විස්සයි විස්ස පිටියේ අපේ ප්‍රතිවාදීන්

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

169

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 10ක් කාණ්ඩ 2ක් යටතේ තරග වදින මෙම තරගාවලියේ දී මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියට එක් වන්නේ A කාණ්ඩයෙන්.

ලෝක කුසලානයේ A කාණ්ඩයේ රටවල් ක්‍රීඩා කළ තරග ශ්‍රී ලංකාව සමග
  Team Span M W L T NR % M W L T NR
1 ඕස්ට්‍රේලියාව 2009-2020 38 29 8 0 0 77.63 2 2 0 0 0
2 බංග්ලාදේශය 2014-2020 17 2 15 0 0 11.76 3 1 2 0 0
3 නවසීලන්තය 2009-2020 32 22 10 0 0 68.75 5 5 0 0 0
4 දකුණු අප්‍රිකාව 2009-2020 27 11 16 0 0 40.74 3 2 1 0 0
5 ශ්‍රී ලංකාව 2009-2020 27 8 19 0 0 29.62          

(Span – කාලය, M – තරග, W – ජයග්‍රහණ, L – පරාජිත, T – ලකුණු සමවීමෙන්, NR – විසඳුමක් නොමැති, % – ජයග්‍රාහී ප්‍රතිශතය)

දකුණු අප්‍රිකාව

පෙබරවාරි 10 වැනිදා Cape Town හී Newlands හිදී.

27 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Sune Luus දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම දරනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 96කට ක්‍රීඩා කරමින් පිතිකාරිණියක් ලෙසින් ලකුණු 1002ක් සහ පන්දු යවන්නියක ලෙසින් කඩුලු 49ක් ලබා දකුණු අප්‍රිකා කණ්ඩායම පෝෂණය කර තිබෙනවා.

නමුත් ඇයට මෑත කාලීන තරගවල දක්ෂතා දැක්වීමට හැකි වී නැහැ. ශ්‍රී ලංකාවට එරෙහිව තරග 8කට ක්‍රීඩා කර ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාවත් 47ක්.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකා කණ්ඩායම සතු ප්‍රබලතම ක්‍රීඩිකාව වන්නේ 34 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Shabnim Ismail. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 107කට ක්‍රීඩා කරමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 115ක්. ඉන් කඩුලු 35ක් ම තමන් සහභාගී වූ ලෝක කුසලාන තරග 26ක දී වාර්තා කිරීමට ඇය සමත් වෙනවා. මේ දක්ෂතාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනි අසුනට වෙන් වෙනවා.

එමෙන් ම 33 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Marizanne Kapp පිතිකාරිණියක් ලෙසින් මෙතෙක් විස්සයි විස්ස තරග 88කට සහභාගී වෙමින් ලකුණු 1120ක් සහ පන්දු යවන්නියක් ලෙසින් කඩුලු 67ක් ලබා ගනිමින් දක්ෂතා දක්වමින් මෙම කණ්ඩායමට ඇතුළත් ව සිටිනවා.

ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙසින් කණ්ඩායමට එක් ව සිටින උප නායිකා Chloe Tryon, Nadine de Klerk සහ Masabata Klaas ද දකුණු අප්‍රිකා කණ්ඩායම ශක්තිමත් ක්‍රීඩිකාවෝ ලෙසින් දැක්විය හැකියි.

දකුණු අප්‍රිකා සංචිතය: Sune Luus (capt), Chloe Tryon (vice-capt), Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Lara Goodall, Shabnim Ismail, Sinalo Jafta, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Laura Wolvaardt, Nonkululeko Mlaba, Delmi Tucker, Annerie Dercksen.

බංග්ලාදේශය

පෙබරවාරි 12 වැනිදා Cape Town හී Newlands හිදී.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මෙවර හමුවෙන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ම දක්ෂතා දක්වා ඇත්තේ බංග්ලාදේශයට එරෙහිවයි.  ඔවුන් සමඟ තරග 3කට සහභාගී වෙමින් තරග 2ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

කණ්ඩායමේ නායකත්වය සේ ම කඩුලු රැකීමේ වගකීම ද පැවරී ඇත්තේ 25 වියැති Nigar Sultana වෙතයි. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 69කට මුහුණ දෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1225ක් වන අතර ඊට මාලදිවයිනට එරෙහිව පන්දු 65ක දී හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 113ක් ද ඇතුළත්.

කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 23කට ද දායක වී තිබෙන ඇයගේ ලෝක කුසලාන තරග දක්ෂතා ලෙසින් සටහන් වෙන්නේ තරග 12ක දී ලකුණු 229ක්. එය ලෝක කුසලාන තරගවල බංග්ලාදේශ පිතිකාරිණියක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

ඊට අමතරව ලෝක කුසලාන තරග 17ක දී ලකුණු 202ක් ලබා සිටින 31 හැවිරිදි Rumana Ahmed තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසින් බංග්ලාදේශ කණ්ඩායම වර්ණවත් කරනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 82කට සහභාගී වෙමින් ලකුණු 848ක් ලබා ඇති අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 75ක්.

කණ්ඩායමට එක් ව ඇති අනෙකුත් ක්‍රීඩිකාවන් අතරින් 32 හැවිරිදි වියේ පසුවන දකුණතින් පිට දඟපන්දු යවමින් විස්සයි විස්ස තරගවල කඩුලු 84ක් ලබා සිටින Salma Khatun ද ප්‍රතිවාදීන්ට තර්ජනයක් විය හැකි ක්‍රීඩිකාවන් ලෙසින් හැඳින්විය හැකියි.

බංග්ලාදේශ සංචිතය: Nigar Sultana (capt & wk), Marufa Akter, Dilara Akter, Fahima Khatun, Salma Khatun, Jahanara Alam, Shamima Sultana, Rumana Ahmed, Lata Mondol, Shorna Akter, Nahida Akter, Murshida Khatun, Ritu Moni, Disha Biswas, Sobhana Mostary.

ඕස්ට්‍රේලියාව

පෙබරවාරි 16 වැනිදා Gqeberha හී St George’s Park හිදී.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියේ හමුවෙන ප්‍රබලතම කණ්ඩායම ලෙසින් ඕස්ට්‍රේලියාව  හැඳින්විය හැකියි. නිමා වූ ලෝක කුසලාන තරගාවලි 7න් 5ක ම ජයග්‍රහණ සතු කරගෙන සිටින්නේ ඔවුන් වන අතර අවසන් වරට පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ද්විත්වයේ ජයග්‍රහණයන් ද ඔවුන් සතු වෙනවා.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මෙතෙක් ඕස්ට්‍රේලියාවට එරෙහිව කිසිදු තරගයක් ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ තත්ත්වයක් මතයි ඔවුනොවුන් හමු වෙන්නේ.

ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සතුව ඇත්තේ 30 හැවිරිදි ඉදිරිපෙළ පිතිකාරිණියක් ලෙසින් හැඳින්වෙන Meg Lanning වෙතයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 126කට මුහුණ දී ශතක 2ක් සමඟින් ලකුණු 3256ක් ලබා සිටිනවා. එම දක්ෂතාව ලෝක ලැයිස්තුගත කිරීමේ දී දෙවැනි අසුන හිමි වූ දක්ෂතාවක් ලෙසයි සටහන් වෙන්නේ.

එමෙන් ම ඇය විස්සයි විස්ස ලෝක කුසලාන තරග 29කට සහභාගී වෙමින් අයර්ලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 126ක් සමඟින් ලකුණු 846ක් ලබා ගනිමින් ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානය වෙන් කරගෙන ද සිටිනවා.

කණ්ඩායමේ කඩුලු රකින්නිය වන Alyssa Healy මෙතෙක් විස්සයි විස්ස තරග 136කට සහභාගී වෙමින් ලකුණු 2300ක් ලබා සිටිනවා. ඊට 2019 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 61කට මුහුණ දී හතරේ පහර 19ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 148ක් ද තිබෙනවා.

ඇයගේ ලෝක කුසලාන දක්ෂතා අතර තරග 34කට සහභාගී වෙමින් ලකුණු 752ක් ලෙසින් සටහන් වෙනවා. ඊට අර්ධ ශතක 5ක් ද ඇතුළත්.

කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසින් 32 හැවිරිදි Ellyse Perryගේ නම ද ඉදිරියෙන් ම කියැවෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 133කට මුහුණ දෙමින් ලකුණු 1475ක් සහ කඩුලු 119ක් දවාගෙන තිබෙනවා.

ඔවුන්ට අමතරව 25 වියැති Ashleigh Gardner විස්සයි විස්ස තරග 67ක දී ලකුණු 1066ක් සහ කඩුලු 43ක් ද, 26 වියැති Kim Garth විස්සයි විස්ස තරග 54ක දී ලකුණු 762ක් සහ කඩුලු 43ක් ද ලබා ගනිමින් තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් කණ්ඩායමට එක් ව සිටිනවා.

පන්දු යවන්නියක් ලෙසින් දක්ෂතා දක්වමින් මේ දක්වා තරග 97ක දී කඩුලු 89ක් ලබා සිටින Jess Jonassen සමඟින් පිතිකාරිණියක් ලෙස මේ දක්වා තරග 77ක දී ශතක 2ක් සමඟින් ලකුණු 2144ක් ලබා සිටින Beth Mooney ද ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබල ප්‍රතිවාදීන් විය හැකියි.

ඕස්ට්‍රේලියා සංචිතය: Meg Lanning (capt), Alyssa Healy (wk), Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Heather Graham, Grace Harris, Jess Jonassen, Alana King, Tahlia McGrath, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham.

නවසීලන්තය

පෙබරවාරි 19 වැනිදා Boland Park හී Paarlහිදී.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී අප කණ්ඩායමට හමුවෙන ප්‍රබල කණ්ඩායම් අතර නවසීලන්ත කණ්ඩායමට ද වැදගත් තැනක් හිමි වනවා.

කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ 33 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Sophie Devine වෙතයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 115කට මුහුණ දෙමින් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් ද සමඟින් ලකුණු 2950ක් සහ කඩුලු 110ක් ලබා සිටිනවා.

ඇය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලබා ඇති ලකුණු සංඛ්‍යාව තරග 28ක දී ලකුණු 652ක්.

මෙවර තරගාවලිය සඳහා එක් වෙන ක්‍රීඩිකාවන් අතරින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල මෙන් ම ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකාරිණියක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකාරීත්වය හිමි Suzie Batesට හිමි වෙන්නේ සුවිශේෂී පිළිගැනීමක්.

ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 139කට මුහුණ දෙමින් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 3683ක්. ඉන් තරග 32කට මුහුණ දෙමින් අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 929ක් වාර්තා කරන්නේ ලෝක කුසලාන තරගවලයි.

කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතරින් Amelia Kerrට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 55කට මුහුණ දෙමින් ලකුණු 544ක් සහ කඩුලු 52ක් ලබා සිටිනවා.

පන්දු යවන්නියන් අතරින් 26 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Hannah Rowe ද නවසීලන්ත කණ්ඩායමේ ඉදිරි පෙළ සටන්කාරිනියක්. ඇය මේ දක්වා තරග 32කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 89ක්.

නවසීලන්ත සංචිතය: Sophie Devine (capt), Suzie Bates, Bernadine Bezuidenhout, Eden Carson, Lauren Down, Maddy Green, Brooke Halliday, Hayley Jensen, Fran Jonas, Amelia Kerr, Jess Kerr, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<