අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව සවි බල ගන්වන්නට හැකි යොවුන් ගැටව් සෙවූ යුගයක හමුවූ කුසල් මෙන්ඩිස්‌ ශ්‍රී ලාංකීය අනාගත ක්‍රිකට්‌ ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්ව තිබේ. තවමත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට ආධුනිකයකු වූ ඔහු ගහන පහරවල් සහ ඔහුගේ චිත්ත ධෛර්යය බැලු බැල්මට අරවින්ද, මහේල සහ සංගක්‌කාර යුගය සිහි ගන්වයි. දැන් ඔහු ගැන රටම කතා කරති. ඒ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ඇදගෙන යැමට හැකි බලවේගය ඔහු තුළ පිහිටා ඇති හෙයිනි.

පසුගිය ලිපි: විශ්‍රාම ගියත් නොනැවතුණු ඩිල්ශාන්ගේ පිත්ත

සචින් ටෙන්ඩුල්කාර්ට ආස කළත් ඔහුව අනුකරණය නොකරන අරවින්ද ද සිල්වාගේ පිති ප්‍රහාරයේ විශිෂ්ටත්වය දැන ගත්තත් ඔහු ක්‍රීඩා කරන හැටි නොදැකපු කුසල් මෙන්ඩිස්‌, සංගා සහ මහේල යුගයේ සිට ක්‍රිකට්‌ තරග නරඹන්නට පටන් ගෙන තිබේ. එබැවින් කුසල් මෙන්ඩිස්‌ අනාගතයේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කප්පිත්තකු බවට පත්වන්නට ලක ලැහැස්‌ති වන මොහොතක ඔහුගේ ආගිය මතකයට “දිවයින ක්‍රීඩා සංග්‍රහය” ඔහු සමග මෙසේ දොඩමලු විය.

ප්‍රශ්නය(- ක්‍රිකට්‌ ක්‍රීඩාවට යොමු වුණ විදිය ගැන කිව්වොත්…?

ඇත්තටම අපේ තාත්තා නිසා තමයි. එයා තමයි මගේ ගොඩක්‌ම පස්‌සෙන් හිටියේ. එයාට ආසාවක්‌ තියෙන්න ඇති ක්‍රිකට්‌වලට මාව යොමු කරන්න. එයා ඉස්‌සර පාසල් තරග ගොඩක්‌ නරඹලා තියෙනවා. ඒ තිබ්බ කැපවීම තමයි අද මම මෙතන ඉන්නේ.

ප්‍රශ්නය(- ඔබගේ තාත්තා ගැන කිව්වොත්… තාත්තා ක්‍රිකට්‌ රසිකයෙක්‌ද…?

තාත්තා දිනේෂ් මෙන්ඩිස්‌. ක්‍රිකට්‌ ක්‍රීඩා කරලත් තියෙනවා. විශේෂයෙන්ම අවු.15 න් පහළ සහ 17 න් පහළ වයස්‌ වලදි ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩා කරලා තියෙනවා. එතනින් එහාට ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩා කරල නැහැ. තාත්තා ක්‍රිකට්‌ බලන්නත් ආසයි. මට පොඩි කාලෙදි ඉඳන් මේ තත්ත්වයට එන්න ගොඩක්‌ම උදව් කරලා තියෙන්නේ තාත්තායි.

ප්‍රශ්නය(- ජාතික කණ්‌ඩායමට කැඳවුම් ලැබුණහම දැනුන හැඟීම කොයි වගේද…?

Kusal Mendisඑතකොට මම සංවර්ධිතයත් එක්‌ක ඉන්දියාවට ගිහිල්ලා හිටියේ. සිලෙක්‌ටර්ස්‌ලා මට කිව්වා සමහර විට පුහුණුවීම්වලට දායි කියලා. එහෙම කිව්වත් මම හිතුවේ නැහැ මාව ජාතික කණ්‌ඩායමට තෝරගනියි කියලා. මොකද මෙහෙ ගොඩක්‌ කට්‌ටිය හිටිය නිසා. විශේෂයෙන්ම මම ‘ඒ’ කණ්‌ඩායමටවත් ක්‍රීඩා කරලා තිබ්බෙත් නැහැ. ලංකාවට ආවම තමයි කිව්වේ ප්‍රැක්‌ටිස්‌ වලට එන්න කියලා. එහෙම ඇරයුමක්‌ ලැබුණම ගොඩක්‌ සතුටු වුණා. මොකද මම එන්න හිතන් හිටපු තැනට මට ඉක්‌මනටම එන්න ලැබිච්ච එක ගැන.

ප්‍රශ්නය(- ඔබ පාසල් ක්‍රීඩාවෙන් කෙළින්ම ජාතික කණ්‌ඩායමට ආපු කෙනෙක්‌. නමුත් ඔබ ඉතාමත් කෙටි කාලයකදී කණ්‌ඩායමේ ස්‌ථානය තහවුරු කරගත්ත කෙනෙක්‌… කොහොමද පාසල් ක්‍රීඩාව සහ ජාත්‍යන්තර ක්‍රීඩාව අතර පරතරය කෙටි කාලයක්‌ තුළදී දික්‌විජය කළේ…?

මම අවු. 19 න් පහල තරග සංචාරවලට සහ සංවර්ධිත සංචිතයේ සංචාරවලට සහභාගිවෙලා තියෙනවා. සංවර්ධන සංචිතයේ ක්‍රීඩා කරද්දී අපිත් එක්‌ක ඉන්දීය කණ්‌ඩායමේ දිනේෂ් කාර්තික්‌, ලක්‌ෂ්මිපති බලාජි, යුවරාඡ් සිං වගේ අය හිටියා. යුවරාඡ් ක්‍රීඩා කළේ නැති වුණත් ගෞතම් ගාම්බීර් වගේ අය ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩකයන් සමග සෙල්ලම් කරද්දී ගොඩක්‌ දේවල් මම ඉගෙන ගත්තා. ඒ වගේමයි ඒ තරගාවලියට කළින් නුවර පැවැත්වුණු තුන්කොන් තරගාවලිය නියෝජනය කරන්නත් මට අවස්‌ථාව උදා වුණා. එතකොට මම අවු. 19 න් පහළ කණ්‌ඩායමට ආපුම අලුත. ඒ වෙනකොට මම එක්‌ ක්‍රීඩා සමාජ තරගාවලියකට විතරයි ක්‍රීඩා කරලත් තිබුණේ. මම හිතන්නේ ඉන්දියාවේ පැවැති තරගාවලිය හොඳට කළ නිසා තමයි මට බටහිර ඉන්දීය කොදෙව් සමග තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්‌ථාව ලැබුණේ. මම හිතනවා මම ලකුණු අතර හිටිය නිසා තමයි ඒ අවස්‌ථාව උදා වුණේ කියලා.

ප්‍රශ්නය(- ඔබ තවමත් ළාබාල ක්‍රීඩකයෙක්‌. ළාබාල වයසේදි මේ තරම් අභියෝගයකට මුහුණ දෙන්න කොහොමද ආත්ම විශ්වාසය ගොඩ නගා ගත්තේ…?

Kusal Mendisඇත්තටම පළමු තරගයට ක්‍රීඩා කරනකොට පොඩි බයක්‌ තිබුණා. මොකද මුළු ලංකාවම බලනවා මේ තරග. ඒකෙදි පළමු බෝලෙට මුහුණ දුන්නට පස්‌සේ තත්ත්වය ටිකක්‌ වෙනස්‌ වුණා. මට මං ගැන විශ්වාසයක්‌ ගොඩ නැංවුණා කිව්වොත් හරි. කණ්‌ඩායමේ අයගෙන් මට ගොඩක්‌ උදව් තිබ්බා. ජ්‍යෙෂ්ඨ නවක කියලා නොවෙයි හැමෝම. විශේෂයෙන් පුහුණුකරුත්. ඔවුන් මට නිතරම කිව්වේ මගේ සාමාන්‍ය විදියට පන්දුවට පහර දෙන්න කියලා. මට වැඩි පීඩනයක්‌ ඔවුන් දුන්නේම නැහැ.

ප්‍රශ්නය(- ඔබට මතකද ඔබ ක්‍රිකට්‌ ගැන හිතන්න… ක්‍රිකට්‌ පිත්තක්‌ මුලින්ම අතට ගත් අවස්‌ථාව…?

ම්ම්… කාලයක්‌ කියලා කියන්න අමාරුයි. පොඩි කාලෙදිම තමයි. මතකයේ හැටියට නම් පෙර පාසල් වයසෙදී වගේ.

ප්‍රශ්නය(- ක්‍රිකට්‌ නරඹන්න ගත්ත කාලේ ආසම කරපු ක්‍රීඩකයින් කවුද…?

මම ක්‍රිකට්‌ බලන්න ගත්ත කාලේ හිටියේ කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධනලා. අරවින්ද ද සිල්වා ක්‍රිකට්‌ ක්‍රීඩා කරන කාලේ මම ලොකුවට තරග නරඹලා නැහැ. එතකොට මම පොඩියි. මහේල සහ සංගක්‌කාර සෙල්ලම් කරන කාලේ තමයි ගොඩක්‌ම ක්‍රිකට්‌ නැරඹුවේ.

ප්‍රශ්නය(- එහෙම තරග නරඹනකොට හිතුණද කවදා හරි ඔවුන් සමග ක්‍රීඩා කරන්න හරි ඔවුන්ගෙන් හිස්‌වන අඩුව ඔබට පුරවන්න හැකි වෙයි කියලා…?

ඒ දවස්‌වල නම් එහෙම කීයටවත් හිතුණේ නැහැ. නමුත් ආසාව තිබුණා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න. ආසාව තිබුණට මෙතරම් ඉක්‌මනට සෙල්ලම් කරන්න පුලුවන් වෙයි කියලා කීයටවත් හිතුවේ නැහැ. ඇත්තටම මෙතරම් දුරක්‌ එන්න පුලුවන් වෙයි කියලා පොඩි කාලෙදි හිතුණේ නැහැ. ගහන්න ආසාව තිබ්බා. කොහොමත් ඉස්‌සරහට යද්දි යද්දී මෙතනට එන්න ආසාවක්‌ ආවා.

ප්‍රශ්නය(- ඔස්‌ට්‍රේලියාව සමග පල්ලකැලේ තිබුණ පළමු ටෙස්‌ට්‌ තරයේ හැරවුම් ලක්‌ෂ්‍යය වුණේ කුසල් මෙන්ඩිස්‌ කියල තමයි නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවා සඳහන් කළේ. ඔබ ඒ ශතකය ලබා ගත්තේ විශාල පීඩනයක්‌ දරාගෙන. විශේෂයෙන්ම ශරීරයෙන් කුඩා ඔබ අඩි හයහමාරක්‌ හතක්‌ උස පන්දු යවන්නන්ටයි මුහුණ දුන්නේ. කොහොමද ඒ හැඟීම…?

Kusal Mendisකණ්‌ඩායමක්‌ විදියට අපි ගොඩක්‌ම අවධානය යොමු කරපු පන්දු යවන්නා වුණේ මිචෙල් ස්‌ටාර්ක්‌. ඔහුට පන්දුවට පහර දීම ගැන තමයි අපි ගොඩක්‌ සැලසුම් කළේ. මොකද ස්‌ටාර්ක්‌ තමයි ඔවුන්ගේ කඩුලු දවාගන්නා පන්දු යවන්නා බවට පත්වෙලා හිටියේ. ඔහු ඕනෑම අවස්‌ථාවක කඩුල්ලක්‌ දවාගත හැකි පන්දු යවන්නෙක්‌. මම එතනට ගියාට පස්‌සේ එයාලා දන්නවා මම තවමත් පොඩි වගේම මේක මගේ දෙවැනි ටෙස්‌ට්‌ තරගාවලිය කියලා. එහෙම වුණාම එයාලා මට ගොඩක්‌ පීඩනය යොමු කළා. අනන්තවත් බැන්නා. ඒ වගේ දේවල් වුණා. කොහොම වුණත් අපේ කණ්‌ඩායමෙන් මට ගොඩක්‌ සහයක්‌ තිබ්බා. විශේෂයෙන්ම මාත් එක්‌ක අනිත් පැත්තේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ගෙන්. අනිත් පැත්තෙ එක්‌කෙනා නිතරම කතා කරන කොට ප්‍රතිවාදී කණ්‌ඩායමෙන් එන පීඩනය අඩු වෙලා යනවා. ඒක නිසා පළමු ඉනිමේ වගේම දෙවැනි ඉනිමේදීත් ක්‍රීඩා කළා. වැඩි පීඩනයක්‌ දාගත්තේ නැහැ.

ප්‍රශ්නය(- අනුගමනය කරන ක්‍රීඩකයෙක්‌ එහෙම ඉන්නවාද…?

අනුගමනය කරන කෙනෙක්‌ නැහැ. ඒත් ආසම ක්‍රීඩකයා තමයි සචින් ටෙන්ඩුල්කාර්. පොඩි කාලෙ ඉඳලම එයාට තමයි ආස කළේ. එහෙම ආස වුණා කියලා එයා පන්දුවට පහර දෙන තාක්‌ෂණයවත් එයා කරන කිසිම දෙයක්‌ මම අනුගමනය කරන්නේ නැහැ. එයා පන්දුවට පහර දෙන විදියට තමයි මම ආස. ඒ ඇරෙන්න සංගක්‌කාරට සහ මහේල අයියලාටත් කැමැතියිs.

ප්‍රශ්නය (- ජාතික කණ්‌ඩායමට තේරුණා කියලා දැනගත්තේ කොහොමද…?

එතකොට මම ඉන්දියාවේ. තේරීම් කමිටුවෙ අය තමයි කිව්වේ ඔයාව සමහර විට ජාතික කණ්‌ඩායමට දායි කියලා. ඒත් කිව්වේ පුහුණුවීම්වලට කියලයි. මෙහෙ ආවම පත්තරවලින් තමයි දැනගත්තේ මාව ජාතික කණ්‌ඩායමට තෝරගෙන කියලා.

ප්‍රශ්නය(- පළමු පන්දුවට මුහුණ දෙනකොට දැනුණ හැඟීම කොයි වගේද…?

පොඩි බයක්‌ තිබ්බා. මොකද පළමු තරගය නිසාම. ලෝකයේ ගොඩක්‌ දෙනා මේ තරගය බලාගෙන ඉන්නවා. ඒක ඔලුවට එනකොට නිතරම චකිතයක්‌ දැනුනා මම කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියලා. කලින් කිව්වා වගේ පළමු පන්දුවට පහර දුන්නට පස්‌සේ ඒ තත්ත්වය නැති වෙලා ගියා.

ප්‍රශ්නය(- ඔබ තරුණ වයසේ කෙනෙක්‌. කොහොමද රසික ප්‍රතිචාර එහෙම…?

මේ දවස්‌වල නම් ඉතාම හොඳයි. මොකද අපි තරග දිනලත් ඉන්න නිසා ඒක වැඩියි. ඒ වගේමයි ලකුණුත් ගහලනේ තියෙන්නේ. ගොඩක්‌ ලංකාවේ කට්‌ටිය කතා කරනවා. තරගවලට ගියාහම හම්බවෙන අය ගොඩක්‌ හොඳ කියනවා. මං හිතනවා ඒ තත්ත්වය ඒ විදියටම තියෙයි කියලා. මොකද හැමදාම හැමෝටම ලකුණු අතර ඉන්න බැහැ. කවුරු වුණත් අසාර්ථක වෙන කාලයක්‌ තියෙනවා. ඉතිං ලකුණු ලබාගනිද්දී ලබාදෙන ප්‍රතිචාර වගේම අසාර්ථක වෙන අවස්‌ථාවලදීත් ඒ විදියටම ප්‍රතිචාර දක්‌වන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය(- ඔය ප්‍රතිචාර ලබාදෙන අය අතර විශේෂ කෙනෙකුත් ඉන්නවද…?

ඇත්තටම ඔව්. මම ආදරය කරන ගෑණු ළමයෙක්‌ ඉන්නවා. එයා තාම පාසල් යන වයසේ පසුවන්නේ. ඒක නිසා මුකුත් එයා ගැන සඳහනක්‌ කරන්න බැහැ. ඒ ඇරුණාම විශේෂ අය අතර ඉන්නේ ගෙදර අය තමයි.

ප්‍රශ්නය(- ඔබ මෙතෙක්‌ දුරට පැමිණි ගමන් මග කෙටියෙන් කිව්වොත්…?

Kusal Mendisඇත්තටම මාව මේ තත්ත්වයට ගේන්න මගේ තාත්තා ගොඩක්‌ මහන්සි වුණා. එයා මුලින්ම වඩු වැඩ තමයි කළේ. ඊට පස්‌සේ ඒවත් මග ඇරලා තමයි මාව පුහුණුවීම්වලට පවා එක්‌කන් ගියේ. සමහර දවස්‌ තිබ්බා මම බැට්‌ එකක්‌ එහෙම ඉල්ලනකොට අරන් දෙන්න තාත්තට අමාරු අවස්‌ථා තිබුණා. ඒත් ඉතිං එයා කාගෙන් හරි ඉල්ලලා කොහොම හරි අරන් දුන්නා. මට පෙන්නුවේ නැහැ එයාට මේ දේ අරන් දෙන්න අමාරුයි කියලා. පොඩි කාලෙදි මට ඒ ගැන වැඩිය තේරුණේ නැහැ. පස්‌සෙ පස්‌සේ මටත් තේරුණා ඒ ගැන. ඒත් එයා පොඩි කාලෙ වගේම ලොකු වෙද්දීත් මම ඉල්ලන ඉල්ලන හැම දෙයක්‌ම මට අරන් දුන්නා. මොකද එයා ආසයි මම ඉහළට යනවාට. ඒ වගේම අම්මත් ගොඩක්‌ උදව් වුණා. ඒ දෙන්නගේ කැපවීමේ ප්‍රතිඵල තමයි අද මම මෙතන ඉන්නේ.

ප්‍රශ්නය(- පවුලේ තොරතුරු කෙටියෙන් කියනවා නම්…?

මගේ අම්මා කුමාරි ප්‍රනාන්දු. එයා රැකියාවක්‌ කරන්නේ නැහැ. මට තව මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. මල්ලිත් ක්‍රිකට්‌ ක්‍රීඩා කරනවා. ඔහු අවු. 13 න් පහළ තමයි ක්‍රීඩා කරන්නේ. නංගි මේ පාර උසස්‌ පෙළ කළා. ඒ දෙන්නගෙත් ගොඩක්‌ බලාපොරොත්තුවක්‌ තිබ්බා මම මේ තත්ත්වයට එයි කියලා. ඒ දෙන්නා ගොඩක්‌ සතුටු වෙනවා ඇති මම දැන් ඉන්න තත්ත්වයට.

ප්‍රශ්නය(- මේ ගමන් මගේ ඔබට සහාය දුන් අය ගැන සඳහන් කළොත්…?

මගේ පළමු පුහුණුකරු වුණේ ජයලත් අපෝන්සු සර්. තව බණ්‌ඩාර සර් උදව් කළා. එයාලා තමයි මගේ මුල්ම පුහුණුකරුවන් බවට පත්වුණේ. ඒ දෙන්නව තමයි විශේෂයෙන් මතක්‌ කරන්න ඕන. මොකද ඒ දෙන්න තමයි මාව මුලින් බලා ගත්තේ. ඒ වගේම මගේ බාප්පත් උදව් කළා. එයත් ක්‍රිකට්‌ පුහුණුකරුවෙක්‌. ඒ වගේම මගේ නැන්දල මාමලා මට ගොඩක්‌ උදව් කළා. ඒ හැමෝටම මම මේ අවස්‌ථාවේදී ස්‌තූතිවන්ත වෙනවා.

ප්‍රශ්නය(- එසේ කටුක ගමනක්‌ පැමිණ අද ඔබ යම් තැනකට ඇවිල්ලා තියෙනවා. ඔබ දැන් ඇවිත් ඉන්න තැන අසීමිත ලෙස මුදල් ගලා එන තැනක්‌. ඒ වගේමයි ඔබ තවම තරුණ වයසේ ක්‍රීඩකයෙක්‌. ඔබ හිතන විදියට කොහොමද මේ දේවල් කළමනාකරණය කරගත යුත්තේ…?

තාම නම් මම මුකුත් කරන්නේ නැහැ. ලැබෙන හැම මුදලක්‌ම තාත්තට තමයි මම ගෙනත් දෙන්නේ. ඉතිං එයා තමයි හැම දෙයක්‌ ගැනම බලන්නේ. මම ඉල්ලන දේවල් ඉල්ලද්දී එයා මට දෙනවා. එහෙම කියලා තාත්තා දැන් වුණත් මට වැඩිය සල්ලි දෙන්නේ නැහැ. එයා තමයි මේ හැම දෙයක්‌ම කළමනාකරණය කරන්නේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට