වේගපන්දු යැවූ රොමේෂ් කළුවිතාරණ දන්නව ද?
ඔබ ඔහුව නොදන්නා බවට මට සැකයක් නොමැත. ඔබ වේගපන්දු යැවූ රොමේෂ් කළුවිතාරණ නොදන්නේ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ නිමල් ගුරුසිංහ පියතුමන් නිසාය. ඒ පිළිබඳ කතාව අපි මදකට පසෙකින් තබමු.
ඔබ දන්නේ කඩුල්ල පසුපස සිට “බෝලින් මුරලේ”, “බෝලින් වාසි” යනුවෙන් පන්දු යවන්නන් දිරිමත් කළ, සනත් ජයසූරිය සමඟින් පිටියට පැමිණ පිටිය සිසාරා කස පහරවල් වැනි ප්‍රවේගකාරී පහරවල් එල්ල කරමින් ක්‍රිකට් ලෝකය දෙවනත් කළ රොමේෂ් කළුවිතාරණයි.
“කළු වුනාට හරිම පොඩියි මොරටු පුත්‍රයා
කඩුලු රකින එයා තමයි රොමේෂ් වීරයා”
1996 වසරේ ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟින් ඇන්ටන් සිල්වා නම් ගායකයා ඉදිරිපත් කළ “පුන්සඳ පායා මගෙ රට දිලෙන්නා” නම් එවකට ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය වූ ගීතයේ කළුවිතාරණ හඳුන්වා තිබුණේ එසේය.
Little Kalu (ලිට්ල් කළු), Pocket Rocket (පොකට් රොකට්), Little Dynamo (ලිට්ල් ඩයිනමෝ), Little Dynamite (ලිට්ල් ඩයිනමයිට්)
මේ ටෝනි ග්‍රෙග් සහ අනෙකුත් ක්‍රිකට් විස්තර විචාරකයන් ඔහුව හැඳින්වූ අන්වර්ථ නාමයන්ය.
1996 ලෝක කුසලානය දිනාගන්නට කළු ගෙන් පිතිකරුවෙකු වශයෙන් පමණක් නොව කඩුලු රකින්නෙකු වශයෙනුත් කණ්ඩායමට ලැබුණු දායකත්වය සුළුපටු නොවේ. නමුත් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ නිමල් ගුරුසිංහ පියතුමන් නොවන්නට වේගපන්දු යවන්නෙකු බවට පත්වන්නට දැරූ නොගැලපෙන උත්සාහයක් නිසා කළුවිතාරණ නම් කඩුලු රකින්නා ශ්‍රී ලංකාවට අහිමි වන්නට තිබුණි. ඒ පිළිබඳව කළු සිහි කරන්නේ මෙසේය.
“බ්‍රදර් ගුරුසිංහ කියන්නෙ ඒ කාලෙ මගෙ පාසල වුන මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගොඩාක් කැපවුන පුද්ගලයෙක්. මගෙ නිවස තිබුනෙ පාසලට අල්ලපු වැටේ නිසා මම බ්‍රදර් ගුරුසිංහව නිතරම ග්‍රවුන්ඩ් එකේ දකිනව. විකට් එක හදන වැඩේ ඉඳන් හැමදේටම මහන්සි වෙලා බ්‍රදර් ගුරුසිංහ තාත්තෙක් වගේ ඉස්කෝලෙ ක්‍රිකට්වලට මහන්සි වුනා.
ඒ කාලෙ මම පාසල් කණ්ඩායමේ නායකයා. මට ආසාවක් තිබුණා වේගපන්දු යවන්නෙක් වෙන්න. ඒ කාලෙ බ්‍රදර් ගුරුසිංහට මාස තුනක කාලයකට විදේශ ගත වෙන්න සිදු වුනා. ඉතින් බ්‍රදර් නැති දවස් ටිකේ මම කඩුලු රකින අත් ආවරණ පැත්තකින් තියලා වේගපන්දු යවන්න පටන් ගත්තා.
කොහොමහරි වේගපන්දු යවලා මම පළවෙනි මැච් එකේ විකට් දෙකක් හරි තුනක් හරිත් ගත්තා. හැබැයි ඉතින් මට තේරුණා මේක මගෙ වැඩේ නෙවෙයි කියලා. මොකද වේගපන්දු යවන්නෙකුට ඕන උස මට තිබුනෙ නෑ. අනික මට කඩුලු රැකීමට කැමැත්තකුත් තිබුණා.
කොහොමත් බ්‍රර්ද ආපහු ආවට පස්සෙ මට කිව්වා කරුණාකරල කඩුලු රකින්න කියලා. ඒක නිසා මම ආයෙත් කඩුලු රකින්න පටන් ගත්තා. එතනින් පටන් ගත්ත ගමන තමයි මාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා වෙනකල්ම අරන් ගියෙ.”
පාසල් ක්‍රිකට් හමාර කළ පසුව කළුවිතාරණට ජාත්‍යන්තර තරගබිමට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර වන්නේ 1990 වසරේ දී ය. එම වසරේ දෙසැම්බර් මාසයේ 08 වැනිදා ඉන්දියාවේ මාර්ගාවෝ නගරයේ නේරු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තුන්වැනි එක්දින තරගය සඳහා ඔහුව තෝරාගැනීමට එවක තේරීම් කමිටුව කටයුතු කරන ලදී.
නමුත් කළු එම තරගයට සහභාගී වූයේ කණ්ඩායමේ කඩුලු රකින්නා වශයෙන් නොවේ. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු රැකීමේ කාර්යයේ යෙදුණේ හෂාන් තිලකරත්නයි. විශේෂඥ පිතිකරුවෙකු ලෙස තරගයට එක් වූවත් එම තරගයේ දී පන්දුවට පහර දීමේ අවස්ථාව කළුවිතාරණට හිමි වූයේ නැත. ඒ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 136කට දැවී යාමත්, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමත් නිසාය.
ඉන් අනතුරුව 1991 වසරේ පෙබරවාරි මාසයේ දී නවසීලන්තයට එරෙහිව තමාගේ දෙවැනි එක්දින තරගයට ආරම්භක පිතිකරුවෙකු ලෙස සහභාගී වූ කළුවිතාරණට එහි දී ලබා ගත හැකි වූයේ ලකුණු 14ක් පමණි.
පසුව 1992 වසරේ අගෝස්තු මාසයේ 06 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නට කළුවිතාරණ සමත් විය. එම තරගයේ දී කළුවිතාරණ හට පන්දුවට පහර දීමට යාමට සිදු වූයේ කඩුලු ත්‍රිත්වයක් බේරා ගැනීම සඳහාය.
ලකුණු 127ක් ලබාගෙන හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අර්ජුන රණතුංග දිවා ආහාර විවේකය ආසන්න වී තිබිය දී ග්‍රෙග් මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඊළඟ පන්දුවෙන් මාවන් අතපත්තු දැවී ගියේ මැතිව්ස් හට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අවස්ථාව උදා කරමිනි. නමුත් ඒ මොහොතේ තරගය දිවා ආහාරය සඳහා නතර කිරීමට විනිසුරුවන් තීරණය කළ නිසා කඩුලු ත්‍රිත්වය බේරාගැනීම උදෙසා පිටියට පැමිණීමට කළුවිතාරණට තවත් මිනිත්තු 45ක් බලාසිටින්නට සිදුවිය.
එය කළුවිතාරණ සිහි කරන්නේ මෙලෙසිනි.
“තරගෙ දවසෙ උදේ පන්දර තමයි මම දැනගත්තෙ සෙල්ලම් කරනවා කියලා. ඉතින් ඒක ඇත්තටම සුවිශේෂී තරගයක් වුනා. මට යන්න වුනේ හැට්‍රික් එකක් බේරගන්න. ඇත්තටම මට යන්න වුනේ වුනේ ක්‍රීඩයන් දෙන්නෙක් එක ළඟ දැවුනට පස්සෙ. මාවන් තමයි අන්තිමට දැවුණේ. දැවෙනකොටම ලන්ච් වලට නැවැත්තුවා. ඒ විනාඩි හතලිස් පහ මට දවස් දෙකක් වගේ දැනුණා. මොකද මට ටෙස්ට් පිටියෙ මගෙ පළවෙනි තරගෙ ඉස්සලාම බෝලෙට කරන්න තිබුනෙ හැට්‍රික් එකක් බේරගන්න එක.
මට මතකයි ලන්ච් වෙලාවෙ මම මොනවත් කෑවෙත් නෑ. ඊට සුමානෙකට කලින් එස්.එස්.සී එකේම මට සීයක් ගහන්න පුළුවන් වුනා. ඒකත් එක්ක මගෙ කොන්ෆිඩන්ස් ලෙවල් එක උඩින් තිබුණා. ඉතින් මං හිතුවා ලොකුවට ඔලුවට දාගන්නෙ නැතුව දන්න දේ කරන්න ඕන කියලා. ඒක ලොකු රුකුලක් වුනා ඒ ප්‍රබල පන්දු යවන්නන් ඉදිරියේ මුහුණ දෙන්න.
මම හතරේ සීමාවෙන් පිටිය ඇතුලට යනකොටම ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අය මට මතක් කරල දුන්න මේක මගෙ පළවෙනි තරගෙ කියලා. මම එන්නෙ මොකටද කියලත් මතක් කරල දුන්නා. ඒ වගේම මේක ක්ලබ් මැච් එකක් වගේ නෙවෙයි, මේක ටෙස්ට් මැච් එකක් කියන එකත් කියල මාව පහතට දාන වචන ගොඩක් කිව්වා. මම ඒ ඔක්කොටම හිනා වුනා. මං කලබල වුනේ නෑ. ටෙස්ට් තරගයකට යනකොට මං කලබල වුනොත් මට පාඩුයි කියන එක මට කියල දීල තිබුණා.
කොහොමහරි මගෙ වටේට කුඩයක් වගේ පන්දු රකින්නො දාල තිබුනෙ. ස්ලිප් ක්‍රීඩකයො දෙන්නෙක් එක්ක මගෙ වටේටම පන්දු රකින්නො දාල එයාල විනාඩි දෙකක් විතර බෝලෙ දාන්නෙ නැතිව හිටිය මට පීඩනයක් දෙන්න. මට තාම මතකයි ලොකු පීඩනයක් තිබුණ පළවෙනි බෝලෙට මුහුණ දෙනකොට.”
එසේ දැඩි පීඩනයක් යටතේ තම පළමු පන්දුවට සාර්ථකව මුහුණ දුන් කළු තම මංගල ටෙස්ට් ඉනිමේම ශතකයක් වාර්තා කළ ක්‍රීඩකයන් අතලොස්සට එක් වන්නට සමත් වූයේ පන්දු 158ක් තුළ වේගවත් ලකුණු 132ක් රැස් කරමිනි. එම ඉනිම හතරේ පහර 26කින් වර්ණවත් විය. පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 547ක් රැස් කරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට වඩා ලකුණු 291ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් අවසානයේ ලකුණු 16කින් එම තරගය පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ ඉතා අවාසනාවන්ත අයුරිනි.
එහි දී පළමු ඉනිමේ අසාර්ථක වූ ශේන් වෝන් දෙවන ඉනිමේ තරගය ඕස්ට්‍රේලියානුවන් දෙසට පෙරලන්නට සමත් වූයේ ශ්‍රී ලංකා අවසන් කඩුලු පෙළ සීමිත ලකුණු ගණනක් තුළ දවා ගන්මිනි.
ඒ පිළිබඳව කළුගේ අදහස මෙසේය
“ඕස්ට්‍රේලියාව ක්‍රිකට්වල දී විතරක් නෙවෙයි ඕනෑම ක්‍රීඩාවක දී මොනම වෙලාවකවත් තරගය අත් හරින්නෙ නෑ. තරගය පරදිනව කියල දැනගත්තත් අන්තිම පන්දුව වෙනකල් සටන් කරනවා. ඒ තරගයෙදි ශේන් වෝන්ට පළවෙනි ඉනිමෙ මොනවත් කරන්න බැරි වුනා. ඔහු හොඳට පන්දු යැව්වත් අපේ අය ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දුන්නා. නමුත් දෙවැනි ඉනිමෙදි ඔහු අමුතුම පිබිදීමක් එක්ක අපිව දවාගෙන තරගය වෙනස් කළා”
තම මංගල ඉනිමේම ශතකයක් රැස් කළත් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය පරාජය වීම පිළිබඳව කළුට ඇත්තේ කනගාටුවකි. නමුත් එහි වාඩුව හොඳහැටි පියවාගනට 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඔහුට අවස්ථාව ලැබුණි.
සනත් ජයසූරිය හා එක්ව ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්නට දායක වීම පිළිබඳව කළුවිතාරණට ඇත්තේ විශාල අභිමානයකි. එම වකවානුවේ දී ජයසූරිය – කළුවිතාරණ යන ආරම්භක පිතිකරණ යුගලයේ නම ඇසුණ පමණින් බොහෝ පන්දු යැවීමේ බලඇණි සලිත වී ගිය බව රහසක් නොවේ. ලෝක කුසලානය ජයග්‍රහණය කරන මාවත ශ්‍රී ලංකාවට විවර කර දුන්නේ මේ ජයසූරිය – කළුවිතාරණ සුසංයෝගය බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි.
ඒ පිළිබඳව කළු සිහිකරන්නේ මහත් අභිමානයකින් යුතුවය.
“මං නොම්බර 7 ක්‍රීඩා කරමින් ඉන්න කොට 1995 බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියෙ තමයි මාව සනත් එක්ක ආරම්භක පිතිකරණයට යොදා ගන්නෙ. ඒ තරගාවලිය අපි ඕස්ට්‍රේලියාවත්, බටහිර ඉන්දීය කොදෙව්වනුත් එක්ක තුන්කොන් තරගාවලියක් විදිහට පැවැත්වුනේ. අපට අවසන් මහා තරගයට යන්න නම් තරග 4න් 3ක් ජයග්‍රහණය කරන්න වුනා. ඒකෙදි පළවෙනි තරගයෙම මම ලකුණු 75ක් ලබාගෙන තරගයේ වීරයා වෙනවා.
ඊට පස්සෙ තරග තුනක් එක දිගට අපි හොඳට සෙල්ලම් කරල අවසාන මහා තරගයට යන්නත් පුළුවන් වුනා. ඒක අපිට ලෝක කුසලානයට යන්න ලොකු රුකුලක් වුනා. මොකද අපිට ඒ වෙලාවෙ මුරලිගෙ ප්‍රශ්නයත් තිබුණා. ඒ වගේම ඒ තරගාවලිය ඇතුලෙ අපිට ලොකු අසාධාරණකම් වුනා. ඒවත් එක්ක ලෝක කුසලානයට යනකොට අපි මානසිකව ගොඩක් ශක්තිමත් වෙලා හිටියෙ.
සනත් එක්ක ක්‍රීඩා කරන්න ලැබුණ එක මගෙ ජීවිතේ පුදුම ජයග්‍රහණයක්. සනත් කියන්නෙ පුදුම හැකියාවක් තිබුණ ක්‍රීඩකයෙක්. ලෝකෙ හිටපු හොඳම ආරම්භක පිතිකරුවෙක්. වැඩි කතාවක් නැතුව ප්‍රතිඵල පෙන්නපු අංගසම්පූර්ණ ක්‍රීඩකයෙක්. අපි දෙන්න එකට පන්දුවට පහර දෙන්න යනකොට පුදුම අභිමානයක් දැනුණා. සනත් එක්ක එකට යනකොට දැනුන ඒ හැඟීම මතක් වෙනකොට අදටත් මට හරිම ආඩම්බරයි.”
කළු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේ විවිධ වකවානුවල දී පුබුදු දසනායක, චාමර දුනුසිංහ, ගාමිනී වික්‍රමසිංහ, ඈෂ්ලි ද සිල්වා වැනි දක්ෂ කඩුලු රකින්නන් 9 දෙනෙකු සමඟ කණ්ඩායමේ කඩුලු රකින ස්ථානය සඳහා සටන් කළ බව කියැවේ. එහි දී ක්‍රිකට් දිවිය පුරාම ඔහුට 8 වතාවක් පමණ කණ්ඩායමෙන් ඉවතට විසිවන්නට සිදු විය.
වැදිබණ නොකියූ වැඩ්ඩන්ගේ වදන්
ඒ බොහෝ අවස්ථාවල කණ්ඩායමෙන් ඉවතට යෑමට කළුට සිදු වූයේ තමා ගැන නොසිතා කණ්ඩායමට අවශ්‍ය සේවය ලබා දීම වෙනුවෙන්ම කැපවූ නිසාය. විශේෂයෙන්ම එක්දින තරගවල කළු ක්‍රීඩා කළ අංක 7 ස්ථානය පන්දුවට පහර දීමට පහසු ස්ථානයක් නොවේ. එම ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට එක්දින තරගයක දී ලකුණු 20කට 25කට වැඩියෙන් ලකුණු රැස් කිරීමට අවකාශ හිමිවන්නේ නැත.
එසේම පිටියට පැමිණි මොහොතේ පටන් විශාල පහරවල් එල්ල කරමින් ලකුණු රැස්කළ යුතු නිසා දැවී යාමට ඇති ඉඩකඩ ද බෙහෙවින් වැඩිය. මේ හේතූන් නිසා කළුගේ පිතිකරණ සාමාන්‍යය තරමක් පහළ මට්ටමක තිබූ බැවින් ඔහු පිතිකරුවෙකු ලෙසින් එතරම් දක්ෂයෙකු ලෙසින් බොහෝ අවස්ථාවල හැඳින්වූයේ නැත. එනිසාම වරින් වර කණ්ඩායමෙන් ඉවතට විසිවන්නට කළුට සිදු විය.
නමුත් ඒ සෑම අවස්ථාවකම ක්‍රීඩා සමාජ තරගාවලි තුළ තම දස්කම් පෙන්වමින් තමා කවුරුන් දැයි ඔප්පු කොට පෙන්වා නැවතත් ජාතික කණ්ඩායමට පැමිණීමට කළු සමත් විය.
කණ්ඩායමට පැමිණි මුල් අවධියේ ඔහු වෙත එල්ල වී තිබූ පීඩනය නිසාම කඩුලු රැකීම ඔහුට අභියෝගයක් වශයෙන් දැනී තිබූ නමුත් කාලයත් සමඟ අත්දැකීම්වලින් පරිණත වන විට කඩුලු රැකීමේ කාර්යය විනෝදයක් බවට පත් කරගන්නට කළුවිතාරණ සමත් විය. ඒ පිළිබඳව සහ 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී සචින් තෙන්දුල්කාර්ගේ ස්ටම්ප් කිරීම පිළිබඳව කළු මෙලෙසින් අදහස් දක්වයි.
“කඩුලු රකින අතරෙ සින්දු කියන තරමටම මම කඩුලු රැකීමේ අත්දැකීම සතුටින් වින්දා. මං මගෙ තරග අත්දැකීම් එක්ක ඒ විදිහට ක්‍රීඩාව විඳින්න ඕන කරන පරිසරය හදාගත්තා. ඕනම දෙයක් විඳින්න පටන් ගත්තම ඒක අමාරු දෙයක් විදිහට දැනෙන්නෙ නෑ. එතකොට ඒක තවත් හොඳට කරන්න පුළුවන්.
සචින්ගෙ ස්ටම්ප් කිරීම ගැන කියනව නම් ඒක ලංකාවෙ ක්‍රිකට් වෙනස් කරපු ස්ටම්පින් එකක්. ඒ නිසාම මමත් ඒකට කැමතියි. මට තේරුණා සචින් ගහපු විදිහට ඔහු තව ටිකක් ගැහුව නම් අපි මැච් එක පරදිනවා කියලා. එයා අවුට් වෙච්ච ගමන් මම කිව්වා මැච් එක ඉවරයි කියලා. මොකද විකට් එක එන්න එන්නම කඩතොළු වෙලා පන්දුව එහා මෙහා පනින්න, කැපෙන්න පටන් ගත්තා. හැබැයි සචින්ගෙ හැකියාව නිසාම කාටවත් ඒක පේන්න තිබුනෙ නෑ. ඒක අපිට සමීපම ස්ටම්ප් කිරීම නිසා ක්‍රිකට් ලෝලීන් තවමත් ඒ ස්ටම්ප් කිරීම ගැන කතා කරනවා.”
2004 වසරේ දී කළු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කිරීම එකල බොහෝ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් හට විශාල වේදනාවක් එක් කළ සිදුවීමක් විය. ඒ වන විට සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනාගෙන ඔවුන්ගේ හදවත් තුළ සදාතනික වීරයෙකු බවට පත්ව සිටි ඔහු කඩුලු රකින ස්ථානය වෙනුවෙන් අවසන් සටනට මුහුණ දුන්නේ කුමාර් සංගක්කාර සමඟය.
සංගක්කාරගේ ආගමනයත් සමඟ තමාට විශ්‍රාම ගැනීමට කාලය පැමිණ ඇතැයි වැටහුණු බවත්, සංගක්කාරට ඉදිරියට යෑමට අවස්ථාව ලබා දීම උදෙසා තමා ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවත් කළු සඳහන් කරන්නේ මෙලෙසිනි.
“මම එළියට ගිය හැමවෙලේම මම හිතුවෙ මට වඩා හොඳ කෙනෙක් ආවොත් මම අයින්වෙනව කියලා. ඒක නිසා තමයි මම එළියට ගිය හැමවෙලේම මම හොඳයි කියන එක පෙන්නලා ආයෙමත් කණ්ඩායම ඇතුලට ආවෙ. මම කුමාර් දැක්කම මට තේරුණා මෙයා අනිත් අයට වඩා විශේෂයි කියලා.
හැබැයි මම නිකන්ම එයාට අවස්ථාව දුන්නෙ නැහැ. මම පොඩ්ඩක් බැලුවා ඇත්තටම මෙයා හොඳයි ද කියලා. එතකල් මම අතහැරියෙ නෑ. හැබැයි එක සංචාරයක් ආව මම කණ්ඩායමේ 20 දෙනා අතරට නම් නොකරපු. එවෙලෙ මම හිතුව හරි, මේක තමයි වෙලාව කියලා. ඇත්තටම මට තවත් ක්‍රීඩා කරන්න තිබුණා. හැබැයි හැපි හැපී තවත් ඉන්න මම කැමති වුනේ නැහැ. එතකොට ඒක එයාටත් වෙන අසාධාරණයක් කියන එක මට හැඟුණා. එතනින් ඉදිරියට අරන් යන්න කියන එක මට කියන්න බැහැ. ඒක කාටවත් කියන්න බැහැ. ඉතින් මං ඒක හිතින් හිතාගෙන අයින් වුනා.
මොකද මටත් මගේ මුල් අවධිය මතක් වුනා. ඒ කාලෙ පීඩනයත් එක්ක කඩුලු රකින වෙලාවෙ මගේ අත් දෙක යකඩ අත් ආවරණ දාගෙන වගේ තිබුනෙ. පීඩනය නිසා අත්වල සැහැල්ලු බවක් තිබුනෙ නෑ. ඒ පීඩනය එයාට දෙන්න මම හිතුවෙ නෑ. ඒකයි මම හිතුවෙ ඒ වෙලාවෙ මම අයින් වුනොත් කාගෙන්වත් ප්‍රශ්නයක් නැතිව අමාරු කාලෙ ගතකරල අනාගතේ දී එයා හොඳ කඩුලු රකින්නෙක් වෙයි කියලා.”
ඒ කළු තම සමුගැනීම ගැන සිහි කළ අයුරුය..
කිසිදා තම පුද්ගලික න්‍යාය පත්‍රවලට ක්‍රිකට් නොගැසූ කළු වැනි ක්‍රීඩකයන් ක්‍රිකට් ලෝකය තුළ දුර්ලභය. පුද්ගලික අරමුණු පසෙක තබා කණ්ඩායම වෙනුවෙන් ඉටු කළයුතු සේවාව උපරිමයෙන් ඉටු කළ විශිෂ්ටයෙකු වශයෙන් කළුවිතාරණ නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ සටහන් වී හමාරය.
පුරාවෘතයක් වශයෙන් ක්‍රීඩාවෙන් සමුගන්නට සියල්ලන්ටම නොහැක. එසේ සමුගත්ත ද පුරාවෘතයක් ලෙසින් ප්‍රේක්ෂක හදවත් තුළ සදාකල් ජීවත් වන්නට සියල්ලන්ටම නොහැක..
කළු එවැනි පුරාවෘතයකි…
(රොමේෂ් කළුවිතාරණ ThePapare.com සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.)
Image Credits: Getty Images
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<