ICC නම් කළ මහේලගේ හොඳම ඉනිම් 8

161

ශ්‍රී ලංකා ක්‍රිකට් යන නාමය ඇසුණු විගස ලොව ඕනෑම ක්‍රීඩාලෝලියෙකුගේ මතකයට එන නම් කීපයක් ඇත. ඉන් මහේල ජයවර්ධනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහේලගේ තීක්ෂණ නුවණ, නායකත්ව ගුණාංග, ඔහුගේ වාර්තා කිසිවෙකුටත් සමකළ නොහැකි මට්ටමක තිබුණි.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනගේ 43 වැනි උපන්දිනය සැමරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල වෙබ් අඩවිය ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම් අටක් ලැයිස්තු ගත කර තිබුණි. ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම ඉනිමට ඡන්දය දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියා.

>>එයා තමයි කඩුලු රැකපු රොමේෂ් වීරයා<<

මහේල ජයවර්ධන බොහෝ ශ්‍රී ලාංකික පිතිකරණ වාර්තාවල හිමිකරු ය. වසර 17ක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මහේල එම කාලය තුළ ටෙස්ට් තරග 149ක් ක්‍රීඩා කර ඇත. ඔහු ජාත්‍යන්තර ශතක 34ක් සමඟ ලකුණු 11,814ක් රැස් කර ගෙන ඇති අතර එම සංඛ්‍යාව ඉක්මවා ගිය එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ කුමාර් සංගක්කාර පමණි.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 374කි. 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා වූ එම ඉනිම ලොව සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස තවමත් පවතී. 

මහේලගේ ඉනිම් අතරින් සුවිශේෂීම ඉනිම් 8ක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තෝරාගෙන තිබුණි. 

123 – 2006 දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ පී සරා ක්‍රීඩාංගණයේ දී

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ඉනිමේ හොඳම ඉනිම කීපය අතරට මෙය අනිවාර්යයෙන් එක්වන ඉනිමකි. දින 5ක් ක්‍රීඩා කළ කොළඹ සරා පිටියේ තණතීරුව දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත වටපිටාවක මහේල වාර්තා කළ මෙම ලකුණු 123 ශ්‍රී ලංකා කණ්ඩායමට අත්හැර තිබූ ජයග්‍රහණයක් ලබා ගැනීමට උපකාරි විය. මහේල විසින් දඟපන්දු යවන්නන්ට එරෙහිව සිය දක්ෂතාවය පෙන්නුම් කළ උච්චතම අවස්ථාවක් ලෙස මෙය සැලකේ.

මාකයා නටිනි, ඩේල් ස්ටේන්, ෂෝන් පොලොක් සහ නිකී බොජේ ඇතුළත් දකුණු අප්‍රිකානු පන්දු ප්‍රහාරයකට එරෙහිව ලකුණු 352ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට ලකුණු 11ක් ඉතිරිව තිබිය දී ඔහු 7 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළේ එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබිය දී ය.

“මේ වන විට මෙය මා සම්බන්ධ වී ඇති හොඳම ටෙස්ට් තරගවලින් එකක්. මගේ හිසෙහි හිසකෙස් කිහිපයක් සහ නියපොතු කිහිපයක් මට අහිමි වුනා.” 

>>කැංගරු බිමේ දී ටෙස්ට් ශතක ලැබූ සිංහයන්<<

180 – 2012 එංගලන්තයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේ දී

2012 වසරේ පැවති එංගලන්ත ශ්‍රී ලංකා තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළේ ක්‍රීඩකයන්ගේ අනුපිළිවෙළක් පෙනෙන්නට තිබුණි. ජේම්ස් ඇන්ඩර්සන් තරමක දෝලනයක් සහිත පන්දු ‍යවමින් සිටි අතර ඔහු ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 15කට කඩුලු 3ක් බවට පත්කර තිබුණි. නමුත් මහේල ජයවර්ධනගෙන් ගැලවීමක් තිබුණේ නැත.

ඔහුගේ හවුල්කාර පිතිකරුවන් අනෙක් අන්තයේ අසාර්ථක වෙමින් තිබුණ ද මහේල ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දුන්නේය. ශ්‍රී ලංකාව ලකුණු 318ක් වාර්තා කළ අතර මහේල ජයවර්ධන එහි දී ලකුණු 180ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව තරගය ලකුණු 75කින් ජයග්‍රහණය කළ අතර ජයග්‍රහණය සහ පරාජය අතර වෙනස මහේලගේ එම ඉනිමෙන් සනාථ විය.

එම ඉනිමේ දී ඇන්ඩර්සන් කඩුලු 5ක් දවා ගත්තද  ඔහුට මහේල පාලනය කිරීමට හැකි වූයේ නැත.  

“මම දැක ඇති වඩා හොඳ ටෙස්ට් ඉනිම මෙයයි. වෙනත් කිසිවෙකු 20ට වඩා ඉහළින් ලබා ගන්න සමත් වුනේ නෑ”  ඇන්ඩර්සන් තරගයෙන් පසුව පැවසීය.  

“විශාල පහරක් සඳහා යා යුත්තේ කොයි වෙලාවේ ද සහ ටිකක් ඉවසිල්ලෙන් ක්‍රීඩා කළ යුත්තේ කොයි වෙලාවේ ද යන්න දැන ගැනීමේ දක්ෂතාවය ඔහුට තිබුණි.” 

374 – 2006 දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ දී 

මහේල ජයවර්ධන ගේ ටෙස්ට් දිවියේ ප්‍රබලතම ඉනිම ලෙස මෙය සැලකේ. තනිව වාර්තා පොත් අලුත් කළ මහේල කුමාර් සංගක්කාර සමඟින් වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. 

මහේලගේ මෙම ඉනිම මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී වාර්තා වූ සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද තවමත් පවතී. 

ජයවර්ධනගේ මේ දැවැන්ත ඉනිමට පහර 43ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ අතර මෙම ඉනිම මෙතෙක් ලබා ඇති සිව්වැනි ඉහලම ලකුණු සංඛ්‍යාවයි. සංගක්කාර සමඟ එක්ව ඔහු ලකුණු 624ක සම්බන්ධතාවයක් ගොඩනඟා ගත් අතර එය එතෙක් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම සම්බන්ධතාවයයි. ශ්‍රී ලංකාව මෙම තරගයේ දී පළමු ඉනිම සඳහා කඩුලු 5කට ලකුණු 756ක් වාර්තා කළ අතර ඉනිමකින් සහ ලකුණු 153කින් තරගය ජයග්‍රහණය කළේය.

167 – 1998 නවසීලන්තයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේ දී 

මෙම තරගයේ දී දැවී ගිය කඩුලු 30න් ජයවර්ධනගේ මෙම ඉනිම හොඳම ලකුණු සංඛ්‍යාව වන අතර ඉන් පසු වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ නේතන් ඇස්ට්ල්ගේ ලකුණු 53යි. අන් කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකය ඉක්මවා තිබුණේ නැත. එය මහේලගේ දක්ශතාවයට සාක්ෂි සපයයි. ඒ වන විට 21 හැවිරිදි ජයවර්ධන නවසීලන්ත දඟපන්දු බලඇණියට එරෙහිව විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට ඉනිමක ජයග්‍රහණයක් ලබා දීමට සමත් විය.

119 – 2006 එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී අසීරු තත්ත්වයකට පත්ව සිටි අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ සටනේ පෙරමුණ ගෙන ඉදිරියට පැමිණියේ තරගය ජය පරාජයකින් තොරව අවසන් කරමිනි. ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී මුළු ලකුණු 192ක් ලබා ගත් අතර මහේල එහි දී ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් විය. ඔහු දෙවන ඉනිමේ දී ලකුණු 119ක් රැස් කළේය. ඔහුගේ උත්සාහය එංගලන්ත ජයග්‍රහණය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන විය. මෙම ශතකය මහේල ලෝඩ්ස් හිදී වාර්තා කළ දෙවන ශතකය විය. 

167 – 2006 දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේ දී 

මෙය දකුණත් පිතිකරුවාගේ ප්‍රබලතම ඉනිමක් ලෙස සැලකේ. ඔහු මෙම ඉනිමේ දී පන්දු 288ක දී හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් එල්ල කළ අතර සත්කාරක පිලට ලකුණු 522ක ඉලක්කයක් ලබා දුන්නේය. මහේලගේ එම ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉවහල් විය.

237 – 2004 දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේ දී 

මෙම ඉනිම දකුණු අප්‍රිකාවට එරෙහිව මහේල ජයවර්ධනගේ තවත් සම්භාව්‍ය ඉනිමක් ලෙස සැලකේ. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 57.48ක සාමාන්‍යයක් පවත්වා ගෙන ඇති අතර එයට ශතක 6ක් ඇතුළත් වේ. 

මහේල දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිම 17ක් ක්‍රීඩා කර ඇත. මෙම තරගයේ දී හොඳ පිතිකරණ මතුපිටක ජයවර්ධන ලකුණු ලබා ගත් අතර ශ්‍රී ලංකාවේ මුළු ලකුණු 486යෙන් ලකුණු භාගයක් පමණ වාර්තා කළේ මහේල විසිනි.

>>රට වෙනුවෙන් වැඩ හතරම කළ හෂාන්<<

275 – 2009 ඉන්දියාවට එරෙහිව අහමදාබාද්හිදී

ඉන්දියාව පළමු ඉනිම සඳහා 426ක් රැස් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ප්‍රබල ප්‍රතිචාරයක් අවශ්‍ය විය. එහෙත් මහේල ජයවර්ධන ඊට වඩා වැඩි යමක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායම තම ඉනිම නිමා කළේ කඩුලු 7කට ලකුණු 760ක් ලෙසිනි. 

මහේල ස්ථාවර ඉනිමක් ගොඩනඟමින් ලකුණු 275ක් වාර්තා කළේය. ඉන්දීය භූමියේ මංගල ජයග්‍රහණයක් ගැන සිහින දැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඉන්දියාව එම තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්වූවද මහේලගේ ඉනිමේ දීප්තිය අඩුකිරීමට සමත්වූයේ නැත. 

මහේල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 149ක් ක්‍රීඩා කළ අතර එහි දී 49.8ක සාමාන්‍යයක් සමඟින් ලකුණු 11814ක් වාර්තා කිරීමට සමත් විය. 

තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව මහේල ජයවර්ධන ක්‍රිකට්වලින් ඈත්වූයේ නැත. පුහුණුකරුවෙකු, ක්‍රිකට් උපදේශකවරයකු ලෙස මහේල තවමත් ක්‍රිකට් සමඟ කාර්‍යබහුල වී ඇත.

ඔබ මින් වඩාත් කැමතිම ඉනිම මොකද්ද? පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<