DS ක්‍රීඩකයෝ වැඩ පෙන්වද්දී කුසලානය සාන්ත පීතර ක්‍රීඩකයින්ට

403

Dialog පාසල් සත් සාමාජික රග්බි ශූරතාවයේ බස්නාහිර පළාත් තරගාවලියේ A කාණ්ඩයේ ශූරතාවය, දිනා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් ඊයේ (19) සමත් වුනා.

කණ්ඩායම් 12ක් සහභාගී වූ මෙම A කාණ්ඩයේ තරගාවලියේ මූලික වටයේ තරග ඇතුළු සියලුම තරග ඊයේ (19) පැවැත්වුණේ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේයි.

Group A

අවිශ්ක ගුණවර්ධන ලබා ගත් උත්සාහක දිනුම් ත්‍රිත්වය නිසාවෙන් මරදාන ආනන්ද විද්‍යාලය ලකුණු 33-00ක් ලෙස පරාජය කිරීමට කොළඹ රාජකීය විද්‍යාලයට හැකි වුනා.

එම කාණ්ඩයේ අනෙක් තරගයෙන් ආනන්ද විද්‍යාලය ලකුණු 35-00ක් ලෙස පරදවමින් ජයග්‍රහණය කිරීමට මරදාන සහිරා විද්‍යාලය සමත් වූ අතර කාණ්ඩයේ තීරණාත්මක තරගයෙන් සහිරා ක්‍රීඩකයින් ලකුණු 31-00ක් ලෙස පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට රාජකීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

Group B

මෙම කාණ්ඩයේ පළමු තරගවලින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය ලකුණු 28-00ක් සහ 31-00ක් ලෙස පරාජය කරන්නට පිළිවෙළින් වෙස්ලි ක්‍රීඩකයින් සහ සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා.

කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ තීරණාත්මක තරගය ලකුණු 29-00ක් ලෙස ජය ගත්තේ සාන්ත තෝමස් කණ්ඩායමයි.

Group C

තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත්වූ කොළඹ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සහ ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 07-05ක් සහ 17-12ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

එම කාණ්ඩයේ අනෙක් තරගයෙන් ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 22-14ක් ලෙස පරදවා බඳුන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වූ අතර ඉසිපතන ක්‍රීඩකයින් පලිහ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

Group D

වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහිව නිතරගයෙන් ජයග්‍රහණ ලබා ගැනීමෙන් පසුව පැවති තීරණාත්මක තරගයේ දී විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් ලකුණු 24-00ක් ලෙස පැරද වූ සාන්ත පීතරයින් එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

පලිහ අවසන් පූර්ව තරග

තර්ස්ටන් විද්‍යාලය විසින් ආනන්ද ක්‍රීඩකයින් ලකුණු 38-05ක් ලෙස පරාජයට පත් කරමින් පලිහ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

බඳුන අවසන් පූර්ව තරග

බඳුන අවසන් පූර්ව වටයේ දී සහිරා විද්‍යාලය ලකුණු 26-05ක් සහ සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 17-12ක් ලෙස පරාජය කළ වෙස්ලි ක්‍රීඩකයින් සහ විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් එහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

කුසලාන/ පළඟ අවසන් පූර්ව තරග

පළමු අවසන් පූර්ව වටයේ දී රාජකීය විද්‍යාල ක්‍රීඩකයින්ට එරෙහිව ඕ. ඒ. හෙට්ටිආරච්චි ලබා ගත් උත්සාහක දිනුමත් සමඟ පළමු අර්ධයේ දී 21-00ක් ලෙස පෙරමුණ ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

දෙවැනි අර්ධයේ දී රාජකීය ක්‍රීඩකයින් දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත්, තරගය 21-12ක් ලෙස තෝමස් ක්‍රීඩකයින්ට ජය ගෙන දෙමින් අවසන් වුනා.

දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමු අර්ධයේ දී ලකුණු 19-00ක් ලෙස පෙරමුණ ගත්තේ සාන්ත පීතර ක්‍රීඩකයිනුයි. දෙවැනි අර්ධයේ දී ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් හොඳ නැවත පැමිණීමක් පෙන්නුම් කළත්, උත්සාහක දිනුමක් ලබා ගැනීමේ දී සිදු වූ වරදක් නිසාවෙන් තරගය අවසන් වුනේ 19-12ක් ලෙස සාන්ත පීතර ක්‍රීඩකයින්ට ජය ගෙන දෙමිනුයි.

පලිහ අවසන් තරගය

තර්ස්ටන් ක්‍රීඩකයින් 36-00ක් ලෙස ඉතා පහසුවෙන් පරාජයට පත් කරමින් පලිහ අවසන් තරගය ජය ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින්ට හැකි වුනා.

බඳුන අවසන් තරගය

ආරම්භයේ සිටම ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ වෙස්ලි ක්‍රීඩකයින් පළමු අර්ධය ලකුණු 7-0ක් ලෙස පෙරමුණ ගනිමින් අවසන් කළා.

දෙවැනි අර්ධයේ දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් ලකුණු ඉහළ නංවා ගැනීමට වෙස්ලි ක්‍රීඩකයින් සමත් වෙද්දී, විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින්ට ලබා ගත හැකි වුනේ ලකුණු 07ක් පමණයි.

ඒ නිසා ලකුණු 19-07ක් ලෙස මෙම තරගයේ ජය හිමි වුනේ වෙස්ලි ක්‍රීඩකයින්ටයි.

පලඟ අවසන් තරගය

තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම වූ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් ප්‍රබල රාජකීයයන් අසරණ කරමින් පළමු අර්ධයේම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී රාජකීය ක්‍රීඩකයින් එක් උත්සහ දිනුමක් වාර්තා කිරීමට සමත්වූවත් එම අර්ධයේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ සේනානායක ක්‍රීඩකයින් ලකුණු 21-05ක් ලෙස තරගය ජය ගත්තා.

කුසලාන අවසන් තරගය

මෙම තීරණාත්මක තරගයේ දී පළමුවෙන් ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් ක්‍රීඩක එස්. පෙරේරා පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර පළමු අර්ධයේ අවසන් භාගයේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් වන කුශාන් තරිඳු සහ ටී. රණසිංහ වාර්තා කළ උත්සාහක දිනුම් නිසා එම අර්ධයේ පෙරමුණ සාන්ත පීතර ක්‍රීඩකයින්ට හිමි වුනා.

පළමු අර්ධය – සාන්ත තෝමස් විද්‍යාලය 12 (2T, 1C) – 14 (2T, 2C) සාන්ත පීතර විද්‍යාලය

තියුණු පළමු අර්ධයකින් පසු දෙවැනි අර්ධයේ ක්‍රියාත්මක වූ සාන්ත පීතර නායක ඉශාන් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් වූ අතර එම අර්ධයේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළත්, එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසා Dialog පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ බස්නාහිර පළාත් A කාණ්ඩයේ ශූරතාවය සාන්ත පීතර ක්‍රීඩකයින්ට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය – සාන්‍ත තෝමස් විද්‍යාලය 17 (3T, 1C) – 19 (3T, 2C) සාන්ත පීතර විද්‍යාලය

තරගාවලියේ වීරයා – මහිත් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය)

තරගාවලියේ තවත් පළාත් තරගාවලිය 4ක් 28 වැනිදා සිට 31 වැනිදා දක්වා දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<