බංග්ලාදේශය ප්‍රමුඛ B කාණ්ඩයේ සිව්කොන් සටන

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

303

හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්.

ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් පළමු වටයේ කණ්ඩායමේ 8ක් තරග වදින අතර ඉන් 4ක් Group B කාණ්ඩයේ තරග වැදීමට නියමිතව ඇත. ඒ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ඕමානය හා පැපුවා නිව්ගීනියාවයි.

ඉන් පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම Super 12 වටයේ Group 2 සඳහා තේරීපත්වන අතර දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම Group 1 සඳහා තේරීපත්වනු ඇත.

බංග්ලාදේශය –

B කාණ්ඩයේ තරග වදින කණ්ඩායම් අතරින් පෙරමුණේ පසුවන කණ්ඩායම වශයෙන් අවිවාදයෙන් තොරවම නම් කළ හැක්කේ බංග්ලාදේශයයි. එම කාණ්ඩයේ සිටින ටෙස්ට් වරම් හිමිකරගත් එකම කණ්ඩායම වන්නේ ද ඔවුනුයි.

වර්තමානය වන විට ලොව ප්‍රබලතම කණ්ඩායම් වලට පවා අභියෝගයක් බවට පත් වී ඇති බංග්ලාදේශයට මෙවර තරගාවලියේ දී විශාල පෙරළියක් සිදු කිරීමේ වුවද හැකියාවක් ඇත්තේ ඔවුන්ගේ ප්‍රධානතම අවියක් වන දඟ පන්දුවට හිතකර තණතිලි තත්ත්වයන්හි මෙම තරගාවලිය පැවැත්වීම හේතුවෙනි.

බංග්ලාදේශය වර්තමානය වන විට සිටින ජයග්‍රාහී රිද්මයට මෑතකාලීන ම උදාහරණ වශයෙන් සඳහන් කළ හැක්කේ ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව 4-1ක් හා නවසීලන්තයට එරෙහිව 3-2ක් වශයන් විස්සයි විස්ස තරගාවලි දෙකක් පිටපිටම ජයග්‍රහණය කිරීමයි.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩක Mahmudullahටයි.

(Image courtesy – rediff.com)

මෙම සංචිතයට ආරම්භක පිතිකරුවන් තිදෙනෙක්ම ඇතුළත්ව ඇත. ඒ Soumya Sarkar, Mohammed Naim හා Liton Das පිතිකරණ ත්‍රිත්වයයි. මේ අතරින් Liton අතිරේක කඩුලු රකින්නෙකු වශයෙන් ද කටයුතු කරයි.

අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ ඔවුන් සතු ප්‍රබලතම තුරුම්පුව වන තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasanය. වමත් පිතිකරුවෙකු මෙන්ම වමත් orthodox පන්දු යවන්නෙකු ද වන Shakib මෙවර තරගාවලියේ දී ද ඔවුන්ගේ විශාලතම බලාපොරොත්තුවයි.

අනතුරුව පිටියට පිවිසෙන්නේ තවත් ප්‍රබල පිතිකරුවෙකු වන Mushfiqur Rahimය. මින් පෙර කඩුලු රකින්නෙකු වශයෙන් ක්‍රීඩා කළ ඔහු වර්තමානය වන විට විශේෂඥ පිතිකරුවෙකු වශයෙන් තම භූමිකාව වෙනස් කරගෙන ඇත.

අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන Rahimට පැවරී ඇති වගකීම වන්නේ බංග්ලාදේශ මැදපෙළ නැංගුරම බවට පත්වීමයි.

පිතිකරණ ලැයිස්තුවේ අංක 5 ස්ථානයේ Mahmudullah ක්‍රීඩා කරන්නේ නායකත්ව වගකීමත් තම කරමතට පටවා ගනිමිනි. බංග්ලාදේශ පිතිකරණ බලඇණියේ තරග නිමා කරන්නාගේ කාර්‍යභාරය පැවරී ඇත්තේ ද ඔහුටයි.

Shakib, Rahim හා Mahmudullah තිදෙනා පෙරටු කර ගත් බංග්ලාදේශ සංයුතිය වර්තමානයේ ඇති අත්දැකීම් බහුලතම පිතිකරණ ලැයිස්තුවලින් එකකි.

අංක 6 හා 7 ස්ථානවල ක්‍රීඩා කරන්නේ Afif Hossain හා Nurul Hasan දෙදෙනායි. මෙම බංග්ලාදේශය කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා වශයෙන් ද කටයුතු කරන්නේ Nurulය.

ඊට අමතරව Mahedi Hasan නම් වූ මුල්පෙළ පිතිකරුවා ද  මෙම සංචිතයට ඇතුළත්ව ඇත. (මෙම නමට සමාන නමක් තිබෙන Mehidy Hasan නම් වූ දඟපන්දු යවන ක්‍රීඩකයා වෙනත් අයෙකි. ඔහු මෙම සංචිතයට ඇතුළත්ව නැත.)

බංග්ලාදේශය දඟපන්දු අංශය සමන්විත වන්නේ Nasum Ahmed, Shamim Hossain හා අංක 3 පිතිකරුවා වශයෙන් ද කටයුතු කරන ප්‍රබල ක්‍රීඩක Shakib Al Hasan යන තිදෙනාගේ සුසංයෝගයෙනි. මේ අතරින් Shamim ද Shakib මෙන් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. Nasum යනු නිමා වූ ඕස්ට්‍රේලියානු හා නවසීලන්තය තරගාවලි දෙකේ දී කැපීපෙනෙන දස්කම් දැක්වූ පන්දු යවන්නෙකි.

බංග්ලාදේශ වේගපන්දු බලඇණිය පෙළගැස්වී ඇත්තේ වර්තමානයේ සිටින මුල් පෙළේ වේගපන්දු යවන්නෙකු වශයෙන් සැලකෙන Mustafizur Rahmanගේ ප්‍රමුඛත්වයෙනි. ඔහුට අමතරව සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නන් වන්නේ Taskin Ahmed, Mohammad Saifuddin හා Shoriful Islam තිදෙනායි. මේ අතරින් Saifuddin පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

බංග්ලාදේශ සංචිතය: Mahmudullah (c), Mohammed Naim, Soumya Sarkar, Liton Das, Shakib Al Hasan, Mushfiqur Rahim, Afif Hossain, Nurul Hasan, Mahedi Hasan, Nasum Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Taskin Ahmed, Mohammad Saifuddin, Shamim Hossain

අතිරේක ක්‍රීඩකයන්: Rubel Hossain, Aminul Islam Biplob

ස්කොට්ලන්තය –

2007 වසරේ පැවති පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පටන් මේ දක්වා පැවති තරගාවලි 6න් 3ක්ම ක්‍රීඩා කළ කණ්ඩායමක් වශයෙන් ස්කොට්ලන්තයට මෙම කාණ්ඩයෙන් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වත්මන් ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් පසුවන්නේ 14 වැනි ස්ථානයේයි.

මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩක Kyle Coetzerටයි.

ස්කොට්ලන්ත සංචිතයේ සිටින විශේෂඥ පිතිකරුවන් වන්නේ Kyle Coetzer, Calum Macleod, George Munsey,  Craig Wallace හා Dylan Budge යන 5 දෙනායි.

මේ අතරින් ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනෙකු ලෙස සඳහන් කළ හැකි නායක Kyle Coetzer හා George Munsey දෙදෙනා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කරයි. අනෙක් තිදෙනාම මැදපෙළ පිතිකරුවන් ය.

(Image courtesy – emergingcricket.com)

කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නාගේ භූමිකාව පැවරී ඇත්තේ Matthew Crossටයි. පිතිකරණ ලැයිස්තුවේ අංක 3හි පිතිකරණයේ යෙදෙන්නේ ද ඔහුයි. Crossට අමතරව Craig Wallace ද අතිරේක කඩුලු රකින්නෙකු වශයෙන් කටයුතු කරයි.

මෙම සංයුතියේ සිටින ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ Richard Berringtonය. ඔහු පිතිකරණය මූලික කර ගත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහුත් ස්කොට්ලන්තය සතු ප්‍රබලතම තුරුම්පුවකි. තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Michael Leask දඟපන්දු යැවීම මූලික කර ගත් අයෙකි.

Leask හැරුණුකොට කණ්ඩායමේ සිටින අනෙක් දඟපන්දු යවන්නන් වන්නේ Mark Watt, Hamza Tahir හා Chris Greavesය. මොවුන් අතරින් ඔවුන්ගේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන Watt වමත් පා දඟපන්දු යවන්නාගෙනි.

ස්කොට්ලන්ත වේගපන්දු බලඇණිය සමන්විත වන්නේ Josh Davey, Ally Evans, Safyaan Sharif හා Brad Wheal සිව් දෙනාගෙනි. මේ අතරින් Davey වේගපන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ස්කොට්ලන්ත සංචිතය: Kyle Coetzer (c), Richard Berrington, Dylan Budge, Matthew Cross (wk), Josh Davey, Ally Evans, Chris Greaves, Michael Leask, Calum Macleod, George Munsey, Safyaan Sharif, Hamza Tahir, Craig Wallace, Mark Watt, Brad Wheal.

අතිරේක ක්‍රීඩකයන්: Michael Jones, Chris Sole.

ඕමානය –

වර්තමානයේ පෙරළිකාර නවක  කණ්ඩායමක් වශයෙන් ඉදිරියට ඇදී එන ඕමානය මෙලෙස විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකට පිවිසෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.

2019 වසරේ පැවති ICC විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ටෙස්ට් වරම්ලාභී රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට ද සමත් වීම ඔවුන්ගේ පෙරළිකාරී තරග විලාශය මනාව ඔප්පු කළ අවස්ථාවකි. එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ පසුගිය සතියේ පැවති විස්සයි විස්ස තරගාවලියේ ඔවුන් පෙන්වූ සටන්කාමීත්වය ඊට මෑත කාලීනම උදාහරණයකි.

මෙම ඕමාන කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ Zeeshan Maqsoodටයි.

(Image courtesy – emergingcricket.com)

පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ පිතිකරුවකු වන නායක Maqsoodද සමඟින් සංචිතයේ සිටින විශේෂඥ පිතිකරුවන් ගණන 6ක්. අනෙක් පිතිකරුවන් වන්නේ Jatinder Singh, Khawar Ali, Aqib Ilyas, Khurram Khan, Ayaan Khan යන අයයි. මේ අතරින් ආරම්භක පිතිකරණ යුගලය වන්නේ Jatinder Singh හා Khawar Ali දෙදෙනායි.

මෙම සංයුතියේ කඩුලු රකින්නන් වන්නේ Suraj Kumar හා Naseem Khushi දෙදෙනායි.

ඕමාන සංචිතයේ සිටින වයස්ගතම ක්‍රීඩකයා වන්නේ 39 හැවිරිදි Mohammad Nadeemය. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. Nadeemට අමතරව සිටින අනෙක් තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ Sandeep Goudයි. ඔවුන් දෙදෙනා ම වේගපන්දු යැවීම මූලික කර ගත්  තුන් ඉරියව් ක්‍රීඩකයන් ය.

මෙම සංචිතයේ සිටින එකම විශේෂඥ දඟපන්දු යවන්නා වන Nester Dhamba වමත් පිට දඟපන්දු යවන්නෙකි.

ඕමාන වේගපන්දු බලඇණිය සමන්විත වන්නේ Bilal Khan, Fayyaz Butt, Sufyan Mehmood, Kaleemullah සිව් දෙනාගෙනි.

ඕමාන සංචිතය: Zeeshan Maqsood (c), Jatinder Singh, Khawar Ali, Aqib Ilyas, Mohammad Nadeem, Suraj Kumar, Nester Dhamba, Kaleemullah, Naseem Khushi, Sufyan Mehmood, Khurram Khan, Ayaan Khan, Sandeep Goud, Bilal Khan, Fayyaz Butt

පැපුවා නිව්ගීනියාව –

තම කුළුඳුල් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා පිවිසෙන පැපුවා නිව්ගීනියාව ද මෙවර තරගාවලියේ තරග වදින කෝඩුකාර කණ්ඩායම්වලින් එකකි. වත්මන් ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් පසුවන්නේ 15 වැනි ස්ථානයේයි. 2019 වසරේ පැවති ICC විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී ටෙස්ට් වරම්ලාභී රාජ්‍යයක් වන අයර්ලන්තය පරාජය කිරීමට ද ඔවුන් සමත් වුනා.

මෙම පැපුවා නිව්ගීනියානු කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ආරම්භක පිතිකරු Assad Valaටයි.

(Image courtesy – cricketaddictor.com)

නායක Valaත් සමඟින් මෙම සංයුතියේ සිටින  අනෙක් විශේෂඥ පිතිකරුවන් වන්නේ Lega Siaka, Hiri Hiri, Tony Ura, Simon Atai, Jason Kila, Gaudi Toka හා Sese Bau යන අට දෙනායි. මේ අතරින් Tony Ura යනු Valaගේ ආරම්භක පිතිකරණ සගයා වන අතර ඊට අමතරව ඔහු අතිරේක කඩුලු රකින්නෙකු වශයෙන් ද කටයුතු කරයි.

කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නාගේ භූමිකාව පැවරී ඇත්තේ Kiplin Dorigaටයි.

මෙම කණ්ඩායමට ඇතුළත් ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයින් වන්නේ Charles Amini හා Jack Gardner දෙදෙනායි. මේ අතරින් Amini දඟපන්දුව මූලික කර ගත් අයෙකු වන අතර Gardner වේගපන්දුව මූලික කර ගත් අයෙකි. මෙම සංචිතයේ එක් සුවිශේෂීත්වයක් වන්නේ ඊට එක් දඟපන්දු යවන්නෙකු(Amini) පමණක් ඇතුළත් වීමයි.

ඔවුන්ගේ වේගපන්දු බලඇණියට ඇතුළත් ප්‍රධාන වේගපන්දු යවන්නන් වන්නේ Norman Vanua, Nosaina Pokana, Damien Ravu, Kabua Vagi-Morea හා Chad Soper පස්දෙනායි.

පැපුවා නිව්ගීනියානු සංචිතය: Assad Vala (c), Charles Amini, Lega Siaka, Norman Vanua, Nosaina Pokana, Kipling Doriga, Tony Ura, Hiri Hiri, Gaudi Toka, Sese Bau, Damien Ravu, Kabua Vagi-Morea, Simon Atai, Jason Kila, Chad Soper, Jack Gardner.

සමස්තයක් වශයෙන් මෙම කෙටි ම රටාවේ දී පහළ මට්ටමේ කණ්ඩාමකට වුවද පෙරළිකාර ලෙස නැගී සිටීමේ හැකියාවක් පවතින්නේ දවසේ දක්ෂතා මත ඕනෑම ප්‍රතිඵලයක් කණපිට හැරවිය හැකි බැවිනි. එබැවින් මෙම සිව්කොන් වටයෙන් Super 12 වටයට තේරීපත්වන කණ්ඩායම් දෙකට වුවද අනපේක්ෂිත ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමේ සම්භාවිතාවක් පවතින අතර මින් කිසිදු කණ්ඩායමක් අවතක්සේරුවට ලක්කළ නොහැක.

එම නිසා ඒ ඒ කණ්ඩායම්වලට ආවේණික ක්‍රීඩා විලාශයන් ඔස්සේ ඔවුන් තරගාවලියේ ඉදිරියට ඇදෙන්නේ කෙසේ දැයි අප විමසිලිමත්ව බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<