අඩු පන්දුවාර වේග ගැටලුව විසඳී ඇතැයි තරංග විශ්වාසයෙන්

491

සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අද (20) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර ඊට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේ කණ්ඩායම අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීමේ ගැටලුව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවත් ඒ අනුව ඉන්දියාව සමඟ තරගාවලියේ දී පන්දුවාර නියමිත කාලය තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ය.

මාලිංගගේ සුවිශේෂී තරගයට පෙර

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින තරගය…

පසුගිය ජුනි මාසයේ දී පැවති ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය අතරතුර දී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් උපුල් තරංග හට තරග තහනම් ලකුණු 2ක් හිමි වූ අතර ඒ අනුව ඔහුට තරග 2ක තහනමක් පැනවුණි. ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයට පෙර එවකට කණ්ඩායම් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටි නිසා එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ උපුල් තරංග ය.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 යැවීම සඳහා පැය 4කට අධික කාලයක් වැයකොට තිබූ අතර තරග තීරක ඩේවිඩ් බූන් කාලය ලබාදීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකා කණ්ඩායමට එම කාලය අවසානයේ පන්දුවාර 4ක් ඉතිරිව තිබුණි.

“අපි මේ (අඩු පන්දුවාර වේගය) ගැටලුව පිළිබඳව ගොඩක් සාකච්ඡා කළා. ඇන්ජෙලෝ මැතිව්ස්ටත් මෙම ගැටලුව වෙනුවෙන් අවවාද හිමිවෙලා තිබෙනවා. මම හිතන්නේ ඒකෙ වගකීම තියෙන්නේ පන්දු රකින්නන්ට වගේම පන්දු යවන්නන්ට. අපිට හෙමින් කටයුතු කරන්න බැහැ. ඒ නිසා අපි අපේ සාකච්ඡාවල දී වේලාවට පන්දුවාර අවසන් කර ගන්න විදිහ ගැන කතා කළා. වේලාවට පන්දුවාර අවසන් කරලා තරග තහනම් ලැබෙන ඒක වළක්වා ගන්න එක ගොඩක් වැදගත් දෙයක්.” තරංග පවසා සිටියේ ය.

ICCයේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩකයින් සම්බන්ධ පුද්ගලයින් වෙනුවෙන් ඇති ආචාර ධර්ම සංග්‍රහයේ 2.5.2 වගන්තියට අනුව නියමිත කාලය තුළ දී පන්දුවාර ප්‍රමාණය යැවීමට අපොහොසත් වුවහොත් ඉන් අනතුරුව යවන පළමු පන්දුවාර 2 සඳහා ක්‍රීඩකයින් හට තරග මුදලින් 10%ක මුදලක් ද තවත් පන්දුවාර සඳහා තරග මුදලින් 20%ක දඩ මුදලක් ද පැනවෙන අතර කණ්ඩායමේ නායකයාට තරග තහනම් ලකුණු 2ක් ද හිමි වේ.

තරග තහනම් ලකුණු 2ක් ටෙස්ට් තරගයකට, එක්දින තරග 2කට හෝ පන්දුවාර 20 තරග 2කට සමාන වන අතර ඉන් අනතුරුව පළමුව එන තරග සඳහා එය අදාළ වේ. ඒ අනුව තරංග ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්ථාන කණ්ඩායම් සමඟ පැවති තරග සඳහා තහනම් වූ අතර එම තරගය ක්‍රීඩා කළ සෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුම තරග මුදලින් 60%ක දඩ මුදලකට ද යටත් විය.

අතීතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව දඟපන්දු යවන්නන් කිහිප දෙනෙක්ම සිටි අතර ඒ අනුව නියමිත කාලය ඇතුළත පන්දුවාර 50 යැවීම එතරම් අපහසු කාර්යයක් වූයේ නැත. නමුත් පසුගිය කාලය පුරාවට මෙය විශාල ගැටලුවක් විය.

ශ්‍රී ලංකාව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය පරාජයට පත්වීමෙන් පසුව ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එක්දින තරගාවලියක් සඳහා මෙම තරගාවලියේ දී උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමට නිළ වශයෙන් නායකත්වය ලබා දෙන්නේ පළමු වරට වේ.       

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට