Meiyappanගේ ඔක්තෝබර් විප්ලවයෙන් කැලඹුණ T20 පිටිය

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

969

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තෙවැනි දිනයේ දී සුවිශේෂී දක්ෂතාවක් දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පා දඟපන්දු යවන Karthik Meiyappan සමත් වුනා. ඒ මෙවර ලෝක කුසලානයේ පළමු ත්‍රිත්ව කඩුලු ලාභියා බවට පත් වෙමින්.

Meiyappan විසින් බිඳ හෙළනු ලැබූ කඩුලු ත්‍රිත්වය, විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල 5 වැන්න වන අතර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 39 වැන්නයි.

2021 ඔක්තෝබර් 08 වැනිදාට යෙදුණ තම 21 වැනි උපන්දිනය දා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නා Meiyappan ඉන් වසරකුත් දින 10ක් ගෙවී ගිය තැන වාර්තා කරන ලද කඩුලු ත්‍රිත්වය, UAE ක්‍රීඩකයෙක් විස්සයි විස්ස තරගයක දී මෙන් ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී වාර්තා කරන ලද පළමු ත්‍රිත්ව කඩුලු අවස්ථාව ලෙසයි සටහන් වෙන්නේ. එමෙන් ම එය ICC පූර්ණ සාමාජිකත්වය නොලත් රටක ක්‍රීඩකයන් විසින් පූර්ණ සාමාජිකත්වය හිමි රටකට එරෙහිව ලෝක කුසලාන තරගාවලියක වාර්තා කළ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් ද සටහන් වෙනවා.

ලෝක කුසලාන තරගවල ත්‍රිත්ව කඩුලු ලැයිස්තුව

Bowler Team Against Batsman How Out
 

1

 

Brett Lee

(2007)

 

ඕස්ට්‍රේලියාව

 

බංග්ලාදේශය

Shakib Al Hasan Ct. Adam Gilchrist
Mashrafe Mortaza Bowled
Alok Kapali LBW
 

2

 

Curtis Campher

(2021)

 

අයර්ලන්තය

 

නෙදර්ලන්තය

Colin Ackermann Ct. Neil Rock
Ryan Doeschate LBW
Scott Edwards LBW
 

3

 

වනිඳු හසරංග

(2021)

 

ශ්‍රී ලංකාව

 

ද. අප්‍රිකාව

Aiden Markram Bowled
Temba Bavuma ඇ. පැතුම් නිස්සංක
Dwaine Pretorius ඇ. භානුක රාජපක්ෂ
 

4

 

Kagiso Rabada

(2021)

 

ද. අප්‍රිකාව

 

එංගලන්තය

Chris Woakes Ct. Anrich Nortje
Eoin Morgan Ct. Keshav Maharaj
Chris Jordan Ct. David Miller
 

5

 

Karthik Meiyappan

(2022)

 

UAE

 

ශ්‍රී ලංකාව

භානුක රාජපක්ෂ Ct. Kashi Daud
චරිත් අසලංක Ct. Vriitya Aravind
දසුන් ශානක Bowled

ශ්‍රී ලංකාවට එරෙහිව Geelong හී Kardinia Park ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ මේ ත්‍රිත්ව ශතකයට ගොදුරු වූයේ භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ නායක දසුන් ශානකයි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 117 නතරව තිබූ අතර ක්‍රියාත්මක ව තිබුණේ ඉනිමේ 15 වැනි පන්දුවාරයයි.

මෙම තරගයේ දී Meiyappan විසින් යැවුණ පළමු පන්දුවාරයේ දී හයේ පහරක් සමඟ ලකුණු 10ක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා සමත් වුනා. එය ඉනිමේ 8 වැනි පන්දුවාරය වූ අතර එම ප්‍රහාරය හේතුවෙන් ම නැවත Meiyappan කැඳවෙන්නේ 13 වැනි පන්දුවාරයේ දී.

ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ පැතුම් සහ භානුක රාජපක්ෂයි. එම පන්දුවාරයේ දී ඔවුන් දෙදෙනාට ලබා ගැනීමට හැකි වන්නේ ලකුණු 4ක් පමණයි.

අනතුරුවයි ඒ තීරණාත්මක පන්දුවාරය යැවෙන්නේ. එම පන්දුවාරයේ පළමු පන්දු දෙක පැතුම් මුහුණ දුන් අතර ලකුණු 2ක් සහ 1ක් ලබා ගනිමින් ඔහු අන්තය මාරු කර ගන්නවා. ඊළඟ පන්දුවේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වන අතර සිව්වැනි පන්දුවේ දී භානුකගේ ඉනිම අවසන් කිරීමට Meiyappan සමත් වෙනවා.

එම කඩුල්ල දවා ගැනීමට Deep cover ස්ථානයේ සිට පන්දු රැකි Kashif Daud ඔහුට දායක වෙනවා. ඒ වෙද්දී පැතුම් සහ භානුක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21ක දී ලකුණු 25ක් රැස් කරගෙන සිටියා.

අනතුරුව පිටියට පිවිසියේ 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංකයි. තම 25 වැනි විස්සයි විස්ස තරගයේ 25 වැනි ඉනිමට පිටියට පිවිසි ඔහුගේ ඉනිම එක් පන්දුවකට පමණක් සීමා කිරීමට Meiyappan සමත් වෙනවා. ඊට කඩුල්ල පිටුපස සිටි Vriitya Aravind උඩ පන්දුව රැක ගනිමින් දායකත්වය දක්වනවා.

Meiyappanගේ ත්‍රිත්ව කඩුලු විප්ලවයේ අවසන් කඩුල්ලට ගොදුරු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක. දසුන්ගේ පිත්ත පරයමින් Meiyappanගේ පන්දුව කෙළින් ම කඩුල්ලේ ගැටෙමින් ඒ අසිරිමත් මොහොත ඔහු විසින් උදා කර ගන්නවා.

සංක්‍රමණික Meiyappan

ඉන්දියාවේ චෙන්නායි හී උපත ලද Karthik Meiyappan වයස අවුරුදු 12 දී සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිවිසි අයෙක්. එතැන් UAE ගෙවෙන ඔහු Jebel Ali හී The Winchester පාසලේ ඉගනුම ලබන අතර ම ක්‍රිකට් ක්‍රීඩාවට ද පිවිසෙනවා.

Meiyappan පළමු වරට UAE කණ්ඩායමක් නියෝජනය කරන්නේ වයස අවුරුදු 18 දී. ඒ 2018 බංග්ලාදේශයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සඳහා. එම තරගාවලියේ දී Meiyappan තරග 3කට සහභාගී වෙමින් කඩුලු 4ක් ලබා ගන්නා ලද අතර පිතිකරුවෙක් ලෙස ලබා ගත් ලකුණු සංඛ්‍යාව 14ක්.

අනතුරුව ඊට පසු වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඔහු සහභාගී වෙන්නේ කණ්ඩායමේ නායකත්වය ද දරමින්. එම තරගාවලියේ තරග 3ක දී ඔහුට ලබා ගත හැකි වන්නේ ලකුණු 7ක් පමණයි.

පන්දු යවන්නෙක් ලෙසින් බංග්ලාදේශයට එරෙහිව කඩුල්ලක්, ශ්‍රී ලංකාවට එරෙහිව එක ම පන්දුවාරයේ ලබා ගත් කඩුලු 2ක් සහ නේපාලයට එරෙහිව කඩුලු 2ක් සමඟින් කඩුලු 5ක් ලබා ගන්නවා.

එම තරගාවලියට සහභාගී වී හරියට ම මාස 3ක් ඉක්ම ගිය තැන Meiyappanට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික කණ්ඩායමට එක්වීමට ඇරයුම් ලැබෙනවා. ඒ එරටේ දී පැවති ඇමරිකාව සහ ස්කොට්ලන්තය සහභාගී වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා.

ඒ අනුව UAE 83 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඇමෙරිකාවට එරෙහිව තම මංගල තරග වරම් දිනා ගැනීමට Meiyappan සමත් වෙනවා. නමුත් මංගල තරගයට සහභාගී වූ Meiyappanට එම තරගය අවසන් කිරීමට සිදු වන්නේ ඉතා අවාසනාවන්ත ක්‍රීඩකයෙක් ලෙසයි.

පිතිකරුවෙක් ලෙසින් ඔහුගේ ඉනිම එක් පන්දුවකට පමණක් සීමා වෙන අතර පන්දු යවන්නෙක් ලෙසින් එම තරගයේ දී පන්දුවාර 8ක් යැවුව ද, ඔහුට එකදු හෝ ප්‍රතිවාදී කඩුල්ලක් දවා ගැනීමට හැකි වන්නේ නැහැ.

දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙන අතර නැවතත් ඇමරිකාව සමඟ පැවති දෙවැනි තරගයේ දී ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි වන්නේ නැහැ.

අනතුරුව  තරගයේ දී ඔහු ස්කොට්ලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙන අතර මංගල කඩුල්ල වාර්තා කරන්නේ එම තරගයේ දී. ඔහුගේ මංගල ගොදුර වන්නේ ස්කොට්ලන්ත නායක Kyle Coetzer. එම තරගයේ දී UAE කණ්ඩායම කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට සමත් වෙන අතර Meiyappan ලකුණු 39කට කඩුලු 2ක් දවා ගන්නවා.

එම තරගාවලියෙන් පසුව ඔහුව 2020 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන සංචිතය සඳහා ද කැඳවෙන අතර දකුණු අප්‍රිකාවේ පැවති එම තරගාවලියේ දී ඔහුට ලබා ගත හැකි වන්නේ තරග 5ක දී කඩුලු 4ක් පමණයි.

එම වසරේ දී ම Emirates ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංක්‍රමණික ක්‍රීඩකයන් 10 දෙනෙක් සඳහා එරට හවුල්කාර කොන්ත්‍රාත් සාමාජිකත්වය පිරිනැමුණ අතර Meiyappan ද එහි එක් සාමාජිකයෙක් බවට පත් වුනා.

2021 වසරේ දී UAE විස්සයි විස්ස සංචිතය සමඟ පළමු වරට එක් වෙන Meiyappan එම වසරේ ම ඔක්තෝබර් මාසයේ දී පැවති අයර්ලන්තය සංචාරයට එක් වෙනවා.

පළමු තරගයේ දී බංකුවේ සිටි ඔහුට හරියට ම ඔහුගේ 21 වැනි උපන්දිනය දා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වරම් හිමි වෙනවා. එය ජයට සැමරූ ඔහු එම තරගයේ දී ලකුණු 25කට කඩුලු 4ක් බිඳ හෙළන ලද අතර එම දක්ෂතාව ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරෙනවා.

තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන Meiyappan මේ දක්වා UAE කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 8කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 13කට සහභාගී වී සිටිනවා. එහි දී එක්දින කඩුලු 10ක් සහ විස්සයි විස්ස කඩුලු 21ක් ඔහුගේ ගිණුමේ දැනට තැන් පත් ව තිබෙන්නේ ලබා ගත් කඩුලු ත්‍රිත්වයේ ආඩම්බරකාරකමත් සමඟයි.

Meiyappanට පෙර තවත් 4ක්

ලෝක කුසලාන තරග වටය ආරම්භ වීමට ප්‍රථම පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී මෙවර තවත් ත්‍රිත්ව කඩුලු අවස්ථා 4ක් වාර්තා වීම කැපී පෙනුණා.

එහි පළමුවැන්න නෙදර්ලන්තය සහ හොංකොං අතර තරගයේ දී වාර්තා වෙන්නේ නෙදර්ලන්තයේ දකුණතින් වේගපන්දු යවන 32 හැවිරිදි වියේ පසුවෙන Logan van Beek ලබා ගත් කඩුලු ත්‍රිත්වයත් සමඟින්.

එහි දෙවැන්න හිමි වන්නේ මෙරට ක්‍රීඩකයෙක් වන චමල් සඳුන්ට. සයිප්‍රස් කණ්ඩායම නියෝජනය කරන 32 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ඔහු මේ දක්ෂතාව දක්වන්නේ තුර්කි කණ්ඩායමට එරෙහිවයි.

එහි තෙවැන්න ද තවත් ශ්‍රී ලාංකිකයෙක්ට හිමි වෙනවා. ඒ චෙක් රාජ්‍යය නියෝජනය කරන 40 වියැති දකුණතින් වේගපන්දු යවන සුදේෂ් වික්‍රමසේකර. ඔහු තම දක්ෂතාව දක්වන්නේ Estonia රාජ්‍යයට එරෙහිවයි.

අනතුරුව Estonia රාජ්‍යයේ 29 හැවිරිදි  දකුණතින් වේගපන්දු යවන Habib Khan ප්‍රංශයට එරෙහිව මේ දක්ෂතාව දක්වනවා.

මීට පෙර කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයෝ

විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවෝ පළමු වරට කඩුලු ත්‍රිත්වයකට ගොදුරු වන්නේ 2009 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී. ඒ නවසීලන්ත කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යැවූ Jacob Oram හමුවේයි. ඇන්ජලෝ මැතිව්ස්, මාලිංග බණ්ඩාර සහ නුවන් කුලසේකර ඊට හවුල් වෙනවා.

ප්‍රතිවාදී කණ්ඩායමකට කඩුලු ත්‍රිත්වයක් ප්‍රදානය කළ මෙරට පළමු සහ එක ම ක්‍රීඩාංගණය වන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයයි.

අනතුරුව 2017 වසරේ දී ඉසුරු උදාන, මහේල උඩවත්ත සහ දසුන් ශානක පාකිස්තානයේ දකුණතින් වේගපන්දු යැවූ Faheem Ashraf හට ගොදුරු වෙමින් මේ ලැයිස්තුව දිගු කරනවා.

ඊට වසර 2කට පසු නැවත වතාවක් පාකිස්තානය ඉදිරියේ ම අපේ ක්‍රීඩකයෝ තිදෙනෙක් අසරණ වෙනවා. ඒ දකුණතින් වේගපන්දු යැවූ Mohammad Hasnain හමුවේ භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ ශෙහාන් ජයසූරිය තම කඩුලු අහිමි කර ගනිමින්.

පාකිස්තානය මෙතෙක් වාර්තා කරන ලද කඩුලු ත්‍රිත්ව අවස්ථා 2ක ම ශ්‍රි ලංකාවට එරෙහිව වාර්තා කිරීම ද කැපී පෙනෙනවා.

දසුන් සහ භානුක ඉදිරියට

කඩුලු ත්‍රිත්වයකට ගොදුරු වූ ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර ඉදිරියෙන් ම සිටින්නේ වත්මන් නායක දසුන් ශානකයි. ඔහු 2017 (පාකිස්තානය), 2019 (පාකිස්තානය) සහ 2022 (UAE) වසර ත්‍රිත්වයක දී මේ ලැයිස්තුවට එක් වෙනවා.

ඊට අමතර ව භානුක රාජපක්ෂ ද එහි අවස්ථා 2කට හවුල් වෙනවා. ඒ 2019 (පාකිස්තානය) සහ 2022 (UAE ) වසර ද්විත්වයේයි.

ශ්‍රී ලංකාවට 5ක්

විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ත්‍රිත්ව කඩුලු ප්‍රමාණයක් ලබා ගත් රට බවට පත් ව සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඒ අවස්ථා 5ක දී. එය ලැයිස්තු ගත කිරීමේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවස්ථා 3 බැගින් ද, බෙල්ජියම සහ පාකිස්තානය අවස්ථා 2 බැගින් ද සහ තවත් රටවල් 29ක් එක් අවස්ථාව බැගින් ද ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ කඩඉමට පිවිසි අවස්ථාවන්වල දී ඉන් අවස්ථා 2ක් ම ලසිත් මාලිංග සතු වීම කැපී පෙනෙනවා. එවැනි දක්ෂතාවක් කළ ලෝකයේ පළමු සහ එක ම ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංගයි.

මේ අතරින් ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියක දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ එක ම පන්දු යවන්නා බවට පත් වීමට වනිඳු හසරංග සමත් ව සිටිනවා.

විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකීය ත්‍රිත්ව කඩුලුලාභියෝ

Bowler Team Against Batsman How Out
 

1

 

තිසර පෙරේරා

(2016)

 

ශ්‍රී ලංකාව

 

ඉන්දියාව

Hardik Pandya ඇ. සචිත්‍ර සේනානයක
Suresh Raina ඇ. දුෂ්මන්ත චමීර
Yuvraj Singh ඇ. දනුශ්ක ගුණතිලක
 

2

 

ලසිත් මාලිංග

(2017)

 

ශ්‍රී ලංකාව

 

බංග්ලාදේශය

Mushfiqur Rahim Bowled
Mashrafe Mortaza Bowled
Mehedi Hasan Bowled
 

3

 

ලසිත් මාලිංග

(2019)

 

ශ්‍රී ලංකාව

 

නවසීලන්තය

Colin Munro Bowled
Hamish Rutherford LBW
Colin de Grandhomme Bowled
 

4

 

අකිල දනංජය

(2021)

 

ශ්‍රී ලංකාව

 

බ.ඉ.කොදෙව්

Evin Lewis ඇ. ධනුශ්ක ගුණතිලක
Chris Gayle LBW
Nicholas Pooran ඇ. නිරෝෂන් දික්වැල්ල
 

5

 

වනිඳු හසරංග

(2021)

 

ශ්‍රී ලංකාව

 

ද. අප්‍රිකාව

Aiden Markram Bowled
Temba Bavuma ඇ. පැතුම් නිස්සංක
Dwaine Pretorius ඇ. භානුක රාජපක්ෂ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<