පාකිස්තානු හිටපු ආරම්භක පිතිකරුවෙක්ට කොරෝනා වැළඳෙයි

89

2000 වසර ආරම්භයේ දී පාකිස්තානය සතුව සිටි දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වූ තෞෆික් උමාර් හට Covid-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. 

>>මහේල ජයවර්ධන 2006 දී පී සාරා පිටියේ පෑ වික්‍රමය

පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 44ක් සහ එක්දින තරග 22ක් ක්‍රීඩා කර තිබෙන උමාර් එම තරග රටා දෙක තුලම ලබාගෙන තිබෙන මුළු ලකුණු ප්‍රමාණය 3467කි. ඒ අතරට ටෙස්ට් ශතක 7ක්, අර්ධ ශතක 14ක් සහ එක්දින අර්ධ ශතක 3ක් ඇතුළත් වේ.  

උමාර් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරගය වන්නේ 2014 වසරේ නවසීලන්තය සමඟ ඩුබායි හිදී පැවති ටෙස්ට් තරගය වන අතර එහි දී ඔහුට සාර්ථක දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. කෙසේ නමුත් මේ වන විට වයස අවුරුදු 38ක් වන ඔහු 2018 වසර තුල දී එරට පළමු පෙළ ක්‍රිකට් සමාජ තරගාවලිය ක්‍රීඩා කර තිබේ. 

මේ වන විට පාකිස්තාන ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන නමුත් මේ වයිරසය ආසාදනය වූ පළමු පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ උමාර් ය.

2001 වසරේ දී අගෝස්තු 29 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මුල්තාන් හිදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ඔහු එම වසරේම ඔක්තෝබර් 27 වැනිදා සාහ්ජා හිදී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු එක්දින තරගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තේය. 

>>ඕස්ට්‍රේලියා ක්‍රිකට් අනාගතය ගැන සුබ ආරංචියක්

පාකිස්තානු ජාතික කණ්ඩායමේ එක්දින සහ ටෙස්ට් සංචිතයෙන් ඉවතට ගිය අවස්ථාවන් තුනක දී පමණ නැවතත් දස්කම් අතරට පැමිණ ජාතික කණ්ඩායමේ ස්ථානය දිනා ගත් ක්‍රීඩකයෙක් ලෙස උමාර් සැලකේ. 

පාකිස්තානයේ මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 54,000 ඉක්මවා තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් ගණන 17,000 ඉක්මවා තිබේ. එසේම පාකිස්තානය තුල 1133කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Covdi-19 වයිරසයට ගොදුරු වී සිටින තෞෆික් උමාර් ඇතුළු සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ආරක්ෂිතව සිටින්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<