ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරමින් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (21) දිනයේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සුමුදුන්නා.
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඊයේ දිනයෙන් නිමාවට පත් වූ අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.
මෙම තරගයේ පළමු ඉනිමේ අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසුණු මැතිව්ස් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි ඉනිමේ දී ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වුනා.
ගාල්ලේ දී ගත් ආරම්භය
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ කැපී පෙනෙන ක්‍රීඩකයකු ලෙස දක්ෂතා දක්වමින් සිටි මැතිව්ස්ට වයස අවුරුදු 22 සම්පූර්ණ වනවාත් සමඟම සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනා.
2009 වසරේ ගාල්ලේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලද මැතිව්ස් සිය මංගල ඉනිමේ දී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුනා. දෙවැනි ඉනිමේ දී ඔහු තවත් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයෙන් ලකුණු 50ක ජයක් ලද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු පන්දුවෙන් ද සාර්ථක වෙමින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මැතිව්ස් විසින් ලද ආරම්භය ඊයේ දිනයේ ගාල්ලේ දීම අවසන් වන තෙක් වසර 16ක කාලයක් ගෙවී ගියා.
මෙම කාලය තුළ ශ්‍රී ලංකාවෙන් බිහි වූ බොහෝ සුපිරි පිතිකරුවන්ට මෙන්ම ගාල්ල ක්‍රීඩාංගණය මැතිව්ස්ට ද ලකුණු තෝතැන්නක් වූ අතර, ඔහු විසින් ගාල්ලේ දී තරග 34ක් ක්‍රීඩා කරමින් ලකුණු 2253ක් ලබා ගැනීමට සමත් වුනා.
ඒ වෙනුවෙන් මැතිව්ස් ශතක දෙකක් සහ අර්ධ ශතක 19ක් එක් කර ගැනීමට ද සමත් වුනා. ලොව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩාංගණයක එක් පිතිකරුවකු විසින් වාර්තා කර ඇති සමස්ත වැඩිම ලකුණු එකතුව අතර මැතිව්ස්ගේ මෙම දස්කම දෙවැනි වන්නේ මහේල ජයවර්ධනට (ගාල්ලේ දී සහ SSC) සහ කුමාර් සංගක්කාරට (SSC) පමණයි.
මැතිව්ස් පරිච්ඡේදය
මේ වන විට 38 හැවිරිදි වියේ පසු වන ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 119ක් ක්‍රීඩා කළා. මෙහි දී ඉනිම් 212ක් තුළ ලකුණු 8214ක් ලබා ගැනීමට සමත් වූ ඔහු, නැවතත් මහේල සහ සංගාට පමණක් දෙවැනි වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ රැඳෙනවා.
44.40ක පිතිකරණ සාමාන්‍යයක් සහිතව ටෙස්ට් ක්‍රිකට් දිවිය නිමා කළ මැතිව්ස් මේ අතරවාරයේ දී ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් රැස් කිරීමට ද සමත් වුනා.
විටින් විට පැමිණි ආබාධ තත්ව නිසා තම පන්දු යැවීම සීමා කිරීමට සිදු වූ මැතිව්ස්ගේ නම ඉදිරියෙන් ටෙස්ට් කඩුලු 33ක් ලියැවී තිබෙනවා.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයින් අතර 08 වැනි ස්ථානයේ (හයේ පහර 90ක්) රැඳෙන මැතිව්ස් ටෙස්ට් ලකුණු 5000 සහ දවා ගැනීම් 50ක් සිදු කිරීමට සමත් වූ ලැයිස්තුවේ ද ඉඩ කඩ වෙන් කර ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්ජුනාලංකාරය
- වේගමානයේ මකුළු දැල් කැඩූ දිල්හාර ප්‍රනාන්දු
- බුරුල් ඇණයක් නොවූ රියල් ඇණය – ගුරුසිංහ
- ගංදස්සාරයක් නොවූ සංගක්කාර!
- රට වෙනුවෙන් වැඩ හතරම කළ හෂාන්
මැතිව්ස් නම් නායකයා!
2013 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ලෙස සිය වගකීම් බාර ගන්නා විට මැතිව්ස් 26 හැවිරිදි වියේ පසු වුනා. පාසල් කාලයේ සිටම නායකත්ව ගුණාංග පෙන්වමින්, අනාගත ශ්‍රී ලංකා නායකයා වීමට තමන් සූදානම් බව මැතිව්ස් ඉඟි කරමින් සිටි නිසාම මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සුබ ඵල අත් කර දෙනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කළා.
ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 34ක් ක්‍රීඩා කළ අතර, ඉන් තරග 13ක් ජයග්‍රහණය කරා රැගෙන යාමට ද ඔහු සමත් වුනා.
මේ අතරින් එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ලද ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇති බව නොඅනුමානයි. සිනමාපටයක දක්නට ලැබෙනා අන්දමේ අවසානයන් සමඟ ඉතා තියුණු ටෙස්ට් තරග ද්විත්වයක් මෙම තරගාවලියේ දී ක්‍රියාත්මක වූ අතර, මෙහි දී මැතිව්ස් නායකයකු ලෙස මෙන්ම පිතිකරුවකු ලෙස ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.
මීට අමතරව 2016 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජය ද මැතිව්ස්ගේ නායකත්ව සටහන් අතරේ ඉහළින් රැඳී පවතිනු ඇති.
ලොවට අහිමි වූ ටෙස්ට් පිතිකරුවා
පසුගිය දශක ගණනක් පුරාවට ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ටෙස්ට් පිතිකරුවන් ගණනාවක් බිහි කිරීමට සමත් වුනා.
අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, හශාන් තිලකරත්න, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර වැනි නම් කලක් තිස්සේ ලෝක ටෙස්ට් පිතිකරුවන් ලෙස වැජඹුණු අතරම, ඔවුන් ටෙස්ට් තරග ඉතිහාසයේ වාර්තා රැසකට උරුම කම් කීමට ද සමත් වුනා.
එවන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්ත සමඟ එකට එක්ව ක්‍රීඩා කරමින්, සිය අත්දැකීම් තර කර ගත් මැතිව්ස්, මෙම පිතිකරණ පරම්පරාවේ මීළඟ පුරුක වීමට සූදානම් බව ක්‍රියාවෙන් ම පෙන්වමින් සිටියා.
2014 වසරේ දී මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීම වෙනුවෙන් ගාල්ලේ ක්‍රීඩා කළ අවසන් තරගයේ දී (පාකිස්තානයට එරෙහිව) ශ්‍රී ලංකාවට නොපෙනී යමින් තිබූ ජයක් ලබා දීම වෙනුවෙන් මැතිව්ස් වටිනා ඉනිමක් දියත් කළේ තමන් ශ්‍රී ලාංකේය ක්‍රිකට්වල ඉදිරි දශකය පිළිබඳ වග බලා ගැනීමට සූදානම් බව ඉඟි කරමිනුයි.
එය ඔහු ඒ අයුරින් ම ඉටු කිරීමට වෙහෙස වූ අතර මීට පෙර දැක්වූ ඔහුගේ ක්‍රීඩා දක්ෂතා ඒ වෙනුවෙන් සාක්ෂි දරනු ඇති. එමෙන්ම 2018 වසරේ දී නවසීලන්තයේ වෙලිංටන් හිදි මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් යුගලය එක්ව ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීම වෙනුවෙන් දැක්වූ විශිෂ්ට පිතිකරණය ද අමතක කළ නොහැකි මතකයක්. මෙහි දී මැතිව්ස් කුසල් හා එක්ව ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිදිණු ලකුණු274ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී මැතිව්ස් විසින් පන්දු 323ක් ක්‍රීඩා කරමින් ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වුනා.
ඔහු මෙම ඉනිම දියත් කළේ ආබාධ වලින් බැට කමින්, සිය ක්‍රීඩා ජීවිතයට බාධා පැමිණෙමින් තිබූ කාලයක් තුළයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ කිරීමට හැකියාව තිබූ මැතිව්ස් සොයා ගෙන ආ අප්‍රමාණ ආබාධ කන්දරාව නිසා ඔහුට දිගින් දිගටම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ගියා.
කෙසේ නමුත් ඔහු ආබාධවලින් සුවය ලබනා ඕනෑම මොහොතක කණ්ඩායම සමඟ එක්ව තම පිතිකරණ දක්ෂතා දැක්වීමට සූදානම්ව සිටි බව මැතිව්ස් වෙලිංටන් ටෙස්ට් තරගයේ දී ද තහවුරු කළා.
ටෙස්ට් ගමන අවසන්
කෙසේ වෙතත් මේ වන විට ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දී අවසානයි. මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වුනා නම් මෙම ලිපියට ද ඉතා සුන්දර අවසානයක් ලබා දීමට හැකියාවක් ලැබෙන්නට ඉඩ තිබුණා.
කෙසේ නමුත් ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව වෙනුවෙන් සිදු කළ කැප කිරීම් කිසි දා නොමැකෙනු ඇති.
ඇන්ජලෝ මැතිව්ස්ට ThePapare වෙතින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<