සිත් බිඳුණු නවසීලන්තය හඬ අවදි කරයි!

1208

ලෝක කුසලාන පරාජය නිසා හදවත් බිඳුණු නවසීලන්ත ජාතිකයින් ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සටන්කාමී ක්‍රීඩා විලාසය අගය කරමින් ඔවුන්ට ප්‍රශංසා කර තිබුණු අතරම ඔවුන්ගෙන් තරගය උදුරා ගත් අසාධාරණ නීතිරීති පිළිබඳව සිය කනස්සල්ල ද පළ කර තිබුණා.

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) නිමාවට පත් වූ 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී, නවසීලන්තය පරාජය…

තරගයේ නියමිත පන්දුවාර ගණන හා සුපිරි පන්දුවාරය යන අවස්ථා දෙකෙහි දී ම තරගයේ ලකුණු සම වුනත් එංගලන්තය, නවසීලන්තයට වඩා වැඩියෙන් හයේ හා හතරේ පහර ප්‍රමාණයක් රැස් කරගෙන සිටි නිසා තරගයේ ජය එංගලන්තයට හිමි විය.

අඛණ්ඩව දෙවන අවසන් මහා තරගයත් පරාජය වූ නවසීලන්ත කණ්ඩායමට නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරිය වන Jacinda Ardern සිය සහයෝගය පළ කර තිබුණේ කණ්ඩායමේ ක්‍රීඩා විලාසයට ප්‍රශංසා ද කරමින්. 

“එය අතිවිශිෂ්ට තරගයක්. මම හිතනවා සුපිරි පන්දුවාරය තුළ අපි ජාතියක් විදියට වසරකින් පමණ වයසට ගියා.” ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබුණා.

“එංගලන්තයට මගේ සුබ පැතුම් සහ මගේ කණ්ඩායම වෙනුවෙන් මට ඇත්තේ අභිමානයක්. ඔවුන් කෙතරම් විශිෂ්ට කණ්ඩායමක් ද!”

කෙසේ වෙතත් නවසීලන්ත ක්‍රීඩා අමාත්‍යවරයා ලකුණු සම වූ තරගයේ ජය එංගලන්තයට හිමි වූ ආකාරය පිළිබඳ පළ කර තිබුණේ විවේචනාත්මක අදහසක්.

“අතිවිශිෂ්ට තරගයක්. නමුත් සුපිරි පන්දුවාරය හරිම අවසානය විය නොහැකියි.” ඔහු ට්විටර් පණිවිඩයක් ඔස්සේ සටහන් කර තිබුණා. 

“කෙසේ වෙතත් නවසීලන්ත වැසියනි, ඔබට ඔබේ කණ්ඩායම පිළිබඳව ආඩම්බර විය හැකියි.”

හිටපු නවසිලන්ත ප්‍රබල ක්‍රීඩකයෙකු වන ස්කොට් ස්ටයිරිස් ICCයේ මේ නීතිය විහිළුවක් බව සඳහන් කර තිබුණේ කණ්ඩායම් දෙකටම ලබා දුන් විශිෂ්ට තරගයට ශුභාශිංසන එකතු කරමින්.

ICC විසින් 2019 ලෝක කුසලානයේ සංචිතය නිකුත් කරයි

සත්කාරක එංගලන්තයට ලෝක ශූරතාවයත්, නවසීලන්තයට එහි අනුශූරතාවයත් හිමිකර දෙමින් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14)…

හිටපු නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින් එක් වචනයකින් අදහස් සමුදායක් පළ කර තිබුණේ “කුරිරුයි” යැයි සටහන් කරමින්. ඔවුන් පමණක් නොව එංගලන්තය වෙනුවෙන් තරගය ජයග්‍රහණය කර වූ උපතින් නවසීලන්ත ජාතිකයෙකු වන බෙන් ස්ටොක්ස්ගේ නවසීලන්ත ජාතික පියා ද නවසීලන්තය අවාසනාවන්ත වූ බව පවසා තිබුණා. 

නවසීලන්තය වෙනුවෙන් රග්බි ක්‍රීඩකයෙකු ලෙස ද ක්‍රීඩා කර ඇති ජෙරාඩ් ස්ටොක්ස් පවසා සිටියේ ජයග්‍රහණයේ ගෞරවය කණ්ඩායම් දෙකටම හිමි වන බවයි. 

“පරාජිතයෙකු සිටීම හරිම කණගාටුදායකයි” ඔහු New Zealand Herald පුවත් පතට පවසා තිබුණා. 

“ඔවුන්ට කුසලානය සමසේ බෙදා දෙන්න තිබුණා. නමුත් දැන් ක්‍රීඩාවේ කටයුතු වෙන්නේ එසේ නොවෙයි.”

stuff.co.nz වෙබ් අඩවියේ කතෘ සටහනක මෙසේ දැක්වුණා. “එංගලන්තය ලෝක කුසලානය ජයගත්තේත් නැහැ නවසීලන්තය ලෝක කුසලානය පරාජය වුණේත් නැහැ.”

“නමුත් තරගාවලියට ජයග්‍රාහකයෙකු ඉන්න ඕන. කෙසේ වෙතත් අවසානයේ දී, ලොව මෙතෙක් ක්‍රීඩා කළ උණුසුම්ම එක්දින තරගය අවසානයේ දී ජයග්‍රහණය නූලෙන් එක් කණ්ඩායමකට පිරිනැමුණා.”

හිටපු නවසීලන්ත නායක ඩැනියෙල් විටෝරි පවසා තිබුණේ ජයග්‍රහණය හයේ හතරේ පහර මත තීරණය වීම අවාසනාවන්ත කරුණක් වූ බවයි. 

තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා තිබුණේ පන්දු රකින්නාගේ පන්දු විසි කිරීම ස්ටොක්ස්ගේ පිත්තේ වැදී පන්දුව හතරේ සීමාව ඉක්මවා යාම, බෝල්ට්ගේ උඩ පන්දු රැකීම හයේ පහරක් බවට පත් වීම වැනි තරගය වෙනස් වූ අවස්ථා කිහිපයක් තිබුණු බවයි.

“කුඩා කුඩා දේවල් රාශියක් නිසා මෙම තරගය සෑමදාම මතකයේ රැඳෙවී, නමුත් එම අවස්ථා සියල්ල නවසීලන්තයට එරෙහිවයි සිදු වුනේ” විටෝරි ESPN Cricinfo හමුවේ පවසා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<