් ඔහුගේ දත්ත සහ ඔහු ක්‍රීඩා කළ විලාසය රැගෙන බැලූ විට ඔහුට ද මේ කණ්ඩායමේ ඉඩක් හිමි වේ. විශේෂයෙන් මැදපෙළ පන්දුවාර තුල කඩුලු දවා දවා ගනිමින් ඔහුගෙන් කණ්ඩායම බලාපොරොත්තු වන දේ ඉතාමත් හොඳින් ඉටු කිරීමට සඳකැන් සමත් විය.

තරගාවලියේ තුන්වැනි වැඩිම කඩුලු ලාභියා වූ සඳකැන් ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා සහ Andre Russell යන ප්‍රබල පිතිකරුවන්ගේ කඩුලු දවා ගනිමින් දස්කම් දක්වන ලදි. ඔහුගේ ගුවනට මුසුවන පන්දුව මෙවර තරගාවලිය තුල ඉතාමත් සාර්ථක වූයේ ඔහු ඒ පන්දු අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත ස්ථානයේ පතිත කිරීමට දස්කම් දැක්වූ නිසයි.

Usman Shinwari (Jaffna Stallions)

තරග – 7, කඩුලු – 9, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය – 17.55, පන්දුවාරයකට ලබා දුන් ලකුණුවල සාමාන්‍යය –  7.52

Jaffna Stallions පන්දු යවන්නන්ගේ සංචිතය සලකා බැලීමේ දී Usman Khan Shinwari යනු ප්‍රබල තුරුම්පුවකි. විශේෂයෙන් අවසන් පන්දුවාර කිහිපය එහෙමත් නැත්නම් death overs ක්‍රියාත්මක කිරීමේ දී අඩු ලකුණු ප්‍රමාණයක් සහ වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගනිමින් ප්‍රතිවාදී කණ්ඩායම් ඉතාමත් හොඳින් මෙල්ල කර ගැනීමට Usman Shinwariගේ පන්දු යැවීම Jaffna Stallions කණ්ඩායමට බොහෝ සෙයින් ඉවහල් විය.

අවසන් පූර්ව තරගයේ දී සිය කණ්ඩායමේ අසුන වෙන්වූ පසුව Usman Shinwari විවේක ගැන්වීමට ඔවුන් තීරණය කළ අතර අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් මහා තරගයේ දී නැවතත් කණ්ඩායමට පැමිණෙමින් තරග 7ක් තුල කඩුලු 9ක් දවාගැනීමට ඔහු සමත් විය. Dambulla Viiking සමඟ පැවති අවසන් පූර්ව තරගයේ දී දසුන් ශානකගේ කඩුල්ල දවා ගනිමින් තරගයේ හැරවුම් ලක්‍ෂය සනිටුහන් කිරීමට සමත් වූයේ ද Usman Shinwari වේ.

පන්දු යවන්නන් ලෙස මේ කණ්ඩායමට පැමිණීමට හැකි තවත් ක්‍රීඩකයින්  – දුෂ්මන්ත චමීර, Qais Ahmed, Anwar Ali

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<