“ඇඹුල්දෙණියට ලැබෙන්න ඕනේ සහයෝගය ලැබුනේ නැහැ” – David Sakar

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය 2021

309

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ලෙස අද (15) දිනය නිමා වූයේ එංගලන්තයට තරගයේ වැඩි ගෞරව හිමිකර දෙමිනි

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වෙහෙසකාරී දිනයක් වූ අද (15) දිනයේ දී ඔවුන් දවා ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී කඩුලු දෙකක් පමණි. දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන ගාල්ල තණතීරුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්විය හැකිද? මේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු David Sakar පිළිබඳව දැක්වූ අදහස්

මේ ගතවුන දවස් දෙක ගත්තම අපේ කණ්ඩායමට අමාරු දවස් දෙකක් වුනා. අපි තරගයේ ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. අපිට දැන් කරන්න පුළුවන් හොඳම දේ හෙට උදේ තරගය නැවුම්ව ආරම්භ කරන එක. එංගලන්තය මේ දවස් දෙකේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා.” 

අපිට කරන්න තියෙන එකම දේ, මේ කඩුලු 6 ඉක්මණින් දවා ගෙන ශක්තිමත් ඉනිමක් ගොඩනගන්න අපේ පිතිකරුවන්ට අවස්ථාවක් ලබා දෙන එක. සමහර විට හතරෙවෙනි හෝ පස්වන දවස වෙද්දී අපිට එංගලන්ත කණ්ඩායමට ඉස්සරහින් ඉන්න අවස්ථාවක් තියේවි.” 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ දිල්රුවන් පෙරේරා මෙම ඉනිමේ දස්කම් දැක්වීමට සමත් වූයේ නැත. පිළිබඳව David Sakar දැක්වූයේ මෙවන් අදහසක්

ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීම අද හොඳම මට්ටමක තිබුනේ නැහැ. එංගලන්තය අපිට ලොකු පීඩනයක් එල්ල කළා. අපි ගත්තොත් Joe Rootව, ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. වගේම මංගල තරගයට ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයත් හොඳින් ක්‍රීඩා කළා. අද දවසේ අපිට අපේ හැකියාවන් නිවැරැදි ලෙස යොදාගන්න බැරිවුනා.” 

ඇඹුල්දෙණිය ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඒත් ඔහුට අනෙක් අන්තයෙන් ලැබෙන්න ඕනේ සහයෝගය ලැබුනේ නැහැ. අපි සාකච්ඡා කළා පන්දු යවන්නන් දෙදෙනා බැගින් දීර්ඝ පන්දුවාර ක්‍රියාත්මක කරන්න.” 

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ එංගලන්ත නායක Joe Root නොදැවී ලකුණු 168ක් රැස්කර ගැනීමට සමත්ව සිටී

“Joe Root කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහුට ඉතාමත් හොඳ සැලසුමක් තිබුනා. ඔහු පන්දු යවන්නන් හොඳින් අඳුරගෙන තිබුනා. විශේෂයෙන් දඟපන්දු යවන්නන් හමුවේ ඔහු දක්ෂ තාක්ෂණික ක්‍රම එක්ක පන්දුවට පහර දුන්නා. ඔහු පිටියේ ස්ථාවර වීමත් එක්ක පන්දු යවන්නන්ට ලොකු පීඩනයක් එල්ල වුනා.” 

ඔහු crease එකෙන් පිටිපස්සේ ඉඳන් තමයි පන්දුවට පහර දුන්නේ. පන්දු යවන්නන් ඒක අඳුරගෙන පන්දු යවද්දී ඔහු ඉස්සරහට ඇවිල්ලා ක්‍රීඩා කළා. වගේම sweep පහර ඉතාමත් හොඳින් එල්ල කළා. ඔහුට එක තැනක පන්දු යවන එක තරමක අමාරු දෙයක්. මොකද ඔහු ඔහුගේ තැන වෙනස් කරලා පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරනවා. ඔහු එක්ක සටන් කරන්න අපේ පන්දු යවන්නන් සමත් වුනේ නැහැ.”  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ විශ්ව ප්‍රනාන්දු මෙම තරගයට එක්කර නොතිබූ අතර අසිත ප්‍රනාන්දු තරගයට එක්කර තිබීම බොහෝදෙනාගේ අවධානයට යොමුව තිබිනි

තීරණය ගන්න හේතු කිහිපයක් තිබුනා. අපි හිතුවා අසිත ප්‍රනාන්දුට එක දිගට කඩුල්ලටම පන්දු යවන්න හැකියාවක් තියෙනවා කියලා. වගේම reverse swing පන්දු යොදා ගන්නත් හැකියාවක් තියේවි කියලා අපි හිතුවා. වගේම අසිත ප්‍රනාන්දු, විශ්වට වඩා වේගයෙන් පන්දු යවනවා. නිසා අපි ඔහුව තරගයට එක්කළා.” 

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් Daniel Lawrence මෙම තරගයේ දී සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ලකුණු 73ක් රැස්කර ගනිමිනි

ඔහු පිටියට ආවම අපි ඔහුට එල්ල කළ මුල් පන්දු 10 ඉතාමත් දුර්වල පන්දු. පළමු තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ට අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් පීඩනයක් එල්ල කරන්න. ඒක අපිට කරන්න බැරි වුනා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටක පළමු තරගය ක්‍රීඩා කරද්දී දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන්න වෙන එක ඉතාමත් අමාරු දෙයක්.” 

අයහපත් කාළගුණය හේතුවෙන් දෙවන දිනයට තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 320ක් රැස්කර ගෙන සිටින අතර Joe Root සහ Jos Buttler නොදැවුනු ක්‍රීඩකයන් ලෙස පිටියේ රැඳී සිටියි. හෙට තරගයේ තුන්වන දිනය යි

කිසිඳු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකාඑංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<