පාකිස්තානයේ සුපිරි වේගයේ අනාගතය

423

එක්දින පිටිය වසර ගණනාවක් මුළුල්ලේ සිටම තම ග්‍රහණයේ රඳවා ගත් ඕස්ට්‍රේලියානුවන් හට ලෝක කුසලානය දෙවතාවක් හිමි කර දුන් ස්ටිව් වෝ, එරටින් බිහි වූ විශිෂ්ටතම නායකයින් අතරින් කෙනෙකු ලෙස ඔබ අප සැමදෙනාම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ඉතින් අපි දැන් අවධානය යොමු කරන්නේ ඔහු විසින් මීට වසර හතරකට ඉහත දී පළකරනා එක්තරා අනාවැකියක් පිළිබඳවයි.

ලෝක කුසලාන අවසන් සටනේ ශූරයින් මෙන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමෙන් පසු මේ ගෙවී යන්නේ 45 වැනි වසරය. එතෙක් සිට මේ දක්වා කාල සීමාව තුළ…

මීට සිව්වසරකට පෙර පහළොස් හැවිරිදි කොලුගැටයෙකු පන්දු යවනා ආකාරය අහම්බයකින් මෙන් ස්ටිව්ගේ නෙත ගැටෙන අතර එම වයසේ පසුවන අනෙකුත් පන්දු යවන්නන් සමඟ සසඳා බැලීමේ දී මෙම කුඩා ක්‍රීඩකයා සතු ක්‍රීඩා කෞශල්‍යය ඉතාමත් ඉහළ මට්ටමක තිබූ අතර විශේෂයෙන්ම පන්දු යැවීමේ අංශයෙන් ඔහු තුල වූ සහජ හැකියාව ස්ටිව්ගේ සිත තුල දැඩි ලෙස පැලපදියම් විය. එම නිසාම මෙම කුඩා ක්‍රීඩකයා කෙදිනක හෝ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දැක්විය හැකි පැහැදිලි අනාගතයකට හිමිකම් කියන්නෙකු බව හඳුනා ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත වූයේ නැත.

ඔහුගේ එම සිතුවිල්ල අද දිනය වන විට යථාර්ථයක් වී තිබෙන්නේ මොහොමඩ් හස්නේයින් නම් වූ එකල තමා අතින් නියත විවරණය ලැබූ ඒ කුඩා ක්‍රීඩකයා හට මෙවර 2019 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමේ ඉතා සුවිශේෂී අවස්ථාව හිමි වී තිබෙන නිසාවෙනි.

වත්මන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තේරීම් කමිටුභාර නිලධාරියා ලෙස කටයුතු කරන එමෙන්ම 1992 ලෝක කුසලානය සිය මව් රටට දිනා දීමට ඉමහත් සේවයක් ඉටු කළ ඉන්සමාම් උල් හක් මෙම දක්ෂතාවන්ගෙන් හෙඹි නවක ක්‍රීඩකයාගේ ආගමනය පිළිබඳ සිය අදහස් දක්වමින් පවසා සිටියේ හස්නේයින් යනු මෙවර අනෙකුත් කණ්ඩායම් පුදුම කරවිය හැකි ප්‍රබල තුරුම්පුවක් ලෙසය. ඔහුට අමතරව පාකිස්තානය විසින් එදා මෙදා තුර බිහිකර ඇති සුපිරිතම වේගපන්දු යවන්නන් අතරින් ඉහළින්ම රැඳෙන අත්දැකීම් බහුල වකාර් යුනිස් සඳහන් කර සිටියේ හස්නේයින් පන්දු යවන විලාසය දෙස බලා සිටි ඔහුට හස්නේයින් තුලින් තමා තරුණ අවධිය පන්දු යැවූ ආකාරය පිළිබඳ  සිහිගැන්වෙන බවයි.

 

2015 කාලවකවානුවේ දී පමණ කරළියට එන හස්නයින්ගේ හැකියාවන් පිළිබඳ දැන ගත් බොහෝ දෙනා තුල ඇති වූයේ විමතියකි. මන්දයත් සෑම විටම මුවඟ සිනහාවකින් සරසා ගත් නව යොවුන් වියේ පසු වූ මෙම තරුණ කොලුවා යැවූ බොහෝ වේගපන්දු නිරායාසයෙන්ම  පැයට කිලෝමීටර 150 සීමාව ඉක්මවා ගිය නිසාවෙනි.

ඔහුගේ පන්දුවේ වේගයට සමානවම ඔහු ජාතික කණ්ඩායම සමඟ එක්වීම සහ එතෙක්  පැමිණි එම ගමන්මාර්ගය ද වේගවත් එකක් විය. පාකිස්තාන සුපර් ලීගයේ තමන් නියෝජනය කළ ක්වෙත්තා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ දී ජයග්‍රහණය කරා මෙහෙයවමින් ශූරතාව දිනා දීමේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වීමේ කාර්‍යභරය මොහු විසින් ඉතා මැනවින් ඉටු කරන ලද අතර එම ජයග්‍රහණයේ උණුසුම වියැකී යන්නටත් මත්තෙන් හුස්නයින් හට ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වන්නනේ ඔහුගේ ජීවිතයේ ලැබුණු සුවිශේෂීතම වරම භුක්ති විදීමේ අවස්ථාව හිමිකර දෙමිනි.

තම ක්‍රිකට් ජීවිතයේ සිදු වූ පෙරළිකාර වෙනස පිළිබඳ අදහස් දක්වමින් හස්නේයින් පවසා සිටියේ පාකිස්තාන වයස අවුරුදු 19 දී පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම සිහිනයක් සැබෑ වීමක් බවත් එය තමන් වැනි නැඟී එන ක්‍රීඩකයෙකුට විශාල ගෞරවයක් බවත්ය.

“තම මව් රට නියෝජනය කිරීමට ලැබෙනවා කියන්නේ ඕනෑම ක්‍රීඩකයෙකුට විශාල ගෞරවයක්. ඒ ගෞරවය තවත් දෙගුණ තෙගුණ වෙනවා ලෝක කුසලානය වැනි තරගාවලියක දී තමන්ගේ සේවය ජාතික කණ්ඩායමට ලබා දෙන්න අවස්ථාව හිමි වීමත් එක්කම.”

“මේ දැන් උදා වෙලා තියෙන්නේ මගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම කාල සීමාව. මගේ වේගය බොහෝ පිතිකරුවන්ට හිසරදයක් වෙන එක නම් රහසක් නෙවේ. මම කැමති වේගයෙන් පන්දු යවන්න මොකද ඒක තමයි මගේ ප්‍රධානම අවියව පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කරන්න පුළුවන්.”

Embed – https://www.thepapare.com/unheard-stories-world-cup-column-article-6-sinhala/

දැඩි හිරු රැස් දහරා පතිත වන ඉතාමත් උණුසුම් කාලගුණයක් පවතින දකුණුදිග පාකිස්තානයෙහි හයිද්‍රාබාද් නගරයෙන් බිහි වූ මේ සුන්දර ක්‍රීඩකයා මෙතෙක් ආ ගමන් මඟේ ඔහු පසුපස සිටිමින් අවශ්‍ය ගුරුහරුකම් ලබා දුන් ඔහුගේ මුල් පුහුණුකරු  ඉක්බාල් ඉමාම් හස්නේයින් ඉතාමත් කෙටිකාලයක් තුල දී අත්පත්කරගෙන ඇති ජයග්‍රහණයන් පිළිබඳ මෙසේ සිය සතුට ප්‍රකාශ කර සිටියේය.

“කුඩා කාලයේ ඉඳන්ම හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඔහුගේ ලොකු ආසාවක් තිබ්බා. වයස අවුරුදු 15න් පහළ හා 19න් පහළ හයිද්‍රාබාද් කණ්ඩායම් නියෝජනය කරන කාලේ දී පවා ඔහු ඉතා හොඳ වේගයකින් පන්දු යැවුවා.”

2015 වසරේ පාකිස්තාන වයස අවුරුදු 15න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු තරග සංචාරයට එක්වීම හුස්නයින්ගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වූ බව ඔහුගේ හිටපු පුහුණුකරුවෙකු වන මොහොම්මද් මස්රූර් මහතා සිය අදහස් බෙදාහදා ගත්තේය.

“මට තාමත් මතකයි සිඩ්නි නගරයේ බ්‍රැඩ්මන් ක්‍රීඩාංගණයේ දී තමයි මුල්ම වතාවට ස්ටිව් වෝට අවස්ථාව ලැබුණේ ශහීන් අෆ්රිඩි හා හස්නේයින් පන්දු යවනවා බලන්න. ඔහු එදා ඇවිත් හිටියේ ඔහුගේ පුත්‍රයින් දෙදෙනාව රැගෙන යන්න ඉතින් අහඹු සිදුවීමකින් තමයි ඔහුට මොවුන් දෙදෙනා දැක ගන්න ලැබුණේ. එවෙලේ තමයි ස්ටිව් පැවැසුවේ කවදාහරි මොවුන් දෙදෙනාම ජාතික කණ්ඩායම් නියෝජනය කරලා ලොකු වෙනසකට මුල පුරයි කියලා.”

ආරක්ෂාවට වග කියමින් ක්‍රිකට් ගහපු සෙබළු

2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බියෙන් සහ කලකිරීමෙන් පසුවූ ශ්‍රී ලංකා මහජනයාගේ සිත් තුළ විශ්වාසය…

ඉතාමත් තරගකාරී මුහුණුවරක් ගත් නිමාව දුටු පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය පුරාවට කඩුලු 12ක් දවා ගනිමින් පිතිකරුවන් අන්දමන්ද කළ හස්නයින්ගේ වේගපන්දුවේ වටිනාකම පිළිබඳ හරිහැටි අවබෝධ කර ගත් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුව වහාම ජාතික සංචිතය වෙත රැගෙන විත් ඔහුගේ දක්ෂතාවන්ට නිසි වටිනාකම් ලබා දීමට පියවර ගැනීම ඉතාමත් වැදගත් ඉදිරි ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැක.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගාවලිය ක්‍රීඩා කළ හස්නේයින් එහි දී තරග තුනකට සහභාගී වෙමින් කඩුලු ද්විත්වයක් දවාලීමට සමත් වූ අතර එහි දී වඩාත්ම උස්මතු වූයේ ඔහු යැවූ පන්දු තුල ගැබ්ව තිබූ වේගයයි. මේ බව හොඳින් වටහා ගත් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා හස්නේයින් වැනි දක්ෂතාවන්ගෙන් පිරිපුන් ජවසම්පන්න තරුණයන් නිසියාකාරව කළමනාකරණය ගනිමින් ඉදිරියට ගමන් කිරීමේ වටිනාකම පැහැදිලි කර සිටියේය.

“ඔහු සතු වේගය ඉතාමත් වටිනා මෙවලමක් ඔහු නිසියාකාරව ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් අනාගතයේ දී ලොකු දේවල් කරන්න හැකියාවක් තියේවි.”

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට මත්තෙන් තමා කවුරුන් ද යන වග සනාථ කිරීමේ මහඟු අවස්ථාවක් හස්නේයින් වෙත හිමිව තිබෙන්නේ එංගලන්තය සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඔහුගේ නමද පසුගිය දා ඇතුලත්ව තිබූ බැවිනි.

ඒ අනුව ලෝක කුසලානය සඳහා ඔහුගේ සූදානම කෙසේ දැයි මෙන්ම ස්ටිව් වෝ මහතා මීට වසර කිහිපයකට ඉහත දී ඔහු ගැන සිදු කළ එම ප්‍රකාශය පිළිබඳව ද කථා කිරීමට හස්නේයින් අමතක නොකළේය.

“මට ස්ටිව් වෝ මහතා මුල්ම වතාවට මුණ ගැහුණු මොහොතේ දී ඔහු ගැන වැඩි විස්තරයක් දැනගෙන සිටියේ නැහැ. නමුත් පසුව මම දැන ගත්තා ඔහු ලෝක කුසලාන දෙකක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිකර දුන්න කණ්ඩායමේ නායකයා කියලා. ඔහු ඉතාමත් දක්ෂ පිතිකරුවෙක් වගේම විශිෂ්ට නායකයෙක්.”

“ඔහු මගේ හැකියා දක්ෂතා මම කුඩා කාලේ දී ම හඳුනා ගෙන තිබ්බා. එදා සිදු කළ ඒ ප්‍රකාශය අදටත් මාව දිරිගන්වනවා සහ මට අනෙක් අයට ක්‍රියාවෙන් ඒක ඔප්පු කරලා පෙන්වන්න ලොකු ඕනෑකම් තියෙනවා.”

“ලෝක කුසලානයට මම හොඳින් පුහුණුවීම් කටයුතු කරලා ස්ථාවර මානසිකත්වයක් නිර්මාණය කරගෙනයි තියෙන්නේ. මම කෙසේ හෝ මගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේ දී අපි බලමු.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<