හැව්ලොක් විසින් යුධ හමුදාවට නොසිතූ පරාජයක්

600
Havelock SC v Army SC

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පස් වැනි සතියේ තවත් තරඟයක් ඊයේ (04) හැව්ලොක් පිටියේදී පැවැත්වූ අතර එම තරඟයෙන් ලකුණු 37-26ක් ලෙස යුධ හමුදා කණ්ඩායම පරාජයට පත්කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: නාවිකයන් අපරාජිත වෙද්දී මහනුවරට තවත් පරාජයක්

යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගයාන් සාලින්ද තරඟය ආරම්භ කල අතර, තරගයේ ආරම්භක මිනිත්තුවේදී ම නිරෝෂන් ප්‍රනාන්දු හා අශාන් බණ්ඩාර ගේ සහය ඇතිව හැව්ලොක් කණ්ඩායමේ සුදර්ශන මුතුතන්ත්‍රී විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කරන ලදී. දුලාජ් පෙරේරා හට එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය. (හැව්ලොක් 05-00 යුධ හමුදාව)

ඉන් සුළු මොහොතකට පසුව දුලාජ් පෙරේරා හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් ලැබුණු දඩුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගැනීමට සමත් විය. (හැව්ලොක් 08-00 යුධ හමුදාව)

එම දඩුවම් පහර අවස්ථාවට පසු තවත් දඩුවම් පහර අවස්ථාවන් දෙකක් ලබාගත් යුධ හමුදා ක්‍රීඩා සමාජය තරඟය වෙත අවතීර්ණ කරවමින් ගයාන් සාලින්ද දඩුවම් පහර දෙකම සාර්ථක කරගන්නා ලදි. (හැව්ලොක් 08-06 යුධ හමුදාව)

යුධ හමුදා කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ගයාන් සාලින්ද හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව අතික්‍රමණය කරවමින් තවත් මනරම් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කරගත් අතර එහි ප්‍රවර්තනයද සාර්ථක කරගැනීමට ඔහු සමත් විය. (හැව්ලොක් 08-13 යුධ හමුදාව)

එම අවස්ථාවට පසුව නැවතත් තරඟය වෙත අවතීර්ණ වූ යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් අශෝක් ජයලාල් හැව්ලොක් කණ්ඩායමේ පීඩනය හමුවේ තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් ලකුණු පුවරුවේ සටහන් කල අතර එහි ප්‍රවර්තනය ගයාන් සාලින්ද හට සාර්ථක කරගැනීමට නොහැකි විය. (හැව්ලොක් 08-18 යුධ හමුදාව)

අනතුරුව හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් සෙනාල් දීලක තවත් උත්සාහක දිනුමක් ලබාගත් අතර දුලාජ් පෙරේරා හට අතිරේක ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහි ගියේය. (හැව්ලොක් 13-18 යුධ හමුදාව)

දුශ්මන්ත ප්‍රියදර්ශන වේගවත්ව මීටර් 40ක් පමණ දුරක් දුවගොස් උත්සාහක දිනුමක් තැබූ අතර දුලාජ් පෙරේරා එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට සමත් විය. එත් සමගින්  හැව්ලොක් කණ්ඩායම පළමු අර්ධය අවසානයේ දී යුධ හමුදා කණ්ඩායම අභිබවා යාමට සමත් විය. (හැව්ලොක් 20-18 යුධ හමුදාව)  

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 20 – 18 යුධ හමුදා ක්‍රීඩා සමාජය   

තරගයේ දෙවන අර්ධයේ ආරම්භය හැව්ලොක් කණ්ඩායමේ දුලාජ් පෙරේරා විසින් ලබා ගන්නා ලදි. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ධනුෂ්ක තලවත්ත හැව්ලොක් බාධා මැදින් ඉදිරියටම පැමිණි අතර දාබරේ විසින් ධනුෂ්කව නැවැත්වීමට කල වෑයම අසාර්ථක විය. ඒ අනුව ධනුෂ්ක තම උත්සාහක දිනුම සාර්ථක කරගන්නා ලදි. එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (හැව්ලොක් 20-23 යුධ හමුදාව)

හැව්ලොක් කණ්ඩායම වෙත ලැබුණු දඩුවම් පහරක් සාර්ථක නොවුනු අතර, එම පාඩුව මඟ හරවමින් ලසිදු කරුණාතිලක උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. එහි ප්‍රවර්තනයද දුලාජ් විසින් සාර්ථක කරගන්නා ලදි. (හැව්ලොක් 27-23 යුධ හමුදාව)

යුධ හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වැරදි ස්ථානයක පසුවීම නිසා විනිසුරුතුමා විසින් හැව්ලොක් කණ්ඩායම වෙත දඩුවම් පහර අවස්ථාවක් ලබා දුන් අතර ලකුණු අවශ්‍ය මොහෙතක දුලාජ් විසින් එම ලකුණු 3 තම කණ්ඩායම වෙත ලබා ගන්නා ලදි. හැව්ලොක් කණ්ඩායමේ ප්‍රසාද් මදුසංක නැවතත් වැරදි ස්ථානයක ක්‍රීඩා කිරීම නිසා කහ කාඩ්පතක් සහ දඩුවම් පහරක් ලබා දීමට විනිසුරුවරයා තීරණය කරන ලදී. එම අවස්ථාව ද යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද සමත් විය. (හැව්ලොක් 30-26 යුධ හමුදාව)  

යුධ හමුදා කණ්ඩායම අවසන් මිනිත්තු කිහිපය තුල ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කලද, එයට බිය නොවුනු හැව්ලොක් ක්‍රීඩක හිරන්ත පෙරේරා යුධ හමුදා ජයග්‍රහණය සිහිනයක්ම කරමින් තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කරගත් අතරම, එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක විය. (හැව්ලොක් 37-26 යුධ හමුදාව)

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 3726 යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සුදර්ශන මුතුතන්ත්‍රී (හැව්ලොක්)

තරඟ විනිසුරු: ඉර්ෂාඩ් කාඩර්

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 20/37 (5T, 3C, 2P)

  • උත්සාහක දිනුම් – සුදර්ශන මුතුතන්ත්‍රී , සෙනාල් දීලක, දුශ්මන්ත ප්‍රියදර්ශන, ලසිදු කරුණාතිලක, හිරන්ත පෙරේරා
  • ප්‍රවර්තන – දුලාජ් පෙරේරා 3
  • දඩුවම් පහර – දුලාජ් පෙරේරා 2

යුධ හමුදා ක්‍රීඩා සමාජය – 18/26 (3T, 1C, 3P)

  • උත්සාහක දිනුම් – ගයාන් සාලින්ද, අශෝක් ජයලාල්, ධනුෂ්ක තලවත්ත
  • ප්‍රවර්තන අවස්ථාව – ගයාන් සාලින්ද 1
  • දඩුවම් පහර – ගයාන් සාලින්ද 3

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට