අවතක්සේරු කළ නොහැකි Group A ප්‍රබලයෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

4536

හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තවත් නොබෝ දිනකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් Group A කාණ්ඩයේ කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමිතව ඇත. ඒ ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නැමීබියාව හා නෙදර්ලන්තය යන කණ්ඩායම් 4යි.

ඉන් පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම Super 12 වටයේ Group 1 සඳහා තේරීපත්වන අතර දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම Group 2 සඳහා තේරීපත්වනු ඇත.

ශ්‍රී ලංකාව –

A කාණ්ඩයේ තරග වදින කණ්ඩායම් අතරින් පෙරමුණේ පසුවන කණ්ඩායම වශයෙන් නිසැක වශයෙන්ම නම් කළ හැක්කේ ශ්‍රී ලංකාවයි. මෙවර තරගාවලියේ දී නිතරගයෙන්ම Super 12 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8ක් එකක් වශයෙන් තරගාවලියට එක්වීමට නොහැකි වූවද විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා අත්පත්කරගෙන ඇති ජයග්‍රහණ සැලකීමේ දී ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්.

>> දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම ශ්‍රී ලංකා සංචිතයේ සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න මෙතැනින්න <<

අයර්ලන්තය –

ටෙස්ට් වරම් හිමිකරගත් රටවල් අතරින් ශ්‍රී ලංකාව හැර මෙම කාණ්ඩයේ සිටින අනෙක් එකම කණ්ඩායම වන්නේ අයර්ලන්තයයි.

Andrew Balbirnieගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අමතරව අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකුව ද නම් කර ඇත.

ඔවුන්ගේ ප්‍රබලතම පිතිකරුවා වශයෙන් අවිවාදයෙන් තොරවම නම් කළ හැක්කේ ආරම්භක පිතිකරු Paul Stirlingය.

T20I තරග රටාවේ දී මෑතකාලීනව ආරම්භක පිතිකරුවෙකු ලෙස අත්හදාබැලු අත්දැකීම් බහුල ක්‍රීඩක Kevin O’Brien අනෙක් ආරම්භක පිතිකරුවා වශයෙන් බොහෝ දුරට කටයුතු කරනු ඇත. ඔහු පිතිකරණය මූලික කර ගත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

නායක Andrew Balbirnieද ඔවුන්ගේ පිතිකරණ අංශයේ සිටින වගකීම්සහගතම පිතිකරුවෙකු වන අතර ඔහු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරයි.

අංක 4 හා 5 ස්ථාන පිළිවෙළින් හිමිව ඇත්තේ Harry Tector හා Gareth Delany දෙදෙනාටයි. ඒ අතරින් Delany පිතිකරණය මූලික කර ගත් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

(Image courtesy – RTE)

පිතිකරණ ලැයිස්තුවේ අංක 6 පිතිකරුවා වශයෙන් කටයුතු කරන්නේ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Curtis Campherය. ඔහු හැරුණුකොට සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ Mark Adairය.

කණ්ඩායමේ කඩුලු රැකීමේ භූමිකාව පැවරී ඇත්තේ Lorcan Tuckerය. ඔහු පිතිකරණයේ යෙදෙන්නේ අංක 7 ස්ථානයේයි. ඔහුට අමතරව සංචිතයේ සිටින අනෙක් කඩුලු රකින්නා වන්නේ Neil Rockය.

අයර්ලන්ත දඟපන්දු බලඇණිය පෙළගැස්වී ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩක George Dockrellගේ ප්‍රමුඛත්වයෙනි. වමත් orthodox පන්දු යවන්නෙකු වන Dockrellගේ සහයක දඟපන්දු යවන්නා වන්නේ දකුණත් off break පන්දු යවන්නෙකු වන Simi Singhය. ඔවුන් දෙදෙනාම දඟපන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයන් ය.

ඔවුන්ට අමතරව සංචිතයේ සිටින අනෙක් ප්‍රධාන දඟපන්දු යවන්නන් වන්නේ Andrew McBrine හා Ben White දෙදෙනායි. දකුණත් දඟපන්දු යවන්නන් වන මොවුන් අතරින් McBrine පිට දඟපන්දු යවන්නෙකු වන අතර White leg break පන්දු යවන්නෙකි.

ප්‍රධාන වේගපන්දු යවන්නන් ලෙස සංචිතයේ සිටින්නේ Craig Young හා Josh Little දෙදෙනා පමණි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් දකුණත් හා වමත් වේගපන්දු යවන්නන් ය. කෙසේ වෙතත් මොවුන්ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයන් වන Curtis Campher, Mark Adair හා Kevin O’Brien තිදෙනාත් වේගපන්දු අංශයට තම දායකත්වය දෙනු ලබයි.

අයර්ලන්ත සංචිතය: Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Josh Little, Andrew McBrine, Kevin O’Brien, Neil Rock, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

අතිරේක ක්‍රීඩකයන්: Shane Getkate, Graham Kennedy, Barry McCarthy

නැමීබියාව –

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන තවත් පෙරළිකාර කණ්ඩායමක් වන්නේ නැමීබියාවයි. මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක Gerhard Erasmus හටයි.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ සිටින විශේෂඥ පිතිකරුවන් වන්නේ Stephan Baard, Karl Birkenstock, Jan Nicol Lofie-Eaton, Bernand Scholtz, Michael van Lingen, Craig Williams හා Picky Ya France යන 8 දෙනායි.

(Image courtesy – icc-cricket.com)

තුන් ඉරියව් ක්‍රීඩකයින් වශයෙන් කණ්ඩායමේ සිටින්නේ Jan Frylinck, JJ Smit, David Wiese හා නායක Gerhard Erasmus සිව්දෙනායි. මේ අතරින් David Wiese යනු මීට පෙර ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩකයෙකි. මෙවර තරගාවලියේ ඔවුන්ගේ ප්‍රබලතම තුරුම්පුව වන්නේ ද Wiese ය.

මෙම නැමීබියානු සංචිතයේ සිටින කඩුලු රකින්නන් වන්නේ Michau du Preez හා Zane Green යුගලයයි.

ඔවුන් සතු ප්‍රධාන පන්දු යවන්නන් වන්නේ Ben Shikongo හා Ruben Trumpelmann දෙදෙනායි.

නැමීබියානු සංචිතය: Gerhard Erasmus (c), Stephen Baard, Karl Birkenstock. Michau du Preez, Jan Frylinck, Zane Green, Nicol Lofie-Eaton, Bernard Scholtz, Ben Shikongo, JJ Smit, Ruben Trumpelmann, Michael van Lingen, David Wiese, Craig Williams, Picky Ya France

අතිරේක ක්‍රීඩකයින්:  Mauritius Ngupita

නෙදර්ලන්තය –

2009 වසරේ වසරේ පටන්ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවලට ක්‍රීඩා කළ නෙදර්ලන්තය ද ඕනෑම අවස්ථාවක පෙරළියක් ඇති කළ හැකි අනපේක්ෂිත කණ්ඩායමකි. මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩක Pieter Seelaarටයි.

කණ්ඩායමේ සිටින විශේෂඥ පිතිකරුවන් වන්නේ Colin Ackermann, Ben Cooper, Ryan ten Doeschate, Stephan Myburgh, Bas de Leede, Max O’Dowd 6 දෙනායි.

මේ අතරින් ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කරන්නේ Stephan Myburgh හා Max O’Dowd පිතිකරණ යුගලයයි. මින් අත්දැකීම් සුපිරි ක්‍රීඩකයෙකු වන Myburgh මීට පෙර පැවති විස්සයි විස්ස ලෝක කුසලානවල දී ද හොඳින්ම දස්කම් දැක්වූ අයෙකි.

ඔවුන් සතු ප්‍රබලතම තුරුම්පුව වන්නේ ‍ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන Ryan ten Doeschateය. 41 හැවිරිදි ඔහු පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 2019 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ දී ද ඔහු තරග 9ක දී ලකුණු 233ක් රැස්කළේ 46.60ක පිතිකරණ සාමාන්‍යයක් හා 136.25 ප්‍රහාරාත්මක වේගයක් ද සහිතවයි.

(Image courtesy – espncricinfo.com)

නෙදර්ලන්ත සංයුතියේ කඩුලු රැකීමේ කාර්‍යභාරය පැවරී ඇත්තේ මැදපෙළ පිතිකරු Scott Edwardsටයි.

ප්‍රධාන දඟපන්දු යවන්නන් වශයෙන් කණ්ඩායමේ සිටින්නේ නායක Pieter Seelaar, Roelof van der Merwe හා Philippe Boissevain තිදෙනායි.

මේ අතරින් Roelof van der Merwe පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු මීට පෙර දකුණු අප්‍රිකාව ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

Seelar හා Roelof දෙදෙනාම වමත් orthodox පන්දු යවන්නන් වන අතර Boissevain දකුණත් leg break පන්දු යවන්නෙකි.

නෙදර්ලන්ත වේගපන්දු බලඇණිය සමන්විත වන්නේ Paul van Meekeren, Timm van der Gugten, Brandon Glover, Logan van Beek හා Fred Klaassen පස්දෙනාගෙනි. මින් වමත් වේගපන්දු යවන්නෙකු වන්නේ Klaassen පමණක් වන අතර අනෙක් සිව්දෙනාම දකුණත් වේගපන්දු යවන්නන් ය.

නෙදර්ලන්ත සංචිතය: Pieter Seelaar (c), Colin Ackermann, Philippe Boissevain, Bas de Leede, Paul van Meekeren, Ben Cooper, Max O’Dowd, Scott Edwards, Ryan ten Doeschate, Timm van der Gugten, Roelof van der Merwe, Brandon Glover, Fred Klaassen, Logan van Beek, Stephan Myburgh

අතිරේක ක්‍රීඩකයන්: Tobias Visée, Shane Snater

සමස්තයක් වශයෙන් මෙම විස්සයි විස්ස තරග රටාවේ දී පහළ මට්ටමේ කණ්ඩාමකට වුවද පෙරළිකාර ලෙස නැගී සිටීමේ හැකියාවක් පවතින්නේ දවසේ දක්ෂතා මත ඕනෑම ප්‍රතිඵලයක් කණපිට හැරවිය හැකි බැවිනි.

එබැවින් මෙම සිව්කොන් වටයෙන් Super 12 වටයට තේරීපත්වන කණ්ඩායම් දෙකට වුවද අනපේක්ෂිත ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමේ සම්භාවිතාවක් පවතින අතර මින් කිසිදු කණ්ඩායමක් අවතක්සේරුවට ලක්කළ නොහැක.

එම නිසා ඒ ඒ කණ්ඩායම් වලට ආවේණික ක්‍රීඩා විලාශය ඔස්සේ ඔවුන් තරගාවලියේ ඉදිරියට ඇදෙන්නේ කෙසේදැයි අප විමසිලිමත්ව බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<