ස්මිත්ගේ ආදේශකයා නිසා කැන්ගරුවෝ තරගය බේරා ගනිති!

1686
Action Images via Reuters

සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ක්‍රියාත්මක වූ අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (18) නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. ඒ සිව්වැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිළ තරගය අවසන් වනතුරුම කෙසේ හෝ කඩුලු ආරක්ෂා කර ගැනීමට සමත් වීම හේතුවෙනි. කෙසේවෙතත් සමස්ථයක් ලෙස මෙම තරගය ඉතාමත් සුවිශේෂී සිදුවීම් රැසකගෙන් පිරුණු චමත්කාරජනක තරගයක් බවට පත්විය.

තලන තරමට පදම් වන ස්මිත් ශතක දෙකක් සමඟින් තරගය දිනවයි!

පිටියක් මැද හුදකලා වන පිතිකරුවෙකුට ප්‍රතිවාදී පන්දු රකින්නන් 11 දෙනෙකුගෙන් එල්ල වන පීඩනය මැද…

අළු බඳුන තරගාවලිය යටතේ ලෝඩ්ස් පිටියේ දී පැවති ටෙස්ට් තරගයක් වසර 20කට පසුව ජය පැරදුමකින් තොරව නිමා වීමට ප්‍රධානම හේතුව වූයේ තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී යාමයි. තරගයේ දෙවැනි දිනයේ සුවිශේෂීත්වය වූයේ එය පෙනහළු පිළිකාවක් නිසා මියගිය හිටපු එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රවුස්ගේ බිරිඳ වන රූත් ස්ට්‍රවුස් වෙනුවෙන් නම්කර තිබීමයි. ඒ වෙනුවෙන් ලෝඩ්ස් පිටිය රතු පැහැයෙන් සැරසී තිබූ අතර එදිනට එක්රැස් වන අරමුදල් පිළිකා රෝගය හේතුවෙන් අසරණ වී සිටින ජනතාවට පිහිට වීම වෙනුවෙන් යොදා ගනු ඇත.

දෙවැනි දිනයේ දී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු පිළේ ආරාධනයෙන් එංගලන්තය ඉනිම ආරම්භ කළ අතර ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබා ගැනීමට සමත් වූහ. ඒ ප්‍රථම තරගයේ දී ශතකයක් වාර්තා කළ රෝරි බර්න්ස් සහ පසුපෙළ පිතිකරු ජොනී බෙයාස්ටෝගේ අර්ධ ශතක දෙකේ පිහිටෙනි. ඔවුන්ගේ මුල් කඩුලු 6 ලකුණු 138ක් තුල බිඳ වැටුනද ලකුණු 250 පසු කිරීමට ක්‍රිස් වෝක්ස් ලබාගත් ලකුණු 32 ද උපකාරී විය. පන්දු යැවීමේ දී හැස්ල්වුඩ්, කමින්ස් සහ ලයන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ගරුවන්ටද ලෝඩ්ස් තණතිල්ල එතරම් හිතකර නොවූ අතර ඔවුන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 102කට බිඳ වැටුණි. එහිදී තරගාවලිය තුල පිට පිටම තෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු පිළේ ගැලවුම්කරුවා බවට පත්වූ ස්ටීවන් ස්මිත් සටන්කාමී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. පසුගිය තරගයේ ඉනිම දෙකේදීම ශතක වාර්තා කරගත් ඔහු තවත් ශතකයක් කරා පියවර මනිද්දී ජොෆ්රා ආචර් එවූ මාරාන්තික බවුන්සර් පන්දුවක් ඊට හරස් කැපීය. එම පන්දුව ලකුණු 80ක් ලබාසිටි ස්මිත්ගේ ගෙල ප්‍රදේශයේ තදින් ගැටීම නිසා ඔහුට නැවතත් ක්‍රීඩාගාරයට හැරී යාමටද සිදුවිය.

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට්…

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස්ගේ අවාසනාවන්ත වෙන්ව යාම නැවතත් මතකයට නැංවූ මෙම සිදුවීමෙන් පසු නැවතත් ස්ටීවන් ස්මිත් පන්දුවට පහරදීමට පැමිණෙනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත. නමුත් විනාඩි 40කට පමණ පසු නැවතත් පිටියට පිවිසි ස්මිත් වේදනාව සඟවාගෙන ලකුණු 92ක් රැස් කරමින් තම කණ්ඩායමට සවියක් විය. ඔහුගේ සටන්කාමී ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් විය. මේ නිසාවෙන්ම ඕස්ට්‍රේලියානු පිළට සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 250ක් ලබා ගැනීමට ද හැකිවිය.

ලකුණු 8ක ඉදිරියක් සමඟින් තම දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත පිළේ මුල් කඩුලු දෙකම ලකුණු 9දී පිට පිටම දවා ගැනීමට පැට් කමින්ස් සමත් විය. කෙසේවෙතත් ඔහු ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට තරම් වාසනාවන්ත වූයේ නැත. එතැන් පටන් ජෝ ඩෙන්ලි සහ රෝරි බර්න්ස් අතරේ ගොඩ නැගුණු අර්ධ ශතක සබඳතාවය නිමා කරමින් නැවතත් තරගය කැන්ගරුවන් වෙත විවර කර දුන්නේ පීටර් සිඩ්ල් විසිනි. ඔහු පිට පිටම පන්දුවාර 2කදී මෙම සබඳතාවයට හවුල් වූ ක්‍රීඩකයින් දෙදෙනාම දවා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි.

නමුත් ඉන් අනතුරුව බෙන් ස්ටෝක්ස් සහ ජෝස් බට්ලර් ක්‍රියාත්මක වෙමින් තරගය නැවතත් එංගලන්ත පිළේ ග්‍රහණයට ගත්හ. තරගයේ පළමු සහ එකම ශතකය වාර්තා කරගත් බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 115යි. තම ක්‍රිකට් දිවියේ ස්වර්ණමය අවධිය ගත කරන ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ඒ අනුව කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබාගත් පසු ඉනිම අත්හිටුවීමට එංගලන්තය පියවර ගත්තේ තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමේ බලාපොරොත්තු ඇතිවයි. මෙම තරගය අතරේදීත් විනිසුරුවරුන්ගේ වැරදි තීරණ රාශියක්ම දැක ගැනීමට හැකිවූ අතර සමහර තීරණ DRS අවස්ථා මගින් ආපසු හැරවෙද්දී සමහර තීරණ එලෙසින්ම බලාත්මක විය.

වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසා…

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 267ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිළ පස්වැනි දිනය අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා සිටියේ තරගය ජය පැරදුමකින් තොරව අවසන් කරමිනි. එහිදී ඔවුන්ගේ මුල් කඩුලු 3 ලකුණු 47ක් තුලදී දැවී ගියද ස්මිත්ගේ ආබාධය නිසා කණ්ඩායමට ආදේශ වූ මාර්නස් ල’බුශේන් සහ ට්‍රැවිස් හෙඩ් තම කණ්ඩායම අවදානම් කලාපයෙන් මුදා ගැනීමට සමත් වූහ. ස්ටීවන් ස්මිත් වෙනුවට ල’බුශේන් කණ්ඩායමට ඇතුළත් වූයේ අගෝස්තු පළමුවෙනිදා සිට මොළයේ සෙලවීමක් නිසාවෙන් ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෙකු වෙනුවට ඒ ආකාරයේම වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ICCය අවස්ථාව ලබාදෙන නිසාවෙනි.

ලොව හොඳම ටෙස්ට් පිතිකරුවෙකු වන ස්ටීවන් ස්මිත් නොමැති අඩුව මකා දැමූ ල’බුශේන් ඊයේ හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේ පන්දු 100කට මුහුණ දෙමිනි. තරගය අවසන් වන තුරුම පිටියේ රැඳී සිටි ට්‍රැවිස් හෙඩ් ලකුණු 42යි. කෙසේවෙතත් එංගලන්තය වෙනුවෙන් මෙම තරගය දිනවා දීමට උපරිම වෙහෙසක් දැරූ ජොෆ්රා ආචර් සහ ජැක් ලීච් කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූහ. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ අවශ්‍යම මොහොතේ ශතකයක් කරා ගිය බෙන් ස්ටෝක්ස් විසිනුයි.

පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝක කුසලානය ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා දීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට්…

ඒ අනුව මෙම තරගයේ ප්‍රතිඵලයත් සමඟ ICC ටෙස්ට් ලෝක ශූරතාවයේ ලකුණු 8 බැගින් කණ්ඩායම් දෙකටම හිමිවූ අතර මේ වනවිට ඕස්ට්‍රේලියාව (32) සහ එංගලන්තය (08) ලකුණු සටහනේ පිළිවෙලින් අංක 2 සහ 3 ස්ථාන වල රැඳී සිටියි. ලකුණු 60ක් ලබා ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ඊයේ නවසීලන්ත පිළ විශිෂ්ට අන්දමින් පරාජය කළ ශ්‍රී ලංකාවයි. අළු බඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා ලීඩ්ස් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

එංගලන්ත (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 77.1)

රෝරි බර්න්ස් 53, ජොනී බෙයාස්ටෝ 52, ක්‍රිස් වෝක්ස් 32, ජෝ ඩෙන්ලි 30, ජෝ රූට් 14, ජෝශ් හැස්ල්වුඩ් 3/58, පැට් කමින්ස් 3/61, නේතන් ලයන් 3/68.

ඕස්ට්‍රේලියා (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 250 (පන්දුවාර 94.3)

ස්ටීවන් ස්මිත් 92, උස්මාන් කවාජා 36, ටිම් පේන් 24, පැට් කමින්ස් 20, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/65, ක්‍රිස් වෝක්ස් 3/61, ජොෆ්රා ආචර් 2/59.

එංගලන්ත (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 258 (පන්දුවාර 71)

බෙන් ස්ටෝක්ස් 115*, ජෝස් බට්ලර් 31, ජොනී බෙයාස්ටෝ 30*, රෝරි බර්න්ස් 29, ජෝ ඩෙන්ලි 26, පැට් කමින්ස් 3/35, පීටර් සිඩ්ල් 2/54.

ඕස්ට්‍රේලියා (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 154 (පන්දුවාර 47.3)

මාර්නස් ල’බුශේන් 59, ට්‍රැවිස් හෙඩ් 42*, කැමරෝන් බැන්ක්‍රොෆ්ට් 16, ජොෆ්රා ආචර් 3/32, ජැක් ලීච් 3/37.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<