කම්කටොළු රැසක් මැද ලෝක කුසලානයට මුහුණ දෙන ඇෆ්ගනිස්තානුවෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

689

හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඇරඹීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් ඇෆ්ගනිස්තානය නම් දරා ඇත්තේ නැගී එන පෙරළිකාර කණ්ඩායමක් වශයෙනුයි. මෙවර ඔවුන්ගේ සුවිශේෂීත්වය වන්නේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම් පවා අභිබවා මුල් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබූ කණ්ඩායමක් වශයෙන් මෙම තරගාවලියට අවතීර්ණ වීමයි. එමෙන්ම වර්තමාන ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හිද ඔවුන් පසුවන්නේ 8 වැනි ස්ථානයේයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා තරගාවලි 5කට ඔවුන් සහභාගී වූවද එහි පළමු වටවලින්ම ඉවත් වීමට ඔවුන්ට සිදු වුනා. නමුත් මෙවර තරගාවලියට එක්වන්නේ අන් සියලු වතාවල් වල තරගවැදි කණ්ඩායම්වලට වඩා ශක්තිමත් සංයුතියක්.

ඇෆ්ගනිස්තාන නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන Mohammad Nabiටයි. මෙලෙස ඔහුට දෙවැනි වරටත් නායකත්වය හිමිව ඇත්තේ හිටපු නායක Rashid Khan නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්. කෙසේ වෙතත් ඉන් අනතුරුව Asghar Afghan නායකත්වයට පත්වූවත් මෙම විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය සඳහා ඔවුන් පත්කරගෙන ඇත්තේ Nabiවයි.

මෙහි දී ඔවුන් Group 2 ඔස්සේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන් එක්වන්නේ බාධක කම්කටොළු රැසක්ම මධ්‍යයේයි. ඒ ඔවුන්ගේ රටේ පාලනය තලේබාන්වරුන් විසින් අත්පත් කරගැනීමෙන් පසු උද්ගත වූ තත්වයත් සමඟයි.

ඇෆ්ගනිස්තාන පිතිකරණ ලැයිස්තුව දෙසට අවධානය යොමු කළ විට ඉන් එක් ආරම්භක පිතිකරුවෙකු වන Hazratullah Zazai වත්මන් ICC විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන්නේ එම ලැයිස්තුවේ මුල් 10 දෙනා අතර සිටින එකම ඇෆ්ගනිස්තාන පිතිකරුවා බවට පත්වෙමින්.

ඔහුගේ සහයක ආරම්භක පිතිකරුවා බවට පත්වීම සඳහා මේ වන විට Mohammad Shahzad හා Rahmanullah Gurbaz දෙදෙනා අතර යම් තරගයක් නිර්මාණය වී ඇත. ඔවුන් දෙදෙනාම ප්‍රහාරාත්මක පිතිකරුවන් සහ කඩුලු රකින්නන් දෙදෙනෙකි. මේ අතරින් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Shahzad විස්සයි විස්ස කණ්ඩායමට එක්වන්නේ වසර තුනක කාලයකට පසුව වීම මෙහි එක් සුවිශේෂීත්වයක්.

මොවුන් තිදෙනාට අමතරව සංචිතයේ සිටින Usman Ghani ද ආරම්භක පිතිකරුවෙකි.

මැදපෙළ ශක්තිමත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ අත්දැකීම් බහුලතම පිතිකරුවන් වන Najibullah Zadran හා Asghar Afghan දෙදෙනා හටයි. මේ අතරින් විස්සයි විස්ස තරග රටාවේ විශේෂඥයෙකු වන Zardan ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දැරූ පිතිකරුවෙකි.

අනතුරුව පිටියට පිවිසෙන්නේ නායක Mohomad Nabiයි. දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Nabi කණ්ඩායමේ සමබරතාවය පවත්වා ගැනීමට ද විශාල දායකත්වයක් ලබාදෙන ඔවුන් සතු ප්‍රබලතම අවියකි. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඔහු දකුණත් පිටදඟ පන්දු යැවීමෙන් ද කණ්ඩායමට දායකත්වයක් ලබා දෙයි.

(Image courtesy – espncricinfo.com)

මීට අමතරව පිතිකරුවෙකු වශයෙන් සංචිතයේ සිටින Hashmatullah Shahidi තරමක් සංයමයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකි.

ඇෆ්ගනිස්තාන දඟපන්දු බලඇණිය සමන්විත වී ඇත්තේ වර්තමානයේ ලොව ප්‍රබලතම දඟපන්දු යවන්නන්ගෙන් කෙනෙකු ලෙස නමක් දිනා ඇති Rashid Khanගේ ප්‍රමුඛත්වයෙනි. දකුණත් leg-break පන්දු යවන්නෙකු වන ඔහු පිතිකරණ ලැයිස්තුවේ අංක 8 පිතිකරුවා වශයෙන් ද දායකත්වයක් ලබාදෙන දක්ෂ ක්‍රීඩකයෙකි.

Rashidගේ සහයක දඟපන්දු යවන්නා වන්නේ තවත් ප්‍රබලතම තුරුම්පුවක් වන Mujeeb Ur Rahmanය. ඔහු දකුණත් off-break පන්දු යවන්නෙකි.

මොවුන් දෙදෙනා සමඟ නායක Nabiගේ පන්දුකරණයත් මුසු වූ විට මෙය අනෙක් කිසිම කණ්ඩායමක දඟපන්දු බලඇණියකට නොදෙවෙනි එකක් ලෙස අවිවාදයෙන් තොරවම නම් කළ හැක. මෙවර තරගාවලියේ ඔවුන් සතු ප්‍රධානතම අවිය වන්නේ ද දඟපන්දුවයි. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතිලි දඟපන්දු යවන්නන්ට බොහෝසෙයින් යෝග්‍ය වීම හේතුවෙන්.

තිදෙනෙකුගෙන් සමන්විත මෙම දඟපන්දු සංයුතියේ ශක්තිමත් බව කෙතරම් ද යන වග මනාව තහවුරු කළ හැකි කාරණය වන්නේ වත්මන් ICC විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි Rashid හා Mujeeb දෙදෙනා පිළිවෙළින් අංක 3 හා 5 ස්ථානවල පසුවීමයි. එමෙන්ම Nabi යනු තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පසුවන ක්‍රීඩකයායි.

වේගපන්දු බලඇණිය පෙළගැස්වී ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩක Hamid Hassanගේ මූලිකත්වයෙනි. ඔහු අමතර වේගයක් සහිත වේගපන්දු යවන්නෙකි. කෙසේ වෙතත් ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරන්නේ 2016 වසරෙන් පසුවයි.

Hamid සමඟ අනෙක් අන්තයෙන් පන්දු යවන්නේ නවක ක්‍රීඩක Naveen-ul-Haqය. ඔහු ශ්‍රී ලංකාවේ පැවති LPL තරගාවලිය ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

ඔවුන් දෙදෙනාගේ සහයක තෙවැනි වේගපන්දු යවන්නා වශයෙන් කටයුතු කරන්නේ මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Gulbadin Naib ය. මොවුන් තිදෙනාම දකුණත් වේගපන්දු යවන්නන් ය. හිටපු නායකයෙකු ද වන Gulbadinට පිතිකරණ ලැයිස්තුවේ අංක 7 ස්ථානය හිමිව ඇත.

ඔහු හැරුනුකොට තවත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් Karim Janatව ද මෙම සංචිතයට ඇතුළත් කර ඇත.

(Image courtesy – espncricinfo.com)

මෙම සංචිතයේ සිටින එකම වමත් වේගපන්දු  යවන්නා වන්නේ Farid Ahmad Malikය. කෙසේ නමුත් ඔහුට කණ්ඩායමේ අවසන් 11 අතර ස්ථානයක් සොයා ගැනීම ඉතා අසීරු කාරණයක් බවට පත්වනු ඇත.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට අමතරව සිටින අතිරේක ක්‍රීඩකයන් වන්නේ Sharafuddin Ashraf, Samiullah Shinwari, Dawlat Zadran, and Fazal Haq Farooqi සිව් දෙනායි.

සමස්තයක් වශයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම අනෙක් මුල්පෙළේ කණ්ඩායම්වලට වඩා යම් මට්ටමකින් පසුපසින් සිටිය ද, ඔවුන්ට ඕනෑම මොහොතක පෙරළියක් සිදු කිරීමේ හැකියාවක් ඇති දක්ෂතා සමූහයක එකතුවක්. ඔවුන් දැනටමත් මෙම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මුල් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා ඇත්තේ ද මෙම තරග රටාවේ දී ඔවුන් සිටින ස්ථානය මනාව තහවුරු කර පෙන්වමින්.

එමෙන්ම විස්සයි විස්ස නම් වූ කෙටි තරග රටාවේ දී කිසිම කණ්ඩායමක් අවතක්සේරුවට ලක් කළ නොහැකි බැවින් මෙම ඇෆ්ගනිස්තාන සංයුතියේ ශක්තිය අනෙක් සියලු කණ්ඩායම්වලට අභියෝගයක් ලෙස අවිවාදයෙන්ම තොරවම නම් කළ හැක.

කෙසේ නමුත් වර්තමානයේ දී ඔවුන්ගේ රටේ පවතින වාතාවරණයත් සමඟ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් මෙවන් ප්‍රමුඛ මට්ටමේ තරගාවලියකට සහභාගී වන්නේ සුපුරුදු මානසිකත්වයෙන් නොවන බව අප කවුරුත් දන්නා කාරණයක්. ඒ නිසාවෙන් එම විශාල අභියෝගයට සාර්ථකව මුහුණ දී තරගාවලියේ පෙරළියක් ඇති කිරීම මෙවර ඔවුන්ගේ ඒකායන අරමුණ බවට පත්වේ.

ඇෆ්ගනිස්තානයේ පවතින එම දේශපාලනික තත්වයත් මධ්‍යයේ එරට ක්‍රීඩාලෝලීන්ගේ ද මනසට යම් මට්ටමක හෝ අස්වැසිල්ලක් ලබා දිය හැකි එකම ක්‍රමය වන්නේ ද එයයි. එබැවින් එවන් බාධක කම්කටොළු අමතර ශක්තියක් හා පන්නරයක් කරගනිමින් ඔවුන් මෙවර තරගාවලියට ප්‍රවිෂ්ට වන්නේ කෙසේ දැයි අප විමසිල්ලෙන් බලා සිටිමු.

  • ඇෆ්ගනිස්තාන සංචිතය: Mohammad Nabi (C), Rahmanullah Gurbaz (WK), Hazratullah Zazai, Usman Ghani, Mohammad Shahzad, Hashmatullah Shahidi, Asghar Afghan, Gulbadin Naib, Najibullah Zadran, Karim Janat, Rashid Khan, Mujeeb Ur Rahman, Hamid Hassan, Farid Ahmad Malik, and Naveen-ul-Haq.
  • අතිරේක ක්‍රීඩකයන් : Sharafuddin Ashraf, Samiullah Shinwari, Dawlat Zadran, and Fazal Haq Farooqi.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<