ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියට ආයුබෝවන් කියන සුපිරි තරු

527

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය (14) එංගලන්තයේ ලෝර්ඩ්ස් පිටියේ දී නිමා වූයේ එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කරමිනි. එම ලෝක කුසලාන තරගාවලියත් සමඟින් ක්‍රිකට් ලොව සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණ කර තිබුණි. 

සිත් බිඳුණු නවසීලන්තය හඬ අවදි කරයි!

ලෝක කුසලාන පරාජය නිසා හදවත් බිඳුණු නවසීලන්ත ජාතිකයින් ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ…

ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)

මේ වන විට වයස අවුරුදු 35ක් වන මාලිංග ලොව එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම වේගපන්දු යවන්නන්ගෙන් අයෙකි. 2007 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 4ක් සඳහා ක්‍රීඩා කර තිබෙන මාලිංග මුළු ලෝකයාගේම වැඩි අවධානය දිනා ගත්තේ සාමාන්‍ය පන්දු යවන්නෙකුට වඩා වෙනස් ඉරියව්වක් සහිතව පන්දු යැවීම නිසාවෙනි. 

එසේම සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේ දී පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට මාලිංග සමත් විය. 

ඔහු සිය ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය තුල තරග 29කට සහභාගී වී කඩුලු 56ක් දවාගෙන තිබෙන්නේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 22.87ක් වැනි හොඳ මට්ටමක රඳවා ගෙනයි. ඒ අතරට කඩුලු 4ට වඩා වැඩි අවස්ථාවන් 2ක් ඇතුළත්ය. එසේම දැනට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින කඩුලු ත්‍රිත්වයන් තුනක් සඳහා හිමිකම් කියන ලොව පළමු සහ එකම පන්දු යවන්නා වන්නේ ද මාලිංගයි. 

ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ මේ දැවැන්ත ක්‍රිකට් තරුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කොදෙව් සංචිතය නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි. 

නමුත් ඔහුට මේ තරගාවලියේ දී එතරම් සාර්ථක මට්ටමකට පැමිණීමට නොහැකි වුවත් 2003 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 5ක දී තරග 35ක් ක්‍රීඩා කිරීමට ගේල්  වරම් දිනාගෙන තිබේ. එහි දී ඔහු විසින් ලකුණු 1186ක් රැස්කරගෙන තිබෙන්නේ 35.93ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන වන අතර ඒ අතරට ශතක 2ක් හා අර්ධ ශතක 6ක් ඇතුලත්ය.

ඔහුගේ ලෝක කුසලාන ක්‍රිකට් දිවිය තුල මෙන්ම සිය පුද්ගලික ක්‍රිකට් දිවිය තුල සිදු වූ කිසිදාක අමතක නොවන සිදුවීමක් ලෙස 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 215 සැලකිය හැකිය. ඔහුට ඒ සඳහා වැය වූයේ පන්දු 147ක් පමණි. 

ධර්මසේනට හා එරැස්මස්ට අවසන් තරගයේ දී වැරදුණා ද?

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කිසිවෙකු නොසිතූ විරූ අවසානයකට ළඟා වූයේ…

මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව)

“කැප්ටන් කූල්” ලෙස ඔබ අප කොයි කවුරුත් හඳුනන මහේන්ද්‍ර සිං දෝනි 2007 වසරේ දී පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් බිමට පිවිසුණු අතර ඔහු තවමත් නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම සිදු කළ නොමැත. 

දෝනිට තවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට තිබෙන හැකියාව ඉතාමත් අවමය. මේ වන විට වයස අවුරුදු 38ක් වන දෝනි 2011 වසරේ ලෝක ශූරතාවය දිනා ගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වේ. 

ලෝක කුසලාන ක්‍රිකට් තරග 20ක් සඳහා ක්‍රීඩා කර තිබෙන දෝනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 42.25ක රඳවා ගෙන ලකුණු 507ක් රැස්කරගෙන තිබෙන අතර ඒ අතරට අර්ධ ශතක 3ක් ඇතුළත්ය. එසේම කඩුලු රකින්නෙක් ලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරග තුල දී ස්ටම්ප්ස් කිරීම් 5ක්ද සිදු කිරීමට දෝනි සමත්ව ඇත. 

ජේ. පී. ඩුමිනි (දකුණු අප්‍රිකාව)

මෑත කාලය තුල දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජේ. පී. ඩුමිනි වයස අවුරුදු 36ක් වන ක්‍රීඩකයෙකි. 2011 වසරේ දී සිය මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ ඩුමිනි මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ක්‍රිකට් තරග 199කට සහභාගී වී තිබෙන අතර ඉන් තරග 18ක් ලෝක කුසලාන ක්‍රිකට් තරග වේ. එම තරග 18 තුල 35.23 ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු 458ක් රැස්කරගෙන තිබෙන ඩුමිනි පන්දු යැවීමෙන් කඩුලු 9 දවාගෙන තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ දී මංගල එක්දින තරග ක්‍රීඩා කළ ඩුමිනි, දකුණු අප්‍රිකාව වෙනුවෙන් එම තරග රටාවේ වැඩිම ලකුණුලාභීන් දස දෙනා අතරට ඔහුගේ නාමය ද ඇතුළත් කර ගැනීමට සමත් වී තිබෙන්නේ ලකුණු 5117කින් සිය ගිණුම තර කරගනිමිනි. 

ශොයිබ් මලික් (පාකිස්තානය)

ශොයිබ් මලික් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 287ක් සඳහා ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නමුත් 2007 සිට මේ දක්වා ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරග 6ක් පමණි. 

එහි දී ඔහු විසින් ලකුණු 100ක් ලබාගෙන තිබෙන අතර එයට එක් අර්ධ ශතකයක් ද ඇතුළත් වේ. ශොයිබ් මලික් එක්දින ජාත්‍යන්තර තරග 287ක දී ලකුණු 7534ක් වාර්තා කරගෙන ඇති අතර ඊට ශතක 9ක් සහ අර්ධ ශතක 47ක් ඇතුළත් වෙයි. එක්දින තරගවල දී ඔහු කඩුලු 158ක් බිඳ හෙළා ඇත. 

සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ අදහස් පළ කරමින් ශොයිබ් මලික් පවසා ඇත්තේ මෙම තීරණය මීට වසර කිහිපයකට පෙර ගත් තීරණයක් බවයි. කෙසේ වෙතත් තමන් විස්සයි විස්ස  තරග සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන ඔහු පවසා ඇත.

>>තරගාවලිය අරඹමින් මහනුවර චමිඳුගෙන් විශිෂ්ට ඉනිමක්

ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකානු අකුණු සැරය, අතිදක්ෂ ලොව නම් දැරූ පිතිකරුවන් පවා තම වේගපන්දුව ඉදිරියේ දණගැස්වූ ඩේල් ස්ටේන් එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නන්ගේ නාමාවලියේ ඉහළින්ම රැඳෙන දකුණු අප්‍රිකාව සතු ප්‍රබල අවියකි.

ස්ටේන්ගේ ක්‍රීඩා ජීවිතය ආරම්භයේ දී ඔහුව නවතාලීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබුණු නමුත් පසුගිය වසර දෙකක කාලසීමාව තුල දී නිතරම ආබාධයන්ට ගොදුරු වීම නිසාවෙන් අවාසනාවන්ත ලෙස ජාත්‍යන්තර තරග බිමෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු විය. 

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ඔහුට ලැබුණු නමුත් උරහිසේ ඇතිවූ ආබාධයක් නිසා මෙවර තරගාවලියේ එකඳු තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ හැකියාව ඔහුට ලැබුණේ නැත.

2011 වසරේ දී සිය මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ ස්ටේන් මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ක්‍රිකට් තරග 125කට සහභාගී වී තිබෙන අතර ඉන් තරග 14ක් ලෝක කුසලාන ක්‍රිකට් තරග වේ. එම තරග14 තුල 23.39 කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන කඩුලු 23ක් දවා ගැනීමට ස්ටේන් සමත් වී ඇත.

හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ මේ දැවැන්ත ක්‍රිකට් තරුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු සංචිතය නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙක් බවට පත්විය. 

නමුත් ඔහුට මේ තරගාවලියේ දී එතරම් සාර්ථක මට්ටමකට පැමිණීමට නොහැකි වුවත් 2011 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 3ක දී තරග 22ක් ක්‍රීඩා කිරීමට 31 හැවිරිදි අම්ලා වරම් දිනාගෙන තිබේ. එහි දී ඔහු විසින් ලකුණු 842ක් රැස්කරගෙන තිබෙන්නේ 42.10ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන වන අතර ඒ අතරට ශතක 2ක් හා අර්ධ ශතක 5ක් ඇතුළත්ය.

ඔහුගේ ලෝක කුසලාන ක්‍රිකට් දිවිය තුල මෙන්ම සිය පුද්ගලික ක්‍රිකට් දිවිය තුල සිදු වූ කිසිදාක අමතක නොවන සිදුවීමක් ලෙස 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 159 සැලකිය හැකි වන්නේ එය තවමත් ඔහුගේ ක්‍රිකට් දිවියේ වාර්තා වී තිබෙන වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය වන නිසයි.

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ එක්දින සංචිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු…

ඉම්රාන් තාහීර් (දකුණු අප්‍රිකාව)

මොහුගේ නම ඇසූ සැණින් ඔබගේ මතකයට එන්නේ කඩුල්ලක් දවා ගත් විගස ක්‍රීඩාගාරය ආසන්නයටම හීසැරයක් මෙන් දිවගොස් රඟ දක්වන අපූර්ව සැමරුම් නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. නිතරම කඩුලු පිපාසාවෙන් යුතුව තරග බිමට පිවිසෙන තාහීර් ලොව පුරා සිටින දක්ෂ පිතිකරුවන් හට පවා හිසරදයක් වී ඇති තර්ජනාත්මක පා දඟපන්දු යවන්නෙකි.

කෙසේ නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින තරගවලට ආයුබෝවන් කියන්නට අපේක්ෂාවෙන් පසුවන තාහීර් ඉදිරියේ දී විස්සයි විස්ස තරග පමණක් ක්‍රීඩා කරමින් තම සේවය ජාතික කණ්ඩායම වෙත අඛණ්ඩව ලබා දෙනු ඇත. 

මෑත කාලයේ දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සාර්ථකම සීමිත පන්දුවාර පන්දු යවන්නා ලෙසින් නම් දරා සිටින තාහීර් කඩුලු 173ක් දවා ගනිමින් ලෝකය ඉදිරියේ සිය ක්‍රීඩා කෞශල්‍යය මැනවින් විදහා දැක්වීමට සමත් වී තිබේ. 

2011 වසරේ දී සිය මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ තාහීර් මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ක්‍රිකට් තරග 107කට සහභාගී වී තිබෙන අතර ඉන් තරග 22ක් ලෝක කුසලාන ක්‍රිකට් තරග වේ. එම තරග 22 තුල 21.17 කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන කඩුලු 40ක් තාහීර් විසින් දවාගෙන ඇත.

මෙලෙස දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අමතරව මෂ්රෆි මෝර්ටාසා (බංග්ලාදේශය), ශෝන් මාෂ් (ඕස්ට්‍රේලියාව), දිනේෂ් කාර්තික් (ඉන්දියාව), හමීඩ් හසන් (ඇෆ්ගනිස්ථානය) යන ක්‍රීඩකයින්ගේ ද අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙය බවට පත්වීමට වැඩි ඉඩක් ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<