කැංගරු බිමේ දී ටෙස්ට් ශතක ලැබූ සිංහයන්

127
කවරයේ ඡායාරූපය - සංගක්කාර 2007 හෝබාට් ටෙස්ට් තරගයේ දී ශතකය ලබා ගත් අවස්ථාව (gettyimages)

ඕස්ට්‍රේලියානුවන්  අතීතයේ සිටම  ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් නිසා ඔවුන්ට ප්‍රබල පන්දු යවන්නන්ගෙන් අඩුවක් නොවීය. එම නිසාම කැංගරු බිමේ පැවති ටෙස්ට් තරගවල දී ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ටෙස්ට් ශතක වාර්තා කිරීම ප්‍රතිවාදී පිතිකරුවන්ට ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. 

1988 වසරේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියානු බිමේ දී ටෙස්ට් තරග 15කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා පිතිකරුවන් එහි දී වාර්තා කරගෙන ඇත්තේ ටෙස්ට් ශතක 8ක් පමණි. මෙම ලිපිය මගින් තොරතුරු ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් කැංගරු බිමේ දී ලබා ගත් ටෙස්ට් එම ශතක 8 පිළිබඳව යි.

අර්බුද රැසක් මැද 83 දී සිංහයින් දිනූ ප්‍රථම එක්දින වික්‍රමය

බ්‍රිස්බේන් පිටියේ දී ලකුණු 167ක් ලබා ගත් අරවින්ද 

1989 වසරේ අග භාගයේ දී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියට සහභාගි වීමේ අදහසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා සංචාරය කරන්නට විය. 

එහි දී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී ආරම්භ විය. එම තරගය ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී තරගයක් බවට පත් වූයේ අර්ජුන රණතුංග මුල්ම වරට ටෙස්ට් තරගයක දී සිය කණ්ඩායමට නායකත්වය ලබා දුන් නිසාය. 

එවැනි වටපිටාවක ආරම්භ වූ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමට සඳහා ලකුණු 367ක් ලබා ගන්නට විය. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 114ක් තුළ දැවී යන්නට විය. 

එම අවස්ථාවේ දී පිටියට පිවිසි අරවින්ද ද සිල්වා සුළු මොහොතකින් මර්ව් හියුස් විසින් එවන ලද පන්දුවකට ඔහුගේ අතටම ලබා දුන් උඩපන්දුව හියුස් අතින් ගිලිහී යන්නට විය. එම සිදුවීමෙන් පසුව යළි ජීවය ලද අරවින්ද අනතුරුව බ්‍රිස්බේන් පිටිය පුරා පහරවල් එල්ල කරන්නට විය. 

එදා කැංගරුවන් සතුව සිටි ප්‍රබල වේගපන්දු යවන්නන්ව තඹ දොයිතුවකටවත් මායිම් නොකළ අරවින්ද ලකුණු 167ක් ලබා ගත්තේ අලංකාර හතරේ පහර 17ක් සහ දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි. 

එහි දී  අරවින්ද ලබා ගත් ශතකය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 418ක් ලබා ගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමක් කැංගරු බිමේ පැවති ටෙස්ට් තරගයක දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු ලබා ගත් එකම අවස්ථාව විය. ඊට අමතරව එම තරගය ශ්‍රී ලංකාව කැංගරු බිමේ දී ජය පැරදුමෙන් තොරව අවසන් කළ මුල්ම ටෙස්ට් තරගය ලෙසින් ඉතිහාස ගත විය. 

අරවින්ද ද සිල්වා (gettyimages)

1995/96 ඕස්ට්‍රේලියානු සංචාරයේ දී හෂාන් ලැබූ සටන්කාමී ශතකය 

1995 වසරේ අග භාගයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වූයේ පර්ත් නුවර වැකා පිටියේ දී ය. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 251ට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානුවන් කඩුලු 5ක් දැවී ලකුණු 617ක් ලබා ගත්තේ මයිකල් ස්ලේටර් ලබා ගත් යෝධ ලකුණු 219ක ඉනිමේ උපකාරයෙනි. 

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 366ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 105ක් තුළ දැවී යන්නට විය. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියට පිවිසි හෂාන් තිලකරත්න නායක අර්ජුන රණතුංග සමග එක්ව යළි ඉනිම ගොඩනගන්නට විය. 

එහි දී වටිනා ලකුණු 88ක සබඳතාවයක් ගොඩනැගීමෙන් පසුව නායක අර්ජුන ලකුණු 46කට දැවී ගිය ද සිය කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගැනීම සඳහා අභීත සටනක නිරත වුණු හෂාන් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 119ක් ලබා ගන්නට විය. නමුත් හෂාන්ගේ  එම ප්‍රබල උත්සාහය අසාර්ථක වෙමින් ඔහු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස දැවී ගිය නිසා ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 36ක පරාජයක් උරුම විය. 

හෂාන් තිලකරත්න (gettyimages)

මෙල්බර්න් පිටියේ දී ගුරුසිංහ ලැබූ අගනා ශතකය 

1995 වසරේ බොක්සිං දිනයේ ආරම්භ වූ මෙල්බර්න් ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් කැංගරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 500ක් ලබා ගන්නට විය. ඉන් අනතුරුව සිය  පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 233ක් පමණක් ලබා ගත් නිසා ඔවුන්ට නැවත වරක් පන්දුවට පහර දීමට සිදු විය. 

එදා  ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 267ක් අවශ්‍යව තිබුණු අවස්ථාවක ලංකා කණ්ඩායමේ ගෞරවය බේරා ගත් අසංක ගුරුසිංහ හතරේ පහර 15ක් සමඟින් ලකුණු 143ක් ලබා ගත්තේ සිය කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගනිමිනි.

අසංක ගුරුසිංහ (gettyimages)

ඇඩිලේඩ් පිටියේ දී වාර්තා වූ ජයසූරියගේ මංගල ටෙස්ට් ශතකය 

1994 වසරේ පැවති සිම්බාබ්වේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය අහිමි කර ගත් සනත් ජයසූරිය ඇඩිලේඩ් ටෙස්ට් තරගය සඳහා කැඳවූයේ ආරම්භක පිතිකරු රොෂාන් මහානාමට ආදේශකයෙකු ලෙසිනි. 

එම තරගයේ දී නැවතත් ඕස්ට්‍රේලියානුවන් වෙතින් බැට කෑ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 401ක ඉලක්කයක් හඹා යාමට සිදු විය. එලෙස සිය කණ්ඩායමට ලකුණු අවශ්‍ය වූ මොහොතේ සුපිරි ඉනිමක් දියත් කළ ජයසූරිය හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ටෙස්ට් ශතකය ලබා ගනිමිනි.

එදා ඕස්ට්‍රේලියානු බිමේ දී ජයසූරිය ලබා ගත් එම ශතකයේ අනිකුත් වැදගත්කම වූයේ එය ටෙස්ට් කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය තහවුරු කළ ඉනිම බවට පත්වූ නිසාය.

සනත් ජයසූරිය (gettyimages)

කැංගරු බිමේ දී ටෙස්ට් ශතකයක් ලැබූ මුල්ම ශ්‍රී ලංකා නායකයා 

2004 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කෙයාන්ස් නුවර පැවති ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් කැංගරුවන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 517ක් ලබා ගන්නට විය. 

ඉන්පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 455ක් ලබා ගැනීමට හැකි වූයේ නායක මාවන් අතපත්තු හතරේ පහර 19ක් සමඟින් ලබා ගත් අගනා ලකුණු 133 නිසාය. 

එසේම එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන අනිත් කාරණය වන්නේ ඕස්ට්‍රේලියානු බිමේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 13 අතුරින් ජය පැරදුමෙන් නිමා කර ගත් දෙවන ටෙස්ට් තරගය බවට පත්වූ නිසාය.

මාවන්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බෙලරීව් ඕවල් පිටියේ දී වාර්තා වූ මහේලගේ සටන්කාමී ශතකය 

2007 වසරේ හෝබාට් නුවර බෙලරීව් ඕවල් පිටියේ පැවති සිංහ-කැංගරු ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් කැංගරුවන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 542 ලබා ගන්නට විය.  

ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 163කට දැවී ගොස් තිබූ අවස්ථාවේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ මහේල ජයවර්ධන හතරේ පහර 13ක් සමඟින් සටන්කාමී ලකුණු 104ක් ලබා ගත්තේ සිය කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කරමිනි.

මහේල ශතකය ලබා ගත් අවස්ථාව (gettyimages)

කැංගරු බිමේ දී සංගක්කාර දියත් කළ සුපිරි ඉනිම 

2007 හෝබාට් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් හඹායන්නට සිදු විය. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ කුමාර් සංගක්කාර හතරේ පහර 27ක් සහ එක් හයේ පහරක් සමඟින් අගනා ලකුණු 192ක් ලබා සිටියේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අභීත උත්සාහයක නිරත වෙමිනි.  

නමුත් එම තීරණාත්මක මොහොතේ දී  විනිසුරු රූඩි කර්ස්ටන් ලබා දුන් දුර්වල තීරණය නිසා සටන්කාමී සංගක්කාරගේ අගනා ඉනිම ලකුණු 192 දී නිමාවට පත්විය. එය ලංකා පිතිකරුවෙකු කැංගරු බිමේ දී ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් විය.

සංගක්කාරගේ සටන්කාමී ඉනිමේ අවස්ථාවක් (gettyimages)

දිල්ෂාන්ගේ පිත්තෙන් වාර්තා වූ අගනා ලකුණු 147 

2012 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති හෝබාට් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේ නැංගුරම බවට පත්වූ තිලකරත්න දිල්ෂාන් හතරේ පහර 21ක් සමඟින් ලබා ගත් ලකුණු 147 අවසන් වරට ලාංකීය පිතිකරුවෙකු කැංගරු බිමේ දී ශතකයක් ලබා ගත් අවස්ථාව ලෙසින් සටහන් විය. 

දිල්ෂාන් ශතකය ලබා ගත් අවස්ථාව (ESPNcricinfo)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<