ත්‍රිත්ව, ධර්මරාජ, රාහුල හා විද්‍යාර්ථයින් කන්ද උඩරට ශූරතා දිනයි

430

ඩයලොග් අන්තර් පාසල් සත් සාමාජික තරගාවලියේ මධ්‍යම පළාත් අදියර අද (27) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

ලකුණු 33-07ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කරමින් කුසලාන ශූරතාවය දිනා ගන්නට සමත් වුනේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි.

තරගාවලියේ දක්ෂතම කණ්ඩායම් ලෙස පිළිවෙළින් A කාණ්ඩයේ හා B කාණ්ඩයේ පෙරමුණ ගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයයි.

කිංග්ස්වුඩ් වෙනුවෙන් එච්. ඉෂාර ගෝල කණු අතරින් උත්සාහක දිනුමක් රැස් කරමින් කුසලාන අවසන් මහා තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. ටෙවින් කරුණානායක ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙක් මැඩලමින් පළමු ත්‍රිත්ව උත්සාහක දිනුම රැස් කරද්දී, තමුදිත දොඩන්වත්ත පළමු අර්ධයට පෙර ත්‍රිත්ව ලකුණු පුවරුව දෙගුණ කළා.

කිංග්ස්වුඩ් නායක ඩී. ඒකනායක හට කහ කාඩ්පතක් හිමි වීම නිසා පළමු අර්ධය අවසානයේ ත්‍රිත්ව කණ්ඩායමට අමතර වාසියක් ද හිමි වුනා.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 14 (2T, 2C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 7 (1T, 1C)

දෙවැනි අර්ධයේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය අන්දමන්ද කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් තුනක් තමන් සතුකර ගත්තා. රවිඳු වික්‍රමසිංහ 9 වැනි මිනිත්තුවේ ලකුණු රැස් කරද්දී, දොඩන්වත්ත හා බවන්ත ධර්මපාල තවත් උත්සාහක දිනුම් දෙකක් රැස් කළේ කුසලානය සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයට ගෙන යමිනුයි.

තරගාවලියේ වීරයා – රවිඳු වික්‍රමසිංහ (ත්‍රිත්ව විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 33 (5T, 4C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 7 (1T, 1C)

ත්‍රිත්ව විද්‍යාලය මූලික වටයේ දී ශ්‍රී රාහුල විද්‍යාලය ලකුණු 52-00ක් ලෙස පරාජය කළා. පසුව තියුණු තරගයකින් අනතුරුව ධර්මරාජ විද්‍යාලය ලකුණු 32-19ක් පරාජය කළ අතර පළමු වටයේ අවසන් තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 47-00ක් ලෙස පරාජය කළා.

කිංග්ස්වුඩ් කණ්ඩායම මූලික වටයේ පළමු තරගයේ දී ලකුණු 26-14ක් ලෙස සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පරාජය කළා. පසුව ඔවුන් ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 43-00ක් ලෙස පරාජය කළ අතර විද්‍යාර්ථ විද්‍යාලය ලකුණු 38-10ක් ලෙස පරාජය කළා.

පලඟ අවසන් මහා තරගය

ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් තේනුක වික්‍රමසිංහ ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමකින් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා.

නෙලුන් ඒකනායක හා රශ්මීර සෙනරත් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් ධර්මරාජ ලකුණු පුවරුව ශක්තිමත් කළා. පළමු අර්ධය නිමා වීමට පෙර ලක්ෂාන් සංදීප තරගයේ ලකුණු පරතරය අවම කළා.

දෙවැනි අර්ධයත් සුමංගලය ලකුණු සමඟින් ආරම්භ කළා. ඉසුරු ශානක සුමංගල කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කළ නමුත් රශ්මිර සෙනරත්ගේ අවසන් උත්සාහක දිනුමෙන් ධර්මරාජ විද්‍යාලය තරගය ජය ගත්තා.

ධර්මරාජ විද්‍යාලය 26 – 14 ශ්‍රී සුමංගල විද්‍යාලය

පලිහ අවසන් මහා තරගය

පසිඳු ලියනගේ වාර්තා කළ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ශ්‍රී රාහුල විද්‍යාලය පලිහ ශූරතාවය දිනා ගත්තා. ඒ ලකුණු 26-10ක් ලෙස සාන්ත සිල්වෙස්තර කණ්ඩායම පරාජය කරමිනුයි.

පළමු අර්ධය ලකුණු 7-5ක් ලෙස නිමා වුනත්, දෙවැනි අර්ධයම පහසුවෙන් සිය ග්‍රහණයට ගන්නට රාහුල ක්‍රීඩකයෝ සමත් වුනා.

ශ්‍රී රාහුල විද්‍යාලය 26 – 10 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

බඳුන අවසන් මහා තරගය

සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු පුවරුව ක්‍රියාත්මක කළත් කාවින්ද පුංචිහේවා පළමු අර්ධය නිමා වන විට ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමකින් ලකුණු තත්වය සම කළා.

දෙවැනි අර්ධයත් සාන්ත අන්තෝනි කණ්ඩායම ලකුණු සමඟ ඇරඹුවා. Mohommad Zacky සාන්ත අන්තෝනි වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළත්, පුංචිහේවා හා චිරන්ත කළුආරච්චි රැස් කළ උත්සාහක දිනුම් දෙකේ සවියෙන් විද්‍යාර්ථ කණ්ඩායම බඳුන ශුරතාවය දිනා ගත්තා.

 විද්‍යාර්ථ විද්‍යාලය 21 – 12 සාන්ත අන්තෝනි විද්‍යාලය

පාසල් පළාත් සත් සාමාජික රග්බි තරගාවලියේ කාලසටහන

වයඹ පළාත දෙසැම්බර් 28 කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණය
සබරගමුව පළාත දෙසැම්බර් 30 රුවන්වැල්ල පොදු ක්‍රීඩාංගණය
දකුණු පළාත දෙසැම්බර් 31 කොග්ගල නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණය

තරගාවලියේ සජීව විකාශය සහ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<