ධර්මසේනට හා එරැස්මස්ට අවසන් තරගයේ දී වැරදුණා ද?

1425

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කිසිවෙකු නොසිතූ විරූ අවසානයකට ළඟා වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල වන එංගලන්ත ලෝඩ්ස් පිටිය ගිනියම් කරමින්. 

නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාව සම වීම නිසා සුපිරි පන්දුවාරයක් කරා තරගය ඇදී සිය අතර සුපිරි පන්දුවාරය ද ලකුණු සම වූයේ නවසීලන්තය හඬවමින් එංගලන්තයට වැඩිම හතරේ හා හයේ පහර ගණන මත සිය කුළුඳුල් ලෝක කුසලානය හිමි කර දෙමින්. 

කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දුවාරයේ දී සිදු වුණු සුවිශේෂ සිදු වීමක් පිළිබඳව හිටපු ICC අංක එකේ විනිසුරුවරයෙකු වන සයිමන් ටෝෆල් ද අදහස් දක්වා තිබුණේ විනිසුරුවන්ට වැරදීමක් සිදු වූ බව පවසමින්.  

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) නිමාවට පත් වූ 12….

අවසන් පන්දුවාරයේ දී මාටින් ගප්ටිල්ගේ පන්දුව රැකගෙන පන්දුව කඩුල්ල වෙත යොමු කළ අතර පන්දුව නොසිතූ ලෙස එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී ගියේ එංගලන්තයට වාසනාවන්ත ලකුණු හයක් හිමි කරමින්. කෙසේ වෙතත් මෙම ලකුණු හය පිළිබඳව පෙරළිකාර අදහසක් සයිමන් ටෝෆල් අද පළ කර තිබුණු අතර කෙසේ වෙතත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණේ එම සිදුවීම තරගයේ තීරණාත්මකම ස්ථානය ලෙස පැවසීම එතරම් නිවැරදි නොවනු ඇති බවයි.

එම සිදුවීමෙන් පසුව පිටියේ ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන විසින් ලකුණු හයක් සිය ඇඟිලිවලින් සංඥා කළ අතර තරගයේ වීරයා වූ ස්ටොක්ස් අවසන් පන්දු දෙකට පන්දුවාර පහර දීමේ අවස්ථාව ද ලබා ගත්තේ ජයග්‍රහණය සඳහා ලකුණු තුනක් අවශ්‍යව තිබූ මොහොතකයි.

කෙසේ වෙතත් පස් වතාවක් වසරේ ICC විනිසුරු ලෙස සම්මානය දිනා ගැනීමට සමත් වූ සයිමන් ටෝෆල් පවසා සිටින්නේ එංගලන්තයට ලකුණු හයක් වෙනුවට ලකුණු පහක් ලබා දිය යුතුව තිබූ බවයි. එමෙන්ම තරගයේ අවසන් පන්දු දෙකට බෙන් ස්ටොක්ස් වෙනුවට අදිල් රෂිඩ් පන්දුවට පහර දෙන අන්තයේ සිටිය යුතු බවත් ඔහු පවසා සිටිනවා.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ ක්‍රිකට් නීති සකසන මාලිබෝන් ක්‍රීඩා සමාජයේ වෙබ් අඩවියක් ද උපයෝගී කර ගනිමින් වීම විශේෂත්වයක්. 

ටෝෆල්ගේ පැහැදිලි කිරීමට අනුව එංගලන්තයට අවසන් පන්දු දෙකට ලකුණු හතරක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන අතර පන්දුවට පහර දෙන අන්තයේ ස්ටොක්ස් වෙනුවට සිටින්නේ අදිල් රෂිඩ්.

එම සිදුවීමට පසුව ධර්මසේන හා මරායස් එරැස්මස් එංගලන්තය ඉනිමට ලකුණු හයක් එකතු කළ අතර පන්දුව හතරේ සීමාව ඉක්මව යෑමට පෙර පිතිකරුවන් ලකුණු දෙක සම්පූර්ණ කළ බව පියවි ඇහැට දක්නට ලැබුණි.  

ඔවුන් එම ලකුණු හය ලබා දුන්නේ ICC නීති පොතේ 19.8 වනා වගන්තියට අනුව ය. එහි සඳහන් වන්නේ “පන්දුව රැක දමා ගැසීමක දී හෝ ඒ ආසන්න සිදු වීමක දී පන්දුව හතරේ සීමාව ඉක්මවා ගියේ නම් ඔවුන් කඩුලු අතර සම්පූර්ණ කර ඇති ලකුණු සහ පිතිකරුවන් අන්ත අතර මාරු වී ඇති නම් (Cross) ඔවුන් ඒ වන විට සම්පූර්ණ කරමින් සිටින ලකුණත් හිමි විය යුතුයි.” යන්නයි.

“පන්දුව රැකගෙන දමා ගැසීම හෝ ඒ ආසන්න සිදුවීම” ආකාර දෙකකට මෙම අවස්ථාවේ දී අර්ථකථනය කළ හැක. ඒ ගප්ටිල් පන්දුව රැකගෙන දමා ගැසූ අවස්ථාව නම් ඒ අවස්ථාවේ දී පිතිකරුවන් දෙවන ලකුණ සඳහා පැති මාරු කරගෙන නොසිටි අතර එංගලන්තයට හිමි විය යුත්තේ ලකුණු පහක් පමණි. නමුත් ඒ, ගප්ටිල් පන්දුව රැකගෙන දමා ගසද්දී බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදුණු අවස්ථාව ලෙස සලකන්නේ නම් ඒ වන විට පිතිකරුවන් පැති මාරු කරගෙන සිටි අතර එංගලන්තයට ලකුණු හයක් ලබා දීමේ විනිසුරු තීරණය නිවැරදිය.

නමුත් MCC’s Laws of Cricket වෙබ් අඩවියේ පවතින සටහනක මෙම 19 වැනි නීතියේ වගන්තියක දැක්වෙන්නේ එවැනි අවස්ථාවක දී පන්දුව දමා ගසන මොහොතට පෙර  සම්පුර්ණ කර ඇති ලකුණු ගණන හා පැති මාරු කරගෙන ඇති නම් ඒ ලකුණ ද හතරේ පහර සමඟ එකතු වන බවයි. පන්දුව දමා ගසන මොහොතේ නම් ඉහත කී පළමු අවස්ථාව නිවැරදිය.

මෙම කරුණ අනුව එංගලන්තයට හිමි විය යුත්තේ හතරේ පහරත් සමඟ තවත් එක ලකුණක් පමණි. ඒ ගප්ටිල් පන්දුව විසි කරන අවස්ථාව වන විට පිතිකරුවන් අන්ත හුවමාරු කරගෙන නොසිටි හෙයින්.

ඊට අමතරව එම MCC වෙබ් අඩවියේ සඳහන් වන්නේ “විනිසුරුවන් නිවැරදි පිතිකරුවා නිවැරදි අන්තයේ සිටින බව තහවුරු කළ යුතු බවයි.”

මේ අනුව ලකුණු හයක් හිමි කර දී විනිසුරුවන් බෙන් ස්ටොක්ස්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම නිවැරදි වුනත් ලකුණු පහක් ලබා දුන්නේ නම් ටෝෆල් පවසන ආකාරයට පන්දුවට පහර දිය යුත්තේ අනෙක් පිතිකරුවායි. 

cricket.com.au, ඕස්ට්‍රේලියානු නිල ක්‍රිකට් වෙබ් අඩවිය මේ පිළිබඳ MCCයෙන් හා ICCයෙන් විමසා සිටි නමුත් ඔවුන් තවමත් නිල ප්‍රතිචාරයක් දක්වා නොතිබීම විශේෂත්වයක්. 

ටෝෆල් විසින් විනිසුරුවන්ට වැරදීමක් සිදු වූවා යැයි පවසන අතරම ඔහු විනිසුරුවන්ට සහය වෙමින් ද පවසා සිටින්නේ ඒ මොහොතේ තිබූ අධික පීඩනය නිසා එවැනි යමක් සිදු විය හැකි බවයි. 

“එංගලන්තයට ලබා දිය යුත්තේ ලකුණු පහයි. හයක් නොවෙයි. එය වැරැද්දක්. තීරණ ගැනීමේ දී සිදු වූ අතපසුවීමක්.” ටෝෆල් foxsports.com.au වෙත පවසා තිබුණා. 

“ඒ මොහොත ඉතා උණුසුම්, ඒ පීඩනය නිසාම විනිසුරුවන් සිතුවා පන්දුව යොමු වන මොහොතේ දී පිතිකරුවන් අන්ත මාරු කරගෙන සිටියා කියලා.”

 “නමුත් රූපවාහිනි දර්ශණවල පෙනෙන්නේ එහෙම නොවෙයි.”

කෙසේ වෙතත් සාම්ප්‍රදායිකව පන්දු රකින්නාගේ පන්දුව යොමු කිරීමක් පිතිකරුවාගේ හෝ පිත්තේ වැදුණු විට පිතිකරුවන් නැවත ලකුණු කරා දිව යන්නේ නැහැ. මෙම අවස්ථාවන් හිදී බලපවත්වන විශේෂ නීතියක් නොමැති අතර විනිසුරුට සිදුවන්නේ පන්දුව පිටියෙන් ඉවත ගිය පසුව ලකුණු හතරක් ලබා දීමටයි. මෙහිදී සිදු වූයේත් එවැනිම සිදුවීමක්.

ICC විසින් 2019 ලෝක කුසලානයේ සංචිතය නිකුත් කරයි

සත්කාරක එංගලන්තයට ලෝක ශූරතාවයත්, නවසීලන්තයට එහි….

නවසිලන්ත නායකයා ද මේ පිළිබඳ අදහස් දක්වා සිටියා.

“එය තරමක ලැජ්ජාවක්. සිදුවිය නොයුතු යමක්.” විලියම්සන් පවසා සිටියා. “ඔබ බලාපොරොත්තු වෙන්නේ එවැනි සිදු වීමක් මෙවැනි මොහොතක සිදු නොවිය යුතුයි කියා.  ඇතැම් වෙලාවකට මෙම ලෝක කුසලානය අපිට හිමි නොවීමට තිබෙන්න ඇති.”

 “මම හිතන්නේ නැහැ මෙවැනි සිදුවීමක් මීට කලින් සිදු වෙලා ඇති කියලා.”

 “ක්‍රීඩාව පිළිබඳ පොඩි පොඩි දේවල් ගොඩක් තිබෙනවා අපි නොසිතුවාට ක්‍රීඩාවට ඉතා වැදගත්.”

ස්ටොක්ස් එම සිදුවීම වූ වහාම සිය දෑත් ඔසවා නවසීලන්තයෙන් සමව ඉල්ලා සිටි නමුත් පැහැදිළිව පෙනුනේ ඔහුට පන්දුව යන මාර්ගය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් නොතිබූ බවයි.

 “මම මගේ ජිවිත කාලය පුරාවට කේන්ගෙන් සමාව ඉල්ලනවා. මේ දෙය අපිට මෙහෙම වෙන්න කියලා තරු වල ලියලා තිබුණා වෙන්න පුළුවන්.” ස්ටොක්ස් පවසා සිටියා.

AAP හා cricket.com.au ඇසුරින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<