දකුණු ආසියාවේ වේගය, ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුව – හිමාෂ ඒෂාන්

314
Himasha Eashan

දහසය වසරක දකුණු ආසියාතික වාර්ථාවක් අලුත් කරමින්, හිමාෂ ඒෂාන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආවේ පසුගියදා ඉන්දියාවේ ගුවාහටී හිදී අවසන් වූ දකුණු ආසියාතික තරගවලදී (SAG Games) මීටර් 100 අංශයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.

ඉතිහාස පොතට එක් වූ සිය ජයග්‍රහණයේ කතාව ඒෂාන් අප හා දිග හැරින්නේ, මව්බිමෙන් පිටත්ව කෙළිමඩලට යාමට ගුවන් යානයට පය තැබූ තැන සිටය.

“ශූරතාවලිය සඳහා මම රටින් පිටවීමට පෙර තෝරාගැනීමේ තරග වලදී, තත්පර 10.36 ක මගේ හොඳම කාලය මා වාර්ථා කර තිබුණා. මට රන් පදක්කම දිනා ගැනීමට හැකි වේවි කියා ඒ විශ්වාසයත් සමඟ මා දැන සිටියා. ඒ අනුව මම වැඩි අවධානයක් යොමු කර තිබුණේ පදක්කමටත් එහා ජයග්‍රහණයක් වාර්ථා කරමින් ඉන්දීය මලල ක්‍රීඩකයෙක් සතු වූ වාර්ථාව මගේ නමින් තබන්නටයි.”

ආරම්භය සනිටුහන් කරනා පිස්තෝල නාදය ගුවන පුරා ගිඟුම් දුණි. නොසිතූ ලෙසින් ඒෂාන් ආරම්භයේදී මදක් පසු බා සිටියේය. මාස ගණනක පුහුණුවීම් සහ දැඩි ධෛර්යමත් බවත් සමඟ එක් වූ ධාවන ශූරත්වය, ඇස්පිල්ලක් ගහන ඇසිල්ලෙන් සියල්ල පසුකර ඉදිරියට යන්නට ඔහුට ඉඩ සලසා දුණි. ඒෂාන්  තරගකරුවන් එකා පසුපස එකා පසුකරමින් දිනුම් කනුව දෙසට ඉගිලෙන්නට විය. ඉතින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් හිමාෂ ඒෂාන් කිරුළු පළදමින් ඔහු අවසන් මායිම පසු කළේ තත්පර 10.26 ක වාර්ථාවක් ද සනිටුහන් කරමිනි.

Himasha Eashan

“බලාපොරොත්තු නොවුණු ලෙස අසාර්ථක ආරම්භයකට මා මුහුණ දුන්නා. ආරම්භය හොඳ වුණා නම් මට තත්පර 10.16 ක වාර්ථාවක් පිහිටුවමින් ඔලිම්පික් සුදුසුකම් ලබන තලයට යාමට හැකි වීමට තිබුණා. කෙසේවෙතත් දහසය වසරක් පුරාවට පැවති වාර්ථාවක් බිඳිමින් ඉසව්ව නිම කරන්න ලැබීම මට ඉතා සතුටට පත්වියය හැකි කරුණක්”

මින් පෙර මෙම වාර්තාව තබා තිබුනේ, තත්පර 10.37 කාළයකින් ඉසව්ව නිම කළ ඉන්දීය මලල ක්‍රීඩක අනිල් කුමාර ය. ඒ 1999 වර්ෂයේදීය.

Himasha Eashan

රන් පදක්කම් ලාභී හිමාෂ තම ජයග‍්‍රහණයේ මඟ හෙළි පෙහෙළි කරගත්තේ දැනට දශකයකට පමණ පෙර පාසල් නිවාසාන්තර කී‍්‍රඩාවල දී මීටර් 75 සහ 100 යන තරග අංශයන්ට සහභාගීවෙමිනි. දිස්තී‍්‍රක් සහ පළාත් මට්ටමේ තරග ජයග‍්‍රහණ අත්පත් කරගැනීමෙන් පසුව, ජයග‍්‍රහණ ලබා ගැනීම ඔහුගේ පුරුද්දක් බවට පත් විය. ජවන හා පිටිය කී‍්‍රඩා තරගවල දී ඔහු දැක් වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඔහුට දොඩන්ගොඩ මහා විද්‍යාලයෙන් කළුතර මහා විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබුණි.

ඒෂාන් තම මංගල වාර්ථාව පිහිටු වනු ලැබුවේ 2004 දි පැවති දිස්ති‍්‍රක් කී‍්‍රඩා උළලේ වයස අවුරුදු 11 න් පහළ මීටර් 100 ඉසව්වට සහභාගී වෙමිනි. ඔහු තැබූ එම තරග වාර්ථාව අදටත් නොබිඳී පවතී. එතැනින් ලබාගත් ආරම්භයෙන් ඉදිරියටම ගිය ඔහු 2013 වසරේ දී ශී‍්‍රමත් ජෝන් ටාර්බට් මලල කී‍්‍රඩා උළලේ මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කමකට හිමිකම් කීය. සමුදුරෙන් එතෙරට තම තරග කෞෂල්‍ය විදහා දැක් වූ  ඔහු, ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ නව තරග වාර්තාවක් තබන්නට සමත්විය. 80 වැනි ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව් වාර්ථාවට ද හිමිකම් කියන්නේ ඔහු යි.

“යමෙකුගේ සාර්ථකත්වය මණිනු ලබන්නේ ඔහු සිටින තත්ත්වය අනුව නොව එම ගමන් මඟේදි ලද බාධක ජයගැනීම මතය’’ යනුවෙන් යැයි පැරණි කියමනක් ඇත. එම කියමනට අනුව ඒෂාන් ගේ කී‍්‍රඩා දිවියේ දෙදරීමක් ඇති කරමින් 2012 වසරේ දී තහනම් උත්තේජක භාවිතය සම්බන්ධ චෝදනාවෙන් ඔහුට මාස නමයක තරග තහනමකට මුහුණ දීමට සිදුවිය.

‘‘අවාසනාවකට වගේ තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් මම වැරදිකරුවෙක් උනා. ඒක හරිම අවාසනාවන්ත සිදුවීමක්, මොකද මම එහෙම දෙයක් ගැන දැනගෙන හිටියෙවත් නැහැ. ඒ අවස්ථාවේ මගේ පවුලේ අය වගේම මගේ පහුණුකරු මාත් එක්කම එකට හිටපු එක ඇත්තටම මට ලොකු හයියක් උනා. එයාලගේ උදව්වත් එක්ක මම ඒ දුෂ්කර මාස නමයක කාලය කොහොමහරි ගෙවාගත්තා. ඇත්තටම අදටත් මට ඒක මහ බියකරු හීනයක් වගේ. ’’

එම බාධකය ජයගත් ඔහු නැවතත් තරග බිමට අවතීර්ණ වූයේ ජෝන් ටාබට් මලල කී‍්‍රඩා තරගාවලියේ නව තරග වාර්ථාවක් බිහිකරමිනි. නමුත්, අවාසනාව යනු, හිමාෂ ඒෂාන් වැනි දක්ෂතා වලින් පරිපූර්ණ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් අප සතුව ඇතත්, ඔවුන්ට අත දී නගා සිටුවීමට මලල කී‍්‍රඩා සංගමය අවශ්‍ය මට්ටමෙන් සහයෝගය නොදැක්වීමයි.

Himasha Eashan

‘‘ඇත්තටම මේ වගේ තීරණාත්මක වෙලාවක ඔවුන් අපිට ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා නම් ඒක අපිට ලොකු ශක්තියක්. ළගදීම ඔලිම්පික් තරග පැවැත්වෙනවා, අපි කී‍්‍රඩකයෝ හැමෝම මේ මොහොතේ ඉන්නේ ඉතාම හොඳ මට්ටමක. ඒ නිසා මේ තමයි මලල කී‍්‍රඩා සංගමයේ උදව් අපට ඉහළින්ම අවශ්‍ය වෙන, වඩාත් තීරණාත්මක වගේම හොඳම කාළය.’’

ඔහු මේ වනවිටත් දකුණු ආසියානු කළාපයේ වේගවත් ම මිනිසා බවට පත් වී හමාරය. ඔලිම්පික් පරිසාධන මට්ටමට ළගාවීමට ඇති කඩඉම පසුකිරීමට ඔහු සිටින්නේ තප්පර 0.10 ක් තරම් පසුපසිනි. මෙවන් සුපිරි ශූරයෙකුට බලධාරීන්ගෙන් ලැබිය යුතු පූර්ණ සහයෝගය ලැබීමට මීටත් වඩා අන් කුමන කරුණු පැවසිය යුතුද?

අවසානයේ, නව යෞවනයේ පසුවන මෙම ජයග‍්‍රාහකයා තම දෙමව්පියන්ට සහ ඔහුගේ පවුලේ සියළුම දෙනාට, තමන් සමඟ මෙතෙක් කල් එක ලෙස රැඳී සිටියාට ස්තූතිය පල කර සිටියේය. තම දක්ෂතාවයන් ඔප මට්ටම් කරගනිමින් මව්බිමට අභිමානයක් ගෙනදෙන්නට, ලබාදුන් පුහුණුව සහ මගපෙන්වීම වෙනුවෙන් ඔහුගේ පුහුණුකරු වන චමින්ද පෙරේරා ට තම හද පිරි ස්තූතිය පුදකිරීමට ද ඔහු අමතක නොකලේය.

දකුණු ආසියාවේ සුපිරි වේගය දැන් ශී‍්‍ර ලංකාව සතුව ඇත. යම් දිනක අපට ලෝකයේ වේගවත් මිනිසා බිහිවනු දැකිය හැකිවේද?

හිමාෂ ඒෂාන්, ඔබට ThePapare.com අප සියළු දෙනාගේම සුභ පැතුම්!