රට වෙනුවෙන් වැඩ හතරම කළ හෂාන්

700
cricket.com.au

ඇතැම් ක්‍රිකට් පිතිකරුවන් හරිම අපිළිවෙළ ය. “අපිළිවෙළ” සාමාන්‍යයෙන් අයත් වන්නේ පන්දු යවන්නන්ට ය. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිතිකරුවෙකු බව ඔහුගේ ඇඳුමෙන් පැලඳුමෙන් අනුමාන කළ හැකිය.

එහෙත් පන්දු යවන්නන් එසේ නොවේ. හදිසියේ නුපුරුදු අයුරින් පලඳා ගත්, ඇද වූ හිස ආවරණය, ශරීර ප්‍රමාණයට වඩා විශාල වැලමිට ආවරණය, පයට තබා සිරකොට බැඳ ඇති පා ආවරණ නිසා ඉහළින් පිම්බී ආ කලිසම, ජර්සිය තුළින් එළියට පනින්නට හදන ඉල ඇට ආවරණය පන්දු යවන්නෙකු පිතිකරණයට පැමිණීමේ දී දැකිය හැකිය

මුත්තයියා මුරලිදරන්, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග වැන්නන් පිතිකරණයට පැමිණෙන අවස්ථාවක් සිහිකරගතහොත් ඔබට මෙය අවබෝධ වේවි. ඔවුන් පුරුදුකාර පිතිකරුවන් නොවන බව පෙනුමෙන් හසුකර ගත හැක. ඒ අතරම බැලූ බැල්මෙන් පිතිකරුවන් යැයි නිර්ණය කළ නොහැකි ටී. එම්. ඩිල්ෂාන්, රසල් ආනෝල්ඩ්, ටෙම්බා බවූමා, මුෂ්ෆිකර් රහීම් වැනි පිතිකරුවන් ද සිටින බව ඔබට සිහිකරන්නේ විනෝදයෙනි.              

එහෙත් සාමාන්‍යයෙන් පිතිකරුවෙකුගේ හිස ආවරණය පලඳා ගෙන ඇත්තේ පිළිවෙළකටය. ඔහුගේ අත් ආවරණ සහ වැලමිට ආවරණය ඔහුගේ ශරීර ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි බවක් දිස් නොවේ. ඔහු ඔහුගේ ජර්සිය නිසි අයුරින් යට කර, ඔහුගේ ශරීර ප්‍රමාණයට වඩාත්ම ගැළපෙන ප්‍රමාණයේ පා ආවරණ පලඳයි. ආරක්ෂක ආයිත්තම් කෙතරම් එල්ලා ගෙන සිටිය ද එහි පිළිවෙළක් ඇත. පෙනුමෙන් ඔහු ප්‍රසන්න ය. අද අපි කියවන්නට යන හෂාන් ප්‍රසන්න තිලකරත්න, ඊට උදාහරණයකි.

හෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ සෑම කාලයක දී ම (අවස්ථා කිහිපයක දී හැර) ඔහු විසින් භාවිතා කළ මුව ආවරණය රහිත හෙල්මටය පලඳා ගෙන සිටියේ හරි කෙළින් ය. ඔහුගේ ජර්සියේ බොත්තම් සියල්ල (බොහෝ අවස්ථාවල) දමා තිබේ. ජර්සිය නිසි ආකාරයෙන් කලිසමට යට කර ඇත. පා ආවරණ දෙක ඔහුගේ ශරීර ප්‍රමාණයට වඩාත්ම උචිත ය. මේ සියල්ලටත් වඩා ඔහු පිතිකරණ ඉන්න ලබා ගන්නා ආකාරය මනරම් ය.

ඔහු, බැලූ බැල්මටම පිතිකරුවෙකි.

පිතිකරණ සීමා ඉර වෙත පැමිණෙන ඔහු හිස කෙළින් තබාගෙන තණතීරුව දෙස බලයි. ඔහු විනිසුරුගෙන් ඉන්න ලබා ගනියි. පිත්ත පපුවට ගෙන හාත්පස පන්දු රකින්නන් යොදා ඇත්තේ කොහි දැයි දෑසින් දකියි. උරහිස් දෙපසට ගස්සා මාංශ පේශී ලිහිල් කරගනියි. උරහිස් ලිහිල් කරමින්ම හිස කෙළින් තබාගෙන ඉතාම ප්‍රසන්නව සිනාසෙමින් පන්දුව භාරගන්නට සූදානම් වෙයි. 

එතැනිනුත් නොනැවතී ඔහු පන්දුවට පහර දෙන්නට පිත්ත ඔසවන විලාශය (Back lift) කැරිබියානු ආභාසය සහිත පිතිකරුවෙකු මෙන් නිදහසේ සිදු කළේය. ඒ ආකාරයෙන් පිත්ත පන්දුවට ගෙන ආ වමත් පිතිකරුවන් කිහිප දෙනෙකු සිහි කළහොත් ඒ බ්‍රයන් ලාරා, යුවරාජ් සිං, මයික් හසී වැනි මනරම් පිතිකරණ ඉරියව් ඇත්තන් ය. එහෙත් ඔබ පුදුම විය යුතු කාරණය නම්, හෂාන් තිලකරත්න මේ සියල්ල සිදු කළේ ඔවුන් ලාරාටත්, යුවරාජ්ටත්, හසීටත් පෙර සිට වීමයි.

තාක්ෂණික වශයෙන් පිතිකරුවෙකු සීමා ඉර මත සිටගත යුත්තේ කෙසේ ද, එලෙසම පන්දුව පිළිගැනීමට සූදානම් වූ ඔහු එය ද ප්‍රේක්ෂකයන්ට අත්දැකීමක් බවට පත්කළේය. මෙය දුටු එකල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඔහුට ඇමතුවේ “ඇක්ෂන් බට්ටා” යනුවෙනි. වැඩියෙන් වැඩ කළ, අඩුවෙන් කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන ලියන ගමනේ තෙවැන්න හෂාන් තිලකරත්නයන් ගැන මෙසේ දිගහරිමු.

තැනේ හැටියට ඇණේ ගැසූ ආනෝල්ඩ්

මෑතක දී මා සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් සිටින දිනයක හෂාන් තිලකරත්න පන්දුවට පහර දෙන වීඩියෝවක් අලලා ඇතැමුන් විසින් පල කළ අදහස් කිහිපයක් දුටුවෙමි. ඉන් බොහොමයක වූයේ “හපොයි, මේ මොකෙක් ද?” වැනි යටි පෙළකි. ඔවුන්ගේ වයස් මට්ටම් පරික්ෂා කිරීමේ දී ඇති වූයේ කනගාටුවකි. මෙතරම් අලංකාර පිතිකරුවෙකුව සජීව ලෙස නුදුටු ඔවුන් ඔහු ගැන එවන් අදහස් පලකරන්නේ කෙසේ ද? , මාධ්‍යවලින් ඔවුනට අවශ්‍ය දත්ත නොසැපයීමේ විපාකය යැයි සිතමි. එබැවින් මගේ කාලයටත් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබූ හෂාන් තිලකරත්න ගැන ලිපියක් ලිවීම මාගේ වගකීමක් කොට සලකමි.   

වයස අවුරුදු 19ක ක්‍රීඩකයෙකු ලෙස හෂාන් සිය එක්දින ජාත්‍යන්තර දිවියට පා තබන්නේ 1986 වසරේ දී ය. ඒ ෂාජා හිදී පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ය. වේගපන්දු යවන්නන්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කළ හැකි පිතිකරුවෙකු වූ බැවින් ඔහු අංක 6 ස්ථානයට යොමු කරන්නේ එවකට නායක දුලිප් මෙන්ඩිස් ය. ඒ කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථක කාල වකවානුවකි. හෂාන් කඩුලු රකින්නා ලෙස සහභාගී වූ තෙවැනි එක්දින තරගයේ දී ලකුණු 249ක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 55ක් තුළ දැවී ගියේය. කර්ට්නි වෝල්ෂ් එක් ලකුණකට කඩුලු 5ක් දවා ගත් අතර ඒ දරුණු පන්දු යැවීම හමුවේ ලකුණු 2ක් ලබා නොදැවී සිටි එකම පිතිකරු හෂාන් ය.

හෂාන්, කඩුලු රකින්නෙකි.

එහෙත් ඔහුව 1987 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවිණි. බ්‍රෙන්ඩන් කුරුප්පු කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස පාකිස්තානය බලා ගියේය. හෂාන් යළි කණ්ඩායමට පැමිණෙන්නේ වසරකටත් පසු ය.

කෙතරම් දක්ෂ යොවුන් පිතිකරුවෙකු වුවත් ඔහුට අංක 6ට ඉහළින් පිතිකරණයට පැමිණීමට ඉනිම 13ක්ම බලා සිටින්නට සිදු විය. හෂාන්ව ප්‍රථමයෙන්ම ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට එවන්නේ 1989 MRF World Series තරගාවලියේ දී ය. පාකිස්තානයට එරෙහිව ලකුණු 220ක ඉලක්කයක් සපුරාලීමට ලැබෙන රාජකාරිය හොඳින් හඳුනා ගත් ඔහු, කණ්ඩායමේ නැංගුරම වෙමින් ලකුණු 71ක් ලබා ගත් අතර වසීම් අක්‍රම්, වකාර් යුනුස්, මුෂ්ටාක් අහමඩ් ආදී ප්‍රබල පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ පිත්ත පලිහක් ලෙස තබා ක්‍රීඩා කළේය. එහෙත් ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය අතර ශ්‍රී ලංකාව ලකුණු 7කින් තරගය පරාජය වූයේ අරවින්ද ද සිල්වා හැරෙන්නට අන් කිසිදු පිතිකරුවෙකු ලකුණු 12 සීමාව ඉක්ම යන්නට අසමත් වූ බැවිනි. 

මීළඟ තරගයේ දී යළිත් අංක 7 ස්ථානයට තල්ලු වූ ඔහුගේ මීළඟ අර්ධ ශතකය වාර්තා වන්නේ ද ආරම්භක පිතිකරුවෙකු වශයෙනි. ඒ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ පාකිස්තානයට එරෙහිව බ්‍රිස්බේන් හිදී ය. මේ කාලය තුළ හෂාන් ක්‍රීඩා කළේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසයි. පසුව යම් කාලයකට ඔහුව මුල් පෙළ ස්ථානවල අත්හදා බලන්නට අර්ජුන සමත් වූ අතර හෂාන්ගේ ප්‍රතිචාරය ද හොඳ එකක් විය.

1989 දී ඔහු ටෙස්ට් වරම් ලැබීය. ඒ කඩුලු රකින පිතිකරුවෙකු වශයෙනි. 1989 සිට 1994 වසර දක්වාම ශ්‍රී ලංකාවේ ටෙස්ට් කඩුලු රකින්නා වූ හෂාන් දවා ගැනීම් 35කට දායක වී ඇත. ගණන කුඩා වුවත් අප අමතක නොකළ යුත්තේ එකල ශ්‍රී ලංකාව වැනි නැගී එන කණ්ඩායමකට මුළු වසරටම ලැබෙන්නේ ටෙස්ට් තරග 5කටත් අඩු ගණනක් බව ය. එම නිසා ලකුණු දත්ත තුළම සිරවුවහොත් අපට අහිමි වන දැනුම බොහොම ය.

1990 දී එක්දින කඩුලු රකින්නෙකු ලෙස ඔහු ලෝක වාර්තාවක් තැබූවේ එක්දින ඉනිමක දී වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත් කඩුලු රකින්නා/ක්‍රීඩකයා ලෙසයි. පාකිස්තානයට එරෙහිව ඔහු එදා රැකගත් උඩපන්දු ගණන 5කි. පසුව 2000 වසරේ දී ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඉනිමක දී උඩපන්දු 6ක් ලබාගෙන ඔහුව අභිබවා ගියේය.

හෂාන් අතිදක්ෂ පන්දු රකින්නෙකි. කඩුල්ල අසල දී ප්‍රතිවාදී පිතිකරුවන්ට හිසරදයකි. ටෙස්ට් තරගයක දී වැඩිම උඩපන්දු ලබා ගැනීමේ වාර්තාව ද  1992 නවසීලන්තයට එරෙහි තරගයක දී උඩපන්දු 7ක් ලබාගනිමින් ඔහු සමකළේය. පසුව උඩපන්දු 8ක් ලබා එය පසුකර යන්නට ඉන්දියානු ක්‍රීඩක ආජින්ක්‍ය රහානේ සමත් වුනේ 2015 දී ය.

1993 වර්ෂය දක්වාම අංක 3, 4, 5, 6, 7 ස්ථානවල විටින් විට පන්දුවට පහර දුන් හෂාන් තම පළමු එක්දින ශතකය (104) වාර්තා කළේ එම වසරේ දී ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. එහෙත් ඔහුගේ විශේෂිතම එක්දින ශතකය වූයේ කොදෙව්වන්ට එරෙහිවම 1995 ෂාජා තරගාවලියේ දී වාර්තා වූ ශතකයයි (100). ක්‍රිකට් ඉතිහාසයේ අංක 7 පන්දුවට පහර දුන් පිතිකරුවෙකු විසින් වාර්තා කළ පළමු එක්දින ජාත්‍යන්තර ශතකය මෙයයි. අංක 5ට පහළින් පිතිකරණයේ යෙදෙන පිතිකරුවන්ට ශතක ලබා ගැනීමට ඇති අපහසුව ගැන ක්‍රිකට් හොඳින් නරඹන ඔබට මා අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. 

එබැවින් ඔබ පිතිකරුවන් සංසන්දනය කිරීමේ දී විචාර බුද්ධියක් භාවිතා කිරීම හොඳ යැයි මම යෝජනා කරමි. ආසන්න වශයෙන් 30ක පමණ (29.60) එක්දින ලකුණු සාමාන්‍යයක් ඇති හෂාන් තිලකරත්න වැන්නන් වැඩි කලක් ක්‍රිකට් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තරයේ බැබළුණු කාලයේ ද නොවේ. එබැවින් ඒ ලකුණු සාමාන්‍යය, නැගී එන කණ්ඩායමක අංක 7 පිතිකරුට ඉතාම හොඳ එකක් බැව් ඔබට සිහිකරමි.

වේගපන්දු යවන්නන්ට එරෙහිව කෙතරම් හොඳින් ක්‍රීඩා කළත්, දඟපන්දු යවන්නන් හමුවේ හෂාන්ගේ පිතිකරණය නැරඹීම තවත් මනරම් අත්දැකීමක් විය. ඒ ඔහුගේ ඕන් ඩ්‍රයිව් සහ ස්වීප් පහරවල් නිසාය. පිත්ත සුපුරුදු ලාලිත්‍යයෙන් ඔසවා, පසුපාදය ද මඳක් ඔසවා එල්ල කෙරෙන ඔහුගේ ඕන් ඩ්‍රයිව් පහර කැරිබියානු ශෛලියේ එකකි. එමෙන්ම විශාල පහරවල් එල්ල කිරීමේ අවශ්‍යතාවය ඇති සෑම මොහොතකම එම අභියෝගය භාරගැනීමේ හැකියාව හෂාන් සතු විය.

ඔහුගේ ඕන් ඩ්‍රයිව් පහර මනරම් ය.

ටෙස්ට් තරගවල දී හත් වතාවක් ලකුණු 80ත් 100ත් අතර දැවී හෝ නොදැවී නැවතීමෙන් පසුව හෂාන්ගේ මංගල ටෙස්ට් ශතකය 1994 හරාරේ හිදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා විය (116). මේ ලිපි පෙළ පුරාවටම කළ පරිදි මා නැවතත් ඔබට සිහි කළ යුත්තේ මේ ඔබ අද දකින සිම්බාබ්වේ කණ්ඩායම නොවන බවයි. ඉන්පසුව ශතක වාර්තා කිරීමේ ක්‍රමයඅල්ලා ගත් හෂාන් එතැන් සිට ටෙස්ට් ඉනිම් 23ක දී අර්ධ ශතක 5කුත්, ශතක 5කුත් වාර්තා කළේය.

ඕස්ට්‍රේලියාවේ වේගවත්ම තණතීරුව වන පර්ත් හිදී ශතකයක් වාර්තා කොට ඇති එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද හෂාන් ය. 1995 දී වාර්තා වූ එම ශතකය (119) වෙනුවෙන් ඔහු මුහුණ දුන් වේගපන්දු යවන්නන් වන්නේ ක්‍රෙග් මැක්ඩමොට්, ග්ලෙන් මැක්ග්‍රා සහ සනත් ජයසූරියගේ අත කඩා දැමූ බ්‍රෙන්ඩන් ජූලියන් ය. එමෙන්ම ෂේන් වෝන්ගේ දඟපන්දු ද ඊට එක්විය. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී ද ටෙස්ට් ශතකයක් (104*) වාර්තා කොට ඇති එකම ශ්‍රී ලාංකිකයා හෂාන් ය.

තමන් ලබා ගත් දැනුම නවකයෙකුට ලබා දීම ද එවැනිම දක්ෂතාවයකි. 2001 ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේ දී ලකුණු අතර නොසිටි හෂාන් තිලකරත්න තෙවැනි ටෙස්ට් තරගයේ දී විවාද මැද ශතකයක් වාර්තා කළේය. ඒ මොහොතේ ඔහු ක්‍රීඩා කරමින් සිටියේ නවක ක්‍රීඩක තිලාන් සමරවීර සමඟිනි. සමරවීර එහි දී සිය මංගල ටෙස්ට් ඉනිමේ දී ම මංගල ශතකය වාර්තා කළ අතර ලකුණු 50 දී ඔහුට හෂාන්ගෙන් ලැබුණු සහාය ගැන ඔහු අද සිහිකරන්නේ මෙසේයි.

මායි හෂානුයි හිටියේ. ඉන්පස්සේ හෂාන් මට ප්‍රකාශ කරා, ‘ඔයා දැන් ලකුණු 50ක් අරගෙන තියෙන්නෙ මල්ලි. ගහලා බලන්න, වැදුනොත් 100ට එයි ද කියලා. අන්තිම 50 මම ටිකක් වේගයෙන් පහරවල් එල්ල කරා, වාසනාවට ඒ හැම පහරක්ම පිත්තේ වැදුණා.” හෂාන් නොදැවී ලකුණු 136ක් වාර්තා කළ අතර තිලාන් නොදැවී ලකුණු 103ක් වාර්තා කළේය.  එදා SSC පිටිය මත හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 194ක නොදැවුණු සබඳතාවයක් පිහිටවන ලදී. ශ්‍රී ලංකාව තරගය ජයගත්තේය.

සාකච්ඡාව ද ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය ය.

ඔහු 1994 දී පාකිස්තානයට එරෙහිව ද එවැනිම දස්කමක් කළේය. ඒ අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී රුවන් කල්පගේ හා එක්වී හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 131ක සබඳතාවයක් පැවැත්වීමෙනි. අදටත් අස්ගිරියේ දී එම වාර්තාව පසුකර ගිය අනෙකෙකු නැත. පාකිස්තානයේ සියල්කොට්හි ජින්නා ක්‍රීඩාංගණයේ දී 6 වැනි, 8 වැනි සහ 9 වැනි කඩුලුවල හොඳම ටෙස්ට් සබඳතා පවත්වා ඇත්තේ හෂාන් තිලකරත්නගේ පිතිකරණය ද සමඟිනි.

හෂාන් ලෝක ශූරයෙකි. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ වැදගත් පුරුකක් වූ හෂාන්ව බොහෝ දෙනාට අමතකව ඇත්තේ මන්දැයි පැහැදිලි නැත. එහි දී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය පැවතියේ ඉන්දියාවට එරෙහිවයි. 

සචින් ටෙන්ඩුල්කාර් විසින් වාර්තා වූ ශතකයෙන් පසුව ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය 272කි. ලකුණු 141 දී සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා යන ශ්‍රී ලංකාවේ තරග දිනවන පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යවා තිබුණි. එතැන් සිට ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු 131 ලබා ගැනීම සඳහා අර්ජුන රණතුංග සමඟින් එක්වූයේ හෂාන් තිලකරත්න ය. අර්ජුන නොදැවී ලකුණු 46ක් ලබා ගනිද්දී හෂාන් නොදැවී ලකුණු 70ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහෙත් තරගයේ වීරයා වූයේ සනත් ජයසූරියයි.

ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී අරවින්ද ද සිල්වා විසින් වාර්තා කළ ලකුණු 66 ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ හොඳම ඉනිම යැයි ඇතැමුන් විසින් වර්ණනාවට පාත්‍ර වන අයුරු දුටුවෙමි. එහෙත් එම තරගයේ දී සියලු මැදපෙළ පිතිකරුවන් ඉදිරියට පැමිණ සටන් කළ බව අප අමතක නොකළ යුතුය. 

මුළු ලකුණු 182 දී ලකුණු 58ක් ලබා ගත් රොෂාන් මහානාම පාදයේ ආබාධයක් නිසා නැවත ක්‍රීඩාගාරයට යන විට පිටියට පැමිණි හෂාන් තිලකරත්න පන්දු 43ක දී ලකුණු 32ක් ලබා නොගන්නට, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 250 සීමාව පසු කිරීම සිදු නොවන්නට ඕනෑ තරම් ඉඩ තිබිණි. ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් මහා තරගය ජය ගත්තේ එම අවසන් පූර්ව තරගය ජය ගෙන ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමයි.

මැච් දිනවන චන්දන

හෂාන් පන්දු යැවීමෙන් එක්දින කඩුලු 6ක් ද දවා ගත් ක්‍රීඩකයෙකි. ඔබේ නායකයාට ඔබව අවශ්‍ය වන්නේ කුමන මොහොතේ ද, ඒ මොහොතට නැගිට ක්‍රීඩා කරන සුහුරු ක්‍රීඩකයෙකු ලෙස ඔහුව හැඳින්විය හැකිය. එමෙන්ම 1996 ලෝක කුසලාන තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව ඔහු දකුණතින් පන්දු තුනකුත්, වමතින් පන්දු තුනකුත් යවා සම්පූර්ණ කළ පන්දුවාරය තවමත් අපගේ මතකයේ ඇත.

1999 වසරේ දී හදිසියේම එක්දින කණ්ඩායමෙන් ඉවත් කෙරෙන ඔහු 2003 දී අංක 3 පිතිකරු ලෙස කණ්ඩායමට ඇතුළත් වී යළිත් පිතිකරුවෙකු ලෙස සාර්ථක විය. පසුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයටත් පත්විය. 2004 දී තම අවසන් ටෙස්ට් තරගයට සහභාගී වූ හෂාන්, මේ වන විට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

ඔහු දැන් පුහුණුකරුවෙකි.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඔබේ කණ්ඩායමේ තරු සිටිය යුතුය. එහෙත් තරු 11කින් කණ්ඩායමක් නිර්මාණය නොවන බව මම යළිත් මෙහි සඳහන් කරමි.  තරු පෑයීමට අහසක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි හෂාන් වැන්නන්ගේ කණ්ඩායමකිනි. එබැවින් කඩුලු රකින්නෙකු, මනරම් පිතිකරුවෙකු, දක්ෂ පන්දු රකින්නෙකු සහ පන්දු යවන්නෙකුත් වශයෙන් සිව් ඉරියව්වෙන්ම දස්කම් දැක්විය හැකි හෂාන් තිලකරත්න වැනි ක්‍රීඩකයන් ගැනද අනාගත පරපුරට පැවසීම, අනාගතයේ දී කර ගත් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඉවහල් වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<