අපේ ඉලක්කය ඔබේ කණ්ඩායම නොවේ. ඔබ ශ්‍රී ලංකාවේ දී ඉතාම ආරක්ෂිතයි

(දෙවැනි කොටස)

1330
Getty Images

1992 නොවැම්බර් මාසයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපිට නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතා ඉලක්ක කරගනිමින් පුපුරවා ගත් එල්. ටී. ටී. ඊ. බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක නවසීලන්ත කණ්ඩායම නැවත වතාවක් අසීරුතාවයකට පත්වූ ආකාරය අප කලින් ලිපියෙන් හෙළිදරව් කළෙමු.

බෝම්බ වරුසා මැද පැවති අනූදෙකේ නවසීලන්ත සංචාරය

1992 වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. ගාලු මුවදොර අසල ටාජ් සමුද්‍රා හෝටලය අසලින් විශාල පිපුරුම්…

තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යෑමට හෝ අතර මැද නතර කිරීම වෙනුවෙන් ලැබුණේ මනාප නමය බැගිනි. එබැවින් සංචාරය බොහෝ දුරට අවලංගු වන සෙයක් පෙන්නුම් කෙරුණි.

මේ බව ක්‍රීඩකයින් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට ද දැනුම් දුන්නේය. ටාජ් සමුද්‍රා බෝම්බයෙන් දිනක් ගත වෙද්දී නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා පීටර් මැක්ඩමර්ට් මහතා ශ්‍රී ලංකාව බලා පියාසර කළේය.

ඔහුගේ මූලික අරමුණක් වූයේ තරගාවලිය දිගටම පවත්වා ගෙන යාමට ක්‍රීඩකයින්ට නැවත වතාවක් සලකා බලන ලෙස දැන්වීමයි. නමුත් ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ සහ පුහුණුකරුවාගේ තීරණය වෙනස් වූයේ නැත. ඒ වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයින් ආදේශ කරනු ලැබුණි.

නවසීලන්ත කණ්ඩායමේ පරිණතම ක්‍රීඩකයින් දෙදෙනා වූ මාටින් ක්‍රෝ සහ ඇන්ඩෲ ජෝන්ස්ගේ මතය වූයේ තරගාවලිය දිගටම කරගෙන යෑමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය යහපත් බවයි.

නමුත් නවසීලන්ත රජයෙන් හෝ අන්තර් ජාතික ක්‍රිකට් සභාවෙන් තරගාවලිය ඉදිරියට කරගෙන යා යුතුම යැයි බලපෑමක් කණ්ඩායමට නොවීය.

නමුත් තරගාවලිය අවලංගු වුවහොත් නැවත වතාවක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පිටියේ හුදකලා වන තත්වයක් තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ඉන් විශාල බලපෑමක් ඇති කරන බව පෙන්නුම් කෙරුණි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙළඳ ගනුදෙනු සඳහා ද අවලංගු කෙරෙන සංචාරය විශාල බලපෑමක් එල්ල කළේය. මේ කරුණු සියල්ල නිසි පරිදි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව තීරණය කෙරුණේ තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යෑමටයි.‍

පීටර් මැක්ඩමර්ට් /www.rnz.co.nz

“අපිට කිසිම ක්‍රීඩකයෙකු පීඩනයකට පත් කරන්න උවමනා වුනේ නැහැ. ඔවුන් සියලුම දෙනා ඒකමතිකව කැමති වුනොත්  ශ්‍රී ලංකා සංචාරය එතන දී ම අවලංගු කරනවා” මැක්ඩමර්ට් මහතා ශ්‍රී ලංකාවට පිටත් වීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

1992 ශ්‍රී ලංකා සංචාරය ඇරඹෙන සමයේත් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ළඟා වී තිබුණේ නැත. එබැවින් බොහෝ ක්‍රීඩකයින්ට තම වෘත්තිය ගැන මෙන්ම ජීවිතය ගැන ද තීරණයක් ගැනීමට සිදු වී තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටි නවසීලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපතිවරයාට අමුතුම තාලයේ දුරකතන ඇමතුමක් ලැබෙන්නේ මේ අතරවාරයේ දී ය. මැක්ඩමර්ට් මහතා ඇමතූ පුද්ගලයා පැවසුවේ තමා දමිළ ඊලාම් විමුක්ති සංවිධානයේ සාමාජිකයෙකු බවයි.

“යමෙකු මා ඇමතුවා. ඔහු කිව්වා තමා දමිළ ඊලාම් විමුක්ති සංවිධානයේ සාමාජිකයෙකු බව. ඔහු මට ඔහුගේ නම සහ දුරකතන අංකය පවා ලබා දුන්නා. ඔහු මට පැවසුවේ ඔබේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී ඉතාම ආරක්ෂිතයි. ඒ ගැන සහතිකයක් දීමට මට කතා කළ බවක්.”

තවදුරටත් කතා කළ පුද්ගලයා පැවසුවේ තමන් ඇතුළු අනෙකුත් තම සංවිධානයේ සාමාජිකයින් ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින්ම කැමති බවයි. තමා පළමු ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට යෑමට අදහස් කරගෙන සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

“අපේ ඉලක්කය ඔබේ කණ්ඩායම නොවේ. ඔබ ශ්‍රී ලංකාවේ දී ඉතාම ආරක්ෂිතයි. අපි ආගන්තුකයින් ඉලක්ක කර ගෙන පහර දෙන්නේ නැහැ. අනික එහෙම දෙයක් කළොත් අපට ලැබෙන විදේශ අරමුදල් එහෙමම නැති වෙනවා.”

තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට හිතකර එකක් වූයේ නැත. ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියෙන් ද ඔවුන්ට අයත් වූයේ දරුණු පරාජයකි.

1992 වසරේ නවසීලන්ත කණ්ඩායම මෙහි රැඳී සිටිමින් තරගාවලිය දිගටම කරගෙන යෑමට එකඟ වූ බැවින් එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් මනා සුරක්ෂිත බව නිසාම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමති වූහ.

ශ්‍රී ලංකාවේ තිබූ ආරක්ෂක තත්වය අනුව වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට ක්‍රීඩකයින්ට කිසිදු අවකාශයක් තිබුණේ නැත. උදේ හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යෑමත්, ක්‍රීඩා කිරීමත්, නැවත රාත්‍රියේ හෝටලයට පැමිණීමත් නවසීලන්ත ක්‍රීඩකයින්ගේ දෛනික කාර්‍ය වී තිබුණි.

“1992 ශ්‍රී ලංකා සංචාරය ඉතාම අමාරු එකක්. විශේෂයෙන්ම රට තොට බලාගන්න බැරි වීම ලොකු අඩුපාඩුවක්” ඇතැම් නවසීලන්ත ක්‍රීඩකයින් සිය කනස්සල්ල පළ කළේය.

මේ තරගාවලියෙන් පසුව මම සෑහෙන සතුරන් පිරිසක් නිර්මාණය කරගත්තා. බොහෝ දෙනෙක් කිව්වේ මම ක්‍රීඩකයින්ට අනවශ්‍ය බලපෑම් කළා කියල. නමුත් ඒ ගැන මගේ කිසිම පසුතැවීමක් නැහැ.” මැක්ඩමර්ට් මහතා පසු කලෙක ප්‍රකාශ කළේය.

පුදුමයකට මෙන් 2002 වසරේ නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඔවුන් නැවතී සිටි හෝටලය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගියේය. එවකට නවසීලන්ත ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා මාටින් ස්නේඩන් කිසිම අවදානමක් ගැනීමට කැමති වූයේ නැත. ප්‍රහාරය සිදු වූ වහාම ඔහු නවසීලන්ත කණ්ඩායම වහාම නවසීලන්තයට ගෙන්වා ගත්තේය. අන් සියල්ලටම ඉහළින් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තිබෙන බව ස්නේඩන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<