සංචිතයක ක්‍රීඩකයන් ගණන වැඩි කිරීමට ICC අවසර දෙයි

749

ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨ තරගාවලි සඳහා සහභාගී වන කණ්ඩායම්වල ක්‍රීඩක සංචිතයන්ට අමතර ක්‍රීඩකයන් හෝ සහය කාර්‍යමණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකු එක්කර ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අවසර ලබා දී ඇත.

කොරෝනා වසංගත නිරෝධායන නීති නිසාවෙන් එම තීරණය ගැනීමට ඔවුන් කටයුතු කර ඇති අතර එම නිසාවෙන් ජුනි මාසයේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා ක්‍රීඩකයන් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් රැගෙන යාමට ඉන්දීය කණ්ඩායමට අවසර ලැබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ඊයේ (01) මෙම අමතර ක්‍රීඩකයන් එක් කරගැනීමට අවසර ලබා දීමට තීරණය කර තිබුණා.

එම තීරණය පිළිබඳව සටහනක් තබමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සඳහන් කර තිබුණේ නිරෝධායන නීති සහ ජෛව ආරක්ෂිත බුබුළු නිසාවෙන් කණ්ඩායම්වලට අමතර ක්‍රීඩකයන් හෝ සහය කාර්‍යමණ්ඩල සාමාජිකයන් 7 දෙනෙකු එක්කර ගැනීමට අවසර ලබා දීමට තමන් බලධාරීන් තීරණය කළ බවයි.

තවත් ක්‍රිකට් පුවත්:  

එමෙන්ම කාන්තා එක්දින පිටියේ පවතින “batting powerplay” පන්දුවාර 5 ඉවත් කිරීමටත් තරගයක ලකුණු සමවුවහොත් සුපිරි පන්දුවාරයක් පැවැත්වීමටත් එම සාකච්ඡාවේ දී තීරණය කර තිබුණා.

මීට අමතරව සියලු සම්පූර්ණ කාන්තා කණ්ඩායම් සඳහා එක්දින සහ ටෙස්ට් පූර්ණ වරම් ලබා දීමටත්, 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි කාන්තා විස්සයි විස්ස තරග සියල්ලම අන්තර්ජාතික ක්‍රිකට් තරග ලෙස පැවැත්වීමටත් එහි දී තීරණය කර තිබුණා.

මෙම වසරේ දී බංග්ලාදේශයේ පැවැත්වීමට තිබූ වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානය පවතිනා කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් කල් දැමීමට ද එම සාකච්ඡාවේ දී තීරණය කර ඇත.

“කොරෝනා වසංගතය නිසාවෙන් බොහෝ රටවල්වල කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් පුහුණු කිරීම් සහ සංවර්ධනය කිරීමේ වැඩසටහන් හරි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුන නිසා මේ වසරේ අග දී ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සූදානම් වීමට කණ්ඩායම්වලට අපහසුයි. එම නිසා මෙම තරගාවලිය 2023 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වෙයි” යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම එම තරගාවලිය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරග දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන නිසාවෙන් ඒ සඳහා සූදානම් වීමට කණ්ඩායම් සඳහා විශාල අවස්ථාවක් හිමි වේ.

එම සාකච්ඡා අතරතුර දී ඕස්ට්‍රේලියානු ජාතික Mel Jones සහ නවසීලන්ත ජාතික Catherine Campbell හට කාන්තා කමිටුවේ පූර්ණ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කර සිටියා.

එමෙන්ම එම සාකච්ඡාව තුළ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙහි ක්‍රීඩක ආදේශ කිරීම් පිළිබඳව සාකච්ඡාවට ගෙන තිබුණා.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන කණ්ඩායම් සඳහා සහය වීමට ඇමරිකානු ඩොලර් මිලියන 5ක අරමුදලක් ගොඩ නැගීමට ද එම සාකච්ඡා තුළ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<